නව තාක්ෂණික යුගයේ ප්‍රකාශකයා | දිනමිණ

නව තාක්ෂණික යුගයේ ප්‍රකාශකයා

සකර්බර්ග්ට වැඩිය බුකි විශේෂඥයන් බිහි වුණු ලංකාවෙ, උදේ හිට රෑ වන තුරු සෝෂල් මීඩියාවල කරක්ගහන බොහෝ දෙනෙක් බ්ලොග්කරණයට යොමු නොවීම සහ ඒ පිළිබඳ දැනුවත් නොවීම පොඩි කනගාටුවකට හේතුවක්. ලංකාවට සාපේක්ෂව අනෙකුත් රටවල බ්ලොග්කරණයට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. බොහෝ බ්ලොග්කරුවන් ඉතා විශාල පිරිසක් සමඟ ජාලගත වෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගන්න තෝතැන්නක් බවට බ්ලොග්කරණය පත්වෙලා තිබෙනවා. බ්ලොග් ඇරඹෙන්නෙ තමන්ගෙ පෞද්ගලික අත්දැකීම්, නිර්මාණාත්මක ලිවීම් සහ විනෝදාංශයන් පිළිබඳ ලියන්න වුණත් පසුකාලීනව බ්ලොග්කරණය නව මාන කිහිපයකටම එළැඹෙනවා. දේශපාලන, මානව හිමිකම්, සමාජ ක්‍රියාකාරී වැඩසටහන්, දැනුවත් කිරීමේ ලියවිලි ආදී බොහෝ දේ සිදු කළ හැකි මෙවලමක් ලෙස බ්ලොග්කරණය සාධනීය පරිවර්තනයකට ලක් වෙනවා.

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට බ්ලොග්කරණය මඟින් විශාල ලෙස මුදල් උපයන්න පුළුවන්කම තිබෙනවා. බොහෝ විදේශික බ්ලොග්කරුවන් සිය රැකියා අතහැර පූර්ණකාලීන බ්ලොග්කරුවන් ලෙස කටයුතු කරනවා. ලෝකයේ ඉන්න ප්‍රධාන බ්ලොග්කරුවන් මසකට ඩොලර් දස දහස ඉක්මවා උපයනවා. ඔබ නිසි කාලයක්, ශ්‍රමයක් සහ කැපකිරීමක් සිද්ධ කළොත් ඉතා ඉහල සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. අර්ධ කාලීන රැකියාවක් ලෙසත් බ්ලොග්කරණය ඉතා ජනප්‍රියයි. අවාසනාවකට වගේ සමාජජාලා තරම් බ්ලොග්කරනය ලංකාවේ ජනප්‍රිය නැති වීම පරිගණක තාක්ෂණවේදය හැදෑරූ අය පවා බ්ලොග්කරණයට නොපිවිසීමට හේතු වී තිබෙනවා.

බ්ලොග් පිටුවක් සාදා ගැනීමත් ඉතා පහසුයි. ඒ වගේම වර්ඩ්ප්‍රෙස්, බ්ලොගර් පාවිච්චි කරලා නොමිලේ සාදා ගන්නත් පුළුවන්. බ්ලොග් එක සාර්ථක වුණොත්, තමන්ටම කියා එය මිලදී ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මුහුණු පොතේ ගිනුමක් සාදා ගන්නා තරමටම මේ බ්ලොග් පිටුවක් සාදාගෙන පිළිවෙලකට ලස්සනට ඉදිරිපත් කරන්න විශාල තාක්ෂණික දැනුමක් වුවමනා වෙන්නෙත් නැහැ. අලුතින්ම බ්ලොග් පිටුවක් හදාගන්න කෙනෙක්ට තියෙන්නෙ බ්ලොග් එකක් සාදා ගන්නේ කෙසේද කියලා සොයා බැලීම පමණයි. බ්ලොග් හදා ගන්න හැටි කියලා දෙන්න විතරක් බ්ලොග් පිටු දහස් ගණනකට වඩා වැඩිය ඇති. ඊට අමතරව යූ ටියුබ් චැනලයෙනුත් බ්ලොග් පිටු සාදා ගන්නා ආකාරය ගැන වීඩියෝ තිබෙනවා.

