කොල්ලෙක් වෙඩි තබයි ජනතාව වීදි බසියි | දිනමිණ

කොල්ලෙක් වෙඩි තබයි ජනතාව වීදි බසියි

ධම්මික සෙනෙවිරත්න

ෆ්ලොරීඩා සිදුවීමත් සමඟ නිදහස් ගිනි අවි සංස්කෘතියට එරෙහි සටනට නව මානයක් ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. පෙර අවස්ථාවලදී චෝදනාව එල්ලවූයේ තරුණ ප්‍රජාව‍ දෙසටය. මෙවරද තුවක්කුකරුවා තරුණයකු වුවද ඔහුට එවැන්නක් කිරීමට ඉඩ ලැබීමේ වරදට වගකිවයුතු බවට චෝදනාවන්ට ලක්ව ඇත්තේ වැඩිහිටි ප්‍රජාවය.

ආසන්න මාස කිහිපයේදී එක පිට එක අමෙරිකාවෙන් වාර්තා වූ සමූහ ඝාතක වෙඩි තැබීමේ සිදුවීම්වලින් පසුව එරට නිදහස් ගිනි අවි සංස්කෘතියට වැට බැඳිය යුතුය යන සංවාදය ප්‍රබලව පෙරට ආවේය. එහි උණුසුම එලෙසම තිබියදී ඉකුත් සෙනසුරාදා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලෑන්ඩ් හි උසස් පාසලක තුවක්කුකරුවකු කළ වෙඩි තැබීම්වලින් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වූයේ දැඩි කම්පනයක් ඇතිකරමිනි. තුවක්කුකරුවා එම පාසලෙන් නෙරපා හැර සිටි මානසික විකෘතිතා සහිත ශිෂ්‍යයකු බව වාර්තා වී තිබේ. මේ අවාසනාවන්ත සිදුවීමේදී ගුරු සිසු දෙපිරිසම වෙඩි උණ්ඩවලට ගොදුරු වූහ. තුවක්කුකරු අත තිබූ ගිනි අවිය නීත්‍යානුකූලව මිලදී ගත් එකකි. එය අර්ධ ස්වයංක්‍රීය රයිෆලයකි.

ෆ්ලොරීඩා වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ විශේෂයෙන් සිසුන් සහ තරුණ ප්‍රජාව නිදහස් ගිනිඅවි සංස්කෘතියට එරෙහිව වීදි බැස සිටිති. ඔවුන්ගේ විරෝධය ධවල මන්දිරයේ දොරකඩටම ළඟාවී ඇති අතර මන්දිර උද්‍යානයේ රැඳී සිටිමින් වහා ක්‍රියාත්මක වන ලෙසට බලධාරීන්ට බලකරමින් සිටී.

පවතින නීතිය යටතේ තමන් දන්නා හඳුනන ආදරය කරන අය මිය යමින් සිටින බවත් තවදුරටත් එය එලෙස වනු දැකීමට අවශ්‍ය නැති බවත් පවසමින් ඔවුහු හඬ නඟන්නාහ. මෙවර ඒ හඬ හුදු වේදනාකාරී ශෝකී වූවක්ම නොව වෛරයෙන් හා කෝපයෙන් ද ගිනියම්ව ඇති අයුරු දිස්වේ. දැන්ම යමක් කරන්න! ආයෙමත් මෙවැන්නක් වෙන්න දෙන්න බෑ! මගේ මිතුරන්ට නිකරුණේ මියැදෙන්නට ඉඩ දෙන්න එපා! වැනි පාඨ රැගත් විරෝධතා පුවරු ඉහළට එසවී තිබේ.

ජාතික රයිෆල් සංගමයෙන් ආධාර ලබාගැනීම දේශපාලනඥයන් විසින් නතර කළ යුතු බවට ද හඬක් මෙහිදී මතු වී ඇත. ලජ්ජයි! ලජ්ජයි! යනුවෙන් හඬ නඟමින් විරෝධතාකරුවන් මතුකළේ ඔවුන්ගේ ඉල්ලීමය. මෙම වෙඩි තැබීමේ සිදුවීම් එරට සාමාන්‍ය ජන ජීවිතයට බලපාන තත්ත්වයක් උදාකරමින් ඇති සෙයකි. කොතැනකදී වුව උණ්ඩයකට බිලිවීමට අවදානමක් තිබියදී තමන් සහ තම දරුවන් එදිනෙදා කාර්යයන්හි නියැළෙන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති. ඩිමොක්‍රටික්, රිපබ්ලික්, ස්වාධීන ආදී බෙදීම් සියල්ල පසෙකලා මේ ප්‍රශ්නයේදී එකට සිටගත යුතු බව ඔවුන්ගේ අදහසය. එසේ නොවුණහොත් මෙවැනි ක්‍රියා ඉදිරියටත් සිදුවනු ඇති බව ද තම දරුවන් නිරපරාදේ මිය යනු ඇති බව ද පවසමින් මව්පියෝ හඬ නඟන්නාහ.

