බිළිඳු මරණ අනුපාතය ඉහළට | දිනමිණ

බිළිඳු මරණ අනුපාතය ඉහළට

මංජුලා විජයරත්න

උපතේදී මිය යන බිළිඳුන් සංඛ්‍යාව භයානක ලෙස ඉහළ ගොස් ඇති බවට යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවයි. සංවිධානය මේ බැව් පෙන්වා දෙන්නේ බිළිඳු මරණ පිළිබඳ වාර්තාවක් එළිදක්වමිනි. එහි සඳහන් අන්දමට උපතින් මසක් ඇතුළත මියයන බිළිඳුන් සංඛ්‍යාව වසරකට මිලියන 2.6ක් දක්වා ඉහළ ගොස් ඇත. ලඝු කර දැක්වුවහොත් එහි අරුත සෑම මිනිත්තුවකදීම බිළිඳුන් පස් දෙනෙකු මියයන බවය. කනගාටුවට කාරණය, මෙයින් 80%ක් පමණ වළක්වා ගත හැකි මරණ වීමයි.

බිළිඳු මරණ වැඩිම රටවල් දහයත්, අඩුම රටවල් දහයත් මේ වාර්තාවෙන් හෙළි වේ. වැඩිම බිළිඳු මරණ සංඛ්‍යාවක් සිදු වන රට හැටියට දැක්වෙන්නේ පාකිස්තානයයි. එහි උපත ලබන සෑම බිළිඳුන් විසි දෙදෙනෙකුගෙන් එක් අයෙකු උපතින් මසක් සපුරන්නට පළමුව ජීවිතක්ෂයට පත් වේ. බිළිඳු මරණ මීළඟට වැඩිපුර සිදුවන්නේ පිළිවෙලින් මධ්‍යම අප්‍රිකා ජනරජය, ඇෆ්ඝනිස්ථානය, සෝමාලියාව, ලෙසොතෝ, ගිනි බිසව්, දකුණු සුඩානය, අයිවරි කෝස්ට්, මාලි සහ චැඩ් යන රාජ්‍යය නවයෙහිය. යුදමය වාතාවරණ හෝ ස්වභාවික ආපදා හෝ පවතින රාජ්‍ය කිහිපයක්ම එකී ලැයිස්තුවේ ඇත. පිරිසිදු පානීය ජලය සහ සෞඛ්‍යය පහසුකම් හිඟකම ඒ රටවල සුලභ යැයි යුනිසෙෆ් සෞඛ්‍ය ප්‍රධානී ආචාර්ය ස්ටෙෆන් පීටර්සන් පවසයි. මෙයින් ඇතැම් රටවල් සෞඛ්‍ය පහසුකම්වලට යොදවා තිබෙන්නේ ඒ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%කට ආසන්න ප්‍රමාණයකි. එසේ වුවත් නිර්දේශ කෙරෙන්නේ ඒ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් පමණ සෞඛ්‍යය පහසුකම්වලට යෙදවිය යුතු බවයි.

බිළිඳු මරණ බෙහෙවින්ම අවම මට්ටමක පවතින්නේ ජපානයේය. අලුත උපදින බිළිඳුන් 1111කට එක් අයෙකු පමණක් එහි ජීවිතක්ෂයට පත් වන බව දැක්වේ. ජපානයේ සිදුවන බිළිඳු මරණ සංඛ්‍යාව මෙන් පනස් ගුණයක් පාකිස්තානයේ සිදුවන බව මෙයින් ගම්‍යය වේ. බිළිඳු මරණ අවම මට්ටමේ පවත්නා අනෙක් රටවල් අතර පිළිවෙලින් අයිස්ලන්තය, සිංගපූරුව, පින්ලන්තය, ස්ලෝවේනියාව, එස්ටෝනියාව, සයිප්‍රසය, දකුණු කොරියාව, නොර්වේ සහ ලක්සම්බර්ග් යන රාජ්‍යය ඇත. මාතෘ සහ ළදරු සෞඛ්‍යය ගුණාත්මක තත්ත්වයකට රැගෙන එන්නට ඒ රටවල පවත්නා දේශපාලන ස්ථාවරභාවයත් ප්‍රධාන හේතුවක් වී තිබේ. කාන්තාවන්, මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මේ රටවල ඉතා හොඳින් කෙරෙන බව දැක්වේ. කාර්යක්ෂම වින්නඹු සේවාවන් මෙන්ම ගුණාත්මක ඖෂධ සහ ප්‍රතිකාර මේ රටවල ඇත. එසේ වුවත් බිළිඳු මරණ අවම රටවල් අතර ඇමෙරිකාවේත්, බ්‍රිතාන්‍යයේත් නම් සඳහන් නොවීම පුදුමයට කාරණයකි.