බ්ලොග්කරණය නිසා තමන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනය කරගන්න වගේම තමන්ගේ දැනුම වර්ධනය කරගන්නත් දැනුම බෙදාහදා ගන්නත් පුළුවන්කම ලැබෙනවා.

ලෝකය පුරා ව්‍යාපාර කරන අය තමන්ගේ ව්‍යාපාර වර්ධනය කරගන්න බ්ලොග්කරණය පාවිච්චි කරනවා. ඇත්තටම කිව්වොත් ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය බ්ලොග්කරණයේ විශේෂ ශාඛාවක් බවට පත්වෙලා තිබෙනවා කිව්වොත් නිවැරදියි.

ඒ වගේම තමයි දැන් බොහෝ වෙබ් පිටු පවත්වාගෙන යන පිරිස් ඊට සමගාමීව බ්ලොග් පිටු පවත්වාගෙන යෑම. ඒකට හේතු කීපයක් තිබෙනවා. ලෝකේ විශාලතම සෙවුම් එන්ජිම හිමි ගූගල් ආයතනය ඉක්මනින් යාවත්කාලීන වන තොරතුරු ප්‍රවර්ධනය කරනවා. බ්ලොග්කරණය ඉක්මනින් තොරතුරු යාවත්කාලීන වන ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ උත්සාහයක්. ඒ වගේම තමයි වෙබ් පිටුවක් සදහා වෙන්වන බ්ලොග් පිටුවකට ඇදී එන ග්‍රාහකයින්ගෙන් වැඩි පිරිසක් එම වෙබ් අඩවිය ගැන දැනුවත් වීම සහ එය පාවිච්චි කිරීම. එමඟින් වෙබ් අඩෙවිය වෙත වැඩි පිරිසක් ආකර්ෂණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට පරිගණක තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනයක් ලබා දෙන වෙබ් අඩවියකට පුළුවන් එම විෂයට අදාළ අනු මාතෘකා යටතේ බ්ලොග් ක්‍රියාත්මක කරන්න. එමඟින් ප්‍රධාන වෙබ් අඩෙවිය වෙත වැඩි පිරිසක් ආකර්ෂණය කරගන්න අවස්ථාව තිබෙනවා.

බ්ලොග්කරණය නිර්මාණකරුවන්ට ඉතාම අපූරු තෝතැන්නක්. සිය කවි, ගීත,නවකතා,කෙටි කතා ආදී සාහිත්‍ය නිර්මාණවලට පාඨක ප්‍රජාවක් ගොඩනගා ගැනීමට මූලික වන නව තාක්ෂණික යුගයක ප්‍රකාශකයා (New Age Pubisher)ලෙසත් බ්ලොග් හදුන්වා දෙන්න පුළුවන්. බොහෝ නිර්මාණකරුවන් බ්ලොග්කරණය ඔස්සේ සිය නිර්මාණවලට ඇති ප්‍රතිචාර සලකා බලා පසුව එම නිර්මාණ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශනය කර ගැනීමත් සිද්ධ වෙනවා. එය ඉතා සාර්ථක ක්‍රමයක්. නමුත් තමන්ගෙ නිර්මාණ නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන විට ඒවා සොරා ගන්න පරපෝශිතයන් කොටසකුත් බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා. අද වෙනකොට ලෝකේ ජනතාවගෙන් මිලියන 6.7 ක් නොමිලේ සපයන හෝස්ටින් පහසුකම් යටතේ බ්ලොග් පවත්වාගෙන යනවා. ඊට අමතරව වෙනත් ක්‍රම මඟින් සිය බ්ලොග් පවත්වාගෙන යන පිරිස මිලියන 12 ඉක්මවනවා. තව ටික කාලෙකින් බ්ලොග් පිටුවක් නොලියන්නෙ ඔයා විතරක් වෙන්න පුළුවන්!

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 


නව අදහස දක්වන්න

Or log in with...