අක්ක නඟාලගෙ ප්‍රේම ජවනිකා | දිනමිණ

අක්ක නඟාලගෙ ප්‍රේම ජවනිකා

“සදාකාලික ප්‍රීතිමත් විවාහ ජීවිතයක රහස තමයි ධනය හා බලය“ මව නිතරම ඔවුන්ට දුන් ඔවදනයි. එහෙත් එම උපදෙස් අකුරටම පිළිපැදි බූවියර් සොහොයුරියන්ගෙන් එක් අයෙකුගේවත් සුපිරි ජීවිත කිසිදා ප්‍රීතිමත් වූයේ නැත. ඒවා ධනයෙන්, බලයෙන් හා ලෞකික සැපසම්පත්වලින් පිරීතිරී ගියද, සිත් බිඳීම්, වෙන්වීම්, අයථා සබඳකම්වලින් හා දික්කසාදවලින් අඩුවක් නොවීය. ලේඛක ‘ටෘමන් කැපෝ‘ මෙම අක්ක නඟෝ හැඳින්වූයේ, ‘ඇමරිකානු ගීෂාවන්‘ නොහොත් ධනවත් හා බලවත් පිරිමින් වසඟයට ගැනීම සඳහාම මෙලොවට බිහිවූ බවලතුන් දෙදෙනකු ලෙස ය. ඔවුන්ගේ මායමේ පැටලුණු ප්‍රබල පිරිමින් දෙදෙනෙක් වන්නේ හිටපු ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි හා නැව් හා තෙල් ආකාර හිමි ග්‍රීක ජාතික ධන කුවේරයකු වන ඇරිස්ටෝටල් ඔනාසිස් ය. ආදරය නිසා නොව ධනය හා බලය නිසා මෙම ප්‍රබලයන් තමන් සතු කර ගැනීමට වලිකෑ අක්ක නඟෝ ජීවිත බෙදා හදා ගත්තේ දෙදෙනා සමඟ පමණක් නොවේ.

ජැක්ලයින් කෙනඩි බූවියර් හා ඇයට තෙවසරකින් බාල ලී බූවියර් රැඩ්සිවිල් මතක ඇති කාලයේ සිට ප්‍රතිවාදිනියෝ වූහ. ධනය, බලය, සාර්ථකත්වය, පෙම්වතුන් පමණක් නොව මවගේ ආදරය දිනාගැනීම සඳහාත් දෙදෙනා නොනිමි අරගලයක පැටලී සිටියේ සදාකාලික එදිරිවාදිකමකිනි. ජැකී-ලී සොයුරියන්ගේ ඊර්ෂ්‍යා සහගත බිඳුණු සම්බන්ධය ලොවට තහවුරු වූයේ ජැකී කෙනඩි ජනපති ආර්යාව ලෙස ලොව හමුවට ඒමේදී ලී දැක්වු වේදනාත්මක ඉරියව්වෙනි. ජැකී-කෙනඩි විවාහය ජැකීගේත්-ලීගේත් සහෝදරත්වයේ ගින්දර පරික්ෂාව විය. ජැකී කෙනඩි ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම සම්භාවනාට පාත්‍රවූ ජනපති ආර්යාව විය හැකිය. නමුත් එම පරීක්ෂාවෙන් ලී මෙන්ම ජැකී අසමත් වූවාය. ජැකී හා ලී අතර කවදත් තිබු‍ණේ සහෝදරත්වයක් නොව එදිරිවාදීකමකි. හොලිවුඩයේ නම ගිය කෘතහස්ත චරිතාපදාන කතුවරයකු වන ‘ජේ. රැන්ඩි ටැරාබොරෙල්ලි විසින් රචිත ‘ජැනට්, ජැකී ඇන්ඩ් ලී‘ නමැති ඔහුගේ නවතම කෘතියෙන් මේ එදිරිවාදිකම කදිමට චිත්‍රණය කෙරේ.

බූවියර් පවුලේ සමීපතමයින් හා නෑදෑයන් සමඟ කළ සාකච්ඡා ඇසුරෙන් ලියැවුණු මෙම කෘතියෙන් බූවියර් දෙසොහොයුරියන්ගේ අනියම් පෙම් පලහිලව් පිළිබඳ මෙතෙක් නොකියවුණු කතා රැසක් කරළියට ගෙනැවිත් තිබේ. සමාජයේ ඉහළ පෙළැන්තියේ ධනවතුන්ට සිය දියණියන් දෙදෙනා සරණපාවා දීමට ජැනට් බූවියර් ගත් අනුකම්පා විරහිත උත්සාහය, කෙනඩි ජනපතිවරයාගේ සොහොන නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා සහ ජැකී අතර ප්‍රේම සම්බන්ධය, ඉන් කිහිපයකි. ලෝකයට රහසක් වූ මෙබඳු කතා රැසක් ඇතුළත් මෙම පොත දැනටමත් අසූහතර වියැති ලීව බෙහෙවින් අසහනයට පත්කොට තිබේ. “ලී කැමති නැහැ මේ පරණ කුණු අවුස්සනවට. ඇගේම ඥාතීන් ඇය පාවා දීලා කියලයි ඇය හිතන්නේ“ ලීගේ මිතුරියක පවසා තිබේ. ඉන් හෙළිකරන ජැනට්, ජැකී හා ලී කේන්ද්‍රකරගත් ආන්දෝලනාත්මක හෙළිදරව් දෙස බැලු විට ලීගේ අසහනය අසාධරණ නැත.