බලධාරීන්ගේ නොසැලකිල්ල

නිකොලාස් කෲස් නම් තුවක්කුකරුවාගේ බිය උපදවන චර්යාවන් ගැන පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණු බව ද වාර්තා වී තිබේ. එහෙත් භයානක අපරාධයක් කිරීමට පෙර ඔහු නතර කිරීමට බලධාරීන් අසමත්වීම ද දෝෂදර්ශනයට ලක්ව ඇත. ඔහුගේ මව ඉකුත් නොවැම්බරයේදී මියගොස් ඇති අතර පියා ද වසර කිහිපයකට පෙර මියගොස් තිබේ. ඔහු කෙරෙන් චංචල මෙන්ම හිංසාකාරී චර්යාවන් පළවූ බව සමීපතමයන්ගේ අදහස්වලින් පළවිය. මීට පෙර වතාවක ඔහු තමා විසින්ම කැපුම් තුවාල සිදුකරගත් විට ‍ෆ්ලොරීඩා හි ළමා සුබසාධන කාර්යාංශය ඔහු ගැන පරීක්ෂණ පැවැත්වීය. එහෙත් ඔවුන්ගේ නිගමනය වූයේ ඔහු ස්ථාවර තත්ත්වයක පසුවන බවය. එබැවින් ප්‍රමාණවත් පසුවිපරමක් සිදුවූයේ නැත. ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කළ සෞඛ්‍ය අංශවල මතය වූයේද ඔහුට නේවාසික ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය නැති බවය. කෙසේ වුවද ඔහු ඕටිසම් තත්ත්වයෙන් මෙන්ම අධි ක්‍රියාකාරී චර්යාවන්ගෙන් ද පෙළෙමින් සිටි බව නිරීක්ෂණය වී තිබේ.

ප්‍රහාරකගේ චර්යාව

එ‍ෆ්. බී. අයි. (FBI) වාර්තාවලට අනුව කෲස්ගේ සමීපතමයකු ඔහුගේ ගිනි අවිය සහ ඔහු කෙරෙන් පළවූ හිංසාකාරී චර්යාව ගැන එෆ්. බී. අයි. වෙත දුරකතනයෙන් පැමිණිලි කර ඇත. ඔහු මෙවැනි ප්‍රහාරයක් කිරීමට ඉඩ ඇති බවට ද සැක පහළ කර තිබුණි. මේ පැමිණිල්ල කෙරෙහි එෆ්. බී. අයි. හි අවධානය ප්‍රමාණවත් ලෙස යොමුවී නැති බව අනාවරණ වේ. බ්‍රොවඩ් ජනපද ප්‍රධානී කාර්යාලයට ද ගතවූ වසර කිහිපය තුළ කෲස් ගැන පැමිණිලි කරමින් දුරකථන ඇමතුම් 20 කට වැඩි ගණනක් ලැබී තිබූ බව ද හෙළිදරව් විය.

නිසි විමර්ශනයට ලක්විය යුතු මෙවැනි තත්ත්ව ගැන එෆ්. බී. අයි. හෝ අදාළ අංශවල ප්‍රමාණවත් අවධානය යොමු නොවීම අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද දොම්නසට හා දෝෂදර්ශනයට හේතු වී ඇති අයුරු ඔහු තැබූ ට්විටර් පණිවුඩයකින් පැහැදිලි වේ. එම පණිවුඩයේ ‍ඔහු දක්වා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණයේදී රුසියානු බුද්ධි අංශ අමෙරිකාව තුළ දියත් කළා යැයි පැවසෙන බුද්ධි මෙහෙයුම් ගැන සොයන්නට මුළු වෙර යෙදූ එෆ්. බී. අයි. නිලධාරීන් සැබැවින්ම පරික්ෂණ කළ යුතු මෙවැනි කාරණා ගැන නිහඬවීම අවාසනාවන්ත තත්ත්වයක් බවය.