රටේ ආර්ථික මට්ටම, බිළිඳු මරණ කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බව යුනිසෙෆ් වාර්තාවේ දැක්වේ. ඉහළ ආදායමක් ඇති රටවල බිළිඳු මරණ සිදු වන්නේ දරු උපත් 333කට එකක් වශයෙනි. පහළ ආදායම් මට්ටමක් ඇති රටවල උපත් 27කට එක් බිළිඳු මරණයක් සිදුවීම සාමාන්‍යකි. මේ නිසා පොහොසත් පවුලක උපත ලබන බිළිඳකුට වඩා, දරීද්‍ර පවුලක උපත ලබන බිළිඳකු මරුමුවට පත්වීමේ සම්භාවිතාව වැඩිය. ඇමෙරිකාව සහ කුවේටය යන දෙරට සම්බන්ධයෙන් මේ තර්කයන් සත්‍යය නොවේ. ඒ දෙරටම ඉහළ ආදායමක් ද දේශපාලන ස්ථාවරභාවයක් ද ඇති රටවල්ය. කුවේටයේ බිළිඳු මරණ අනුපාතිකය උපත් 227කට එකකි. ඇමෙරිකාවේ එය උපත් 270ට එකක් වශයෙනි. ඒ දෙරටේ බිළිඳු මරණ අනුපාත, මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය වැනි රටවල එම අනුපාත ආසන්නයෙන් පවතී. ශ්‍රී ලංකාවේ බිළිඳු මරණ අනුපාතය හා උපත් 189 ට 1 ක් වශයෙනුත් යුක්‍රේනයේ එය උපත් 185කට 1ක් වශයෙනුත් සඳහන් වේ.

දරු උපතක් සිදුවන අවස්ථාවේදී පවත්නා තත්ත්වය ද බිළිඳාගේ පැවැත්ම කෙරෙහි බලපාන බව වාර්තා වේ සඳහන් වේ. එහිලා ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ දරු උපත නොමේරු දරු උපතක්ද යන්නයි. ඒ හැරුණු විට උපත සිදුවන අවස්ථාවේදී ඇති වන සංකූලතාත් සැලකිය යුතුව ඇත. ඇතම් රටවල බිළින්දෝ උපත සිදුවන අවස්ථාවේදීම විවිධ ආසාදනයන්ට ලක්වෙති. එම ආසාදන අතර නියුමෝනියාව, මෙනින්ජයිටිස් වැනි තත්ත්ව බහුලය. මෙවැනි ආසාදන වළක්වා ගත හැකි මට්ටමක පවතී. තවත් සමහර රටවල බිළිඳුන් ජීවිතක්ෂයට පත්වන්නේ වින්නඹු කාර්යය හරියාකාරව කරගන්නට අවශ්‍ය පහසුකම් නැතිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. වින්නඹු කාර්යයට අවශ්‍යය පිරිසිදු ජලය මෙන්ම ආලෝකයත් (විදුලි බල පහසුකම්) නොමැති අවස්ථා ගැන බහුලව වාර්තා වේ. වින්නඹු මාතාවකගේ, හෙදියකගේ හෝ වෛද්‍යවරයකුගේ හෝ සහයක් නොලබා දරුවන් ප්‍රසූත කරන මවුවරු ලොව කොතෙකුත් සිටිති. ඔවුන් ප්‍රසූත කරන දරුවන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා ගැන සොයා බැලීමක් ද නොකෙරේ. එවැනි ළදරුවන් මරුමුවට පත්වීමත් ඉහළ මට්ටමක ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

CNN ඇසුරෙනි

නව අදහස දක්වන්න