බූවියර් සොහොයුරියන්ගේ මව ජැනට් මුදල් ගැන මිස සැබෑ ආදරය කෙරෙහි විශ්වාසය නොලැබුවාය. වැඩිමහලු දියණිය ජැකී සිය මවගේ නියෝග අකුරටම ක්‍රියාත්මක කළ ඇගේ අනුගාමිකාවක වූවාය. බාල දියණීය ලී, ප්‍රේමයෙන් තොරවු විවාහ සම්බන්ධයෙන් සිටියේ වික්ෂිප්තවය. වෝල්ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළේ ධනවත් කඩවසම් තැරැව්කරුවෙකු වූ ජැක් බූවියර් සමඟ ජැනට් විවාහ වූයේ යාන්තම් අවුරුදු විසි එකේදීය. ස්ත්‍රී ලෝලී බේබද්දකු වූ ජැක් සමඟ විවාහය වසර දොළහකට පසු කටුගා දැමූ ජැනට් දෙවන වර විවාහ වූයේ වයස්ගත, ධනවත් බැංකුහිමියකු සමඟ ය. සිය දියණියන් දෙදෙනා විවාහ විය යුත්තේ සුරසැප දීමට සමත් වල්ලභයන් සමඟ බවට වන මතයේ මවදැඩිව එල්බ සිටියා ය. ජැකී හා ලී අතර සමීප සහෝදරත්වයක් වර්ධනය කිරීමට ජැනට් ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ඊට හේතුවද ඇයමය. ඇය ජැකී කෙරෙහි විශේෂ සැලකිල්ලක් හා ආදරයක් දැක්වූ අතර, එය සැඟවීමටද උත්සාහ කළේ නැත. මුල සිටම ලීට සිය සහෝදරියකෙරෙහි නොපහන් හැඟීමක් ඇතිවීමට හේතුවුයේ මවගේ එම ක්‍රියාකලාපයයි. කෙනඩි ජනපති ආර්යාව ලෙස ජැකී ලොව දිනත්දි ඇයව අබිබවා යාම ලීට සිහිනයක් විය. තම සොහොයුරිය එකට එක කිරීමක් ලෙස ලී මවගේ අභිමතයට පිටුපා, ධනය හා බලය පසෙකලා සිය හද බැඳි පෙම්වතා සමඟ විවාහ වූවාය.

වයස අවුරුදු විසිඑකේදී ජැකී කන්‍යාභාවය අහිමි කරගත්තාය. ජැනට් සිය දියණියට අතුල් පහරක් දුන්නේ ඒ නොව ඇය සබඳකම ගොඩනඟාගෙන තිබුණේ ප්‍රකට ලේඛකයකුගේ දිළිඳු පුතෙක් සමඟ නිසාය. පසුව ජැනට් සිය දියණිය ධනවතකු යැයි ඇය අනුමාන කළ ‘ජෝන් හස්ටඩ්‘ සමඟ සම්බන්ධ කළ නමුත් එම පෙම් පළහිලව්වද වැඩිකල් පැවතුණේ නැත්තේ හස්ටඩ්ද සිතු තරම් ධනවතකු නොවූ නිසාය. ජැකී-ජෝන් විවාහයට එරෙහිව ඇයසිය නිෂේධ බලය භාවිතා කළාය.

“කිසිම කතාබහක් නැතිව ඇගේ විවාහ මුදුව ගලවලා මගේ කබා සාක්කුවට එබුවා. වචනයක්වත් කිව්වේ නැහැ. එයා හැසිරුණේ මාව කවදාවත් දැනගෙන හිටියේ නැති ගානට. ඒක එතැනින් ඉවරයි කියලා මට තේරුණා“ හස්ටඩ් පසුව කියා තිබිණ. ස්වභාවයෙන්ම කැරළිකාර, හිතුවක්කාර ලී ඇගේ පෙම්වතාගෙන් ඉවත් කිරීමට ජැනට් සමත් වූයේ නැත. එකල ජැකී තරුණ සෙනෙට්වරයකු වූ ජෝන් කෙනඩි ඇසුරු කරමින් සිටි අතර, ඇගෙන් පළිගැනීමට ලී කළේ ආදරය වෙනුවෙන් විවාහ වීමයි.එවකට ඇගේ වයස් අවුරුදු දහනවයකි. මයිකල් කැන්ෆීල්ඩ් සමඟ සිදුවූ එම විවාහය මුලසිටම අර්බුදකාරී වූයේ ලී අපේක්ෂා කළ වියදම් අධික සුඛෝපභෝගී ජීවිතය කැන්ෆීල්ඩ්ගේ සාක්කුවට බර වැඩි වූ නිසාය.