රුසියානු ඔත්තු සේවාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ එෆ්. බී. අයි. පර්යේෂණ ඔස්සේ එළැඹි නිගමන ද මීට දින කිහිපයකට පෙර එළිදැක්විණි. ජනාධිපති ට්‍රම්ප් ඒවා දෙස බලා තිබුණේ උපහාසයෙන් බව පෙනෙන්නට තිබිණි. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියානු බුද්ධි අංශවල සහාය ලැබුණු බවට ඒ දිනවල ප්‍රචාරය කෙරිණි. එෆ්. බී. අයි. මඟින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීය.

ෆ්ලොරීඩා සිදුවීමත් සමඟ නිදහස් ගිනි අවි සංස්කෘතියට එරෙහි සටනට නව මානයක් ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. පෙර අවස්ථාවලදී චෝදනාව එල්ලවූයේ තරුණ ප්‍රජාව‍ දෙසටය. මෙවරද තුවක්කුකරුවා තරුණයකු වුවද ඔහුට එවැන්නක් කිරීමට ඉඩ ලැබීමේ වරදට වගකිවයුතු බවට චෝදනාවන්ට ලක්ව ඇත්තේ වැඩිහිටි ප්‍රජාවය. ශිෂ්‍ය හා තරුණ කොටස් වේදනාවෙන් මෙන්ම ආවේගයෙන් ද හඬ නඟමින් සිටින්නේ ව්‍යවස්ථා සම්පාදකයන් වහා නීතිමය පියවර ගත යුතු බවටය. වසර 19 කට පමණ පෙර පාර්ක්ලෑන්ඩ් හි සිට සැතපුම් 2000 ක් පමණ දුරින් පිහිටි කොලම්බයින් හි උසස් පාසලක මෙවැනි වෙඩි තැබීමේ සිදුවීමක් ඇතිවය. එවක් පටන් මේ දක්වා එවැනි සිදුවීම් 25 ක් පමණ වාර්තා වී තිබේ.

සමාජජාල භාවිතයක් මෙන්ම නව තාක්ෂණය හැසිරවීමක්ද එවකට මෙපරිදි සිදු නොවීය. අද තත්ත්වයට ඊට වඩා බොහෝ සේ වෙනස්ය. එදා ශිෂ්‍යයෝ ඛේදවාචකයට පසු සිදුකළේ වැළැපීමය. යාච්ඤා කිරීමය. කාරුණිකභාවය පළකිරීමය. අද ශිෂ්‍යයෝ හුදෙක් කම්පාවීමට සීමා නොවෙමින් ආවේගය ද මුසු ජවයකින් යුතුව වීදි බැස සිටිති. මේ හොඳටම ඇති! යන්න ඔවුන් මතුකරන පණිවිඩයයි. ඔවුන්ගේ හඬට කන්දීමට බලධාරීන් අසමත්වුවහොත් මෙය වෙනත් ආකාරයකින් පුපුරා යාමට වුවද බැරි නැත.

නිදහස් ගිනි අවි සංස්කෘතියට වැටබැඳිය යුතු බවට හඬ නඟමින් ශිෂ්‍ය හා තරුණ ප්‍රජාව ධවල මන්දිර භූමියේ කඳවුරු බැඳී සිටියහ. පසුගිය දිනවල ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ සිටියේ නැත. ඔහු ෆ්ලොරීඩා හි නිවාඩුවක් ගතකරමින් පසුවිය. එසේ වුවද මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් පවුල්වල සාමාජිකයන්ගේ සහ උසස් විදුහලේ සිසුන්ගේ හඬට කන්දීමට ඔහු පසුව අවස්ථාව උදාකරගෙන තිබේ.

ට්‍රම්ප්ට අායාචනා

එහිදී ශිෂ්‍යයන්ට ජනාධිපතිවරයා හමුවී සිය වේදනාව ප්‍රකාශ කිරීමට මෙන්ම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ද අවස්ථාව උදාවිය. මේ හමුවට මීට පෙර සැන්ඩිහුක් පෙර පාසලේදී සිදුවූ මෙවැනි ඛේදවාචකයෙන් මෙන්ම කනෙක්ටිකට් හි සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත්වූ අයගේ පවුල්වල සාමාජිකයෝ ද එක්ව සිටීම විශේෂයකි. එය හැඟුම්බර අවස්ථාවක් වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. බොහෝදෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වා සිටියේ හැඬූ කඳුලිනි. ඔවුන් ඔහු