මැන්ෆීල්ඩ් සමඟ ගෙවුණු නීරස ජීවිතයෙන් හෙම්බත්වූ ලී තවත් ධනවතුන් දෙදෙනකු සමඟම අනියම් ඇසුරකට යොමුවූවාය. ඉන් අයෙක් වූ “ස්ටේන්සලෝ ‘ස්ටෑෂ්‘ රැඩ්සිවිල් පෝලන්ත කුමරා ය“.

ලීගේ සැමියා කැන්ෆීල්ඩ්ට සිය දියණියගේ ජීවිතයෙන් ඉවත්වන ලෙස බල කළේද ජැනට් ය. මේ වන විට ජැකී ජෝන් එෆ්. කෙනඩිට දාව කැරොලයින් නමැති දියණියගේ මව වී සිටියාය. සොයුරිය හා ඇගේ අලුත උපන් දරුවා බැලීමට ගිය ලී ස්ත්‍රී ලෝලියකු ලෙස නමගිය කෙනඩි සිය සයනය වෙත ගෙන්වා ගත්තා ය. එය සිය සොයුරියගෙන් මෙන්ම සැමියා කැන්ෆීල්ඩ්ගෙන්ද පළිගැනීමේ අරමුණින් කරන ලද්දක් බව ටැරාබෙරෙල්ලී සිය කෘතියේ සඳහන් කරයි.

කෙනඩි සමඟ ජීවිතය එපා වීමට ජැකීට වැඩි කල් ගියේ නැත. කෙනඩිගේ ස්ත්‍රී ඇසුර ඊට ප්‍රධාන හේතුවකි. ඔහුට දෙවැනි නොවන්නට ජැකිද වගබලා ගත්තාය. වසර විසිහතරකින් වැඩිමහලු ග්‍රීක ධන කුවේර ඇරිස්ටෝටල් ඔනාසිස් සමඟ අනියම් ඇසුරකට ඇය යොමු වන කල ඔහුටද තවත් පෙම්වතියන් දෙදෙනෙක් සිටියහ. ග්‍රීක ජාතික ඔපරා ගායිකාවක වන ‘මාරියා කැලස්‘ සමඟ පැවති එක් සම්බන්ධයක් ඔනාසිස් මියයන තුරුම පවත්වාගෙන ගියේය. අනෙක් සම්බන්ධය ජැකීගේ සොයුරිය ලී සමඟය. ඔනාසිස්ගේ සිත විවාහක ලී වෙත බැඳී ඇත්තේ ඇය සිය සොයුරියට හිමි වූ ජනප්‍රියත්වය නිසා ‘දුකට පත් හුදකලා පුංචි දැරියක වූ නිසාය. අලුත උපන් පුතුගේ මරණයෙන් තැවී තැවී හුන් සිය සොයුරියට තමා හා ඔනාසිස් සමඟ නෞකා සවාරියකට ආරාධනා කරන්නට ලී දෙවරක් සිතුවේ නැත. මහලු ඔනාසිස් රූබර ජැක්ලයින්ට පෙම් බඳින්නට පටන් ගත්තේ එම සංචාරය අතරවාරයේදී ය. තෙල්නැව් හිමිකරුවාගේ අධි සුඛෝපභෝගි ජීවිතය ජැකී මන්මත් කළේය. “එහෙනම් රජවරු ජීවත් වෙන්නේ මෙහෙමයි?“ එම සංචාරයේදී ජැකී ඔනාසිස්ට එලෙස කොඳුළේ එනිසා ය.

කෙනඩි ජනපතිවරයා ඝාතනය වී පැය කිහිපයක් ඇතුළත ධවල මන්දිරයට පැමිණි ඔනාසිස් එහි ලැගුම් ගත්තේ ජැකීගේ පෙරැත්ත මතය. ලී සමඟ ඇසුර පවත්වාගෙන යත්දීම ජැකී තමා සතුකර ගැනීමේ සටනක ඔහු නියැලී සිටියේය. ජැකීගේ සිතද ඔනාසිස් ළඟ පමණක් නතර වූයේ නැත. ඇගේ සිත ඇදී ගොස් තිබුණේ බොහෝ දෙනකු විශ්වාස කළ පරිදි ජනපති කෙනඩිගේ සොයුරා බොබි වෙත නොව, කෙනඩිගේ සොහොනේ නිර්මාතෘවරයා ‘ජැක් වෝර්නෙක්‘ වෙතය. ජැකී විවාහ කර ගැනීමට ඔහුට බෙහෙවින් අවශ්‍ය වුවද හරහට සිටියේ ඇගේ නාස්තිකාර දිවි පෙවෙතයි. ජැකී සමඟ සම්බන්ධයට දෙවසරක් ගතවන විට වොර්නෙක් ඩොලර් මිලියනයක ණය බරින් මිරිකී සිටියේ ය.

1967දී ඔනාසිස් සාය පෞද්ගලික දිවයින ස්කෝර්පියෝස් වෙත පැමිණෙන ලෙස කළ ආරාධන ජැකී පිළිගත්තාය. එහි ගතකළ සෑම රාත්‍රියකදීම ඇයට වටිනා මිණිකැට තිළිණ ලෙස ලැබිණි. වසර ගණනකට පෙර ඇගේ සොයුරිය කළාක් මෙන් ඔනාසිස් සිය ධනයෙන් ජැකීද අන්ධ කළේය. අවසානයේ ජැකී, ඔනාසිස් හා සරණ ගියේ සිය සොයුරියගේ ද්‍වේෂයත්, මවගේ විරෝධයත් නොතකාය. ධනයට හා බලයට කෙතරම් කෑදරවුවද, ඔනාසිස් නිසා සිය දියණියන් සමඟි කළ නොහැකි ලෙස බෙදී වෙන්වන බැව් ජැනට් ඒ වන විට ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි නමුත් ඇසුර නතර කරන ලෙස ජැකීගෙන් හා ඔනාසිස්ගෙන් ජැනට් කළ ඉල්ලීම් ගඟට කැපූ ඉණි මෙන් විය. 1968දී ඔනාසිස් සමඟ විවාහ වූ ජැකී ඔහු මිය යන තෙක්ම විවාහය ගෙන ගියද, අවසන් කාලයේදී එය හුදෙක් ලියැවිල්ලකට පමණක් සීමා විය. මාරියා කැලස් සමඟ වූ සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන ගිය ඔනාසිස්ට ජැකීවද හිමිකරගත යුතුව තිබූ තවත් එක් වත්කමක් පමණක් වීම ඊට හේතු විය.

ඇල්ෂයිමර් රෝගයෙන් ජැනට් පෙළෙන්නට පටන් ගැනීමත් සමඟ ඇගේ සාත්තුවට කැපවී කටයුතු කළේ ජැකීය. නමුත් ඇගේ අවසන් කාලයේදී ජැනට් වැඩි ළැදියාවක් දැක්වූයේ නොසලකා හැරි බාල දියණිය වූ ලීට ය. ඇයට තමාගෙන් වූ සිදු වූ අසාධාරණයට ‘වන්දි ගෙවීමක්‘ ලෙස ඇය ඩොලර් හත්ලක්ෂ පනස්දහසක් දුන් බව දැනගත් ජැක්ලයින් කුපිත වූවාය. නමුත් ඔනාසිස්ගේ අවසන් කැමැත්තෙන් ඇයට ඩොලර් මිලියන විසිපහකට වැඩි මුදලක් හිමිවී තිබිණ.

ජැනට් අවසන් ගමන් ගියේ දෙසොහොයුරියන්ගේ ‘ඔනාසිස් හබය‘ කිසිදා සන්සිඳෙන්නේ නැති බව තහවුරු කොටගෙනය. ඇගේ මරණයෙන් වසර පහකට පසු, 1994දී ජැකී මියගියේ පිළිකාවකට ගොදුරුවීමෙනි. ඇගේ මරණ මංචකය අබියස රැඳී හුන් ලී පුන පුනා පැවසුවේ එකම දෙයකි. “මම ඔයාට හුඟක් ආදරෙයි ජැක්ස්. මම හැමදාමත් ඔයාට ආදරේ කළා. ඔයා ඒ බව දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා.“ නමුත් මොර්ෆීන් වේදනා නාශකයෙන් මත්ව සිටි ජැකීට ඒ කිසිවක් ඇසුණේ නැතිවා විය හැක.

මිලියනපතිනියක ලෙස මියගිය ජැකීගේ අවසන් කැමැත්ත ප්‍රකාශයට පත්වූ විට ඇගේ සමීපතමයින්, රසිකයින් මෙන්ම ලී ද පුදුමයට පත්වූයේ ලී පිළිබද කිසිඳු සඳහනක් එහි ඇතුළත් නොවූ නිසාය. නමුත් ජැකීසහ ලී ගැන හොඳින් දැන සිටි අයට ජැකීගේ අවසන් කැමැත්ත පුදුම වීමට හේතුවක් වූයේ නැත.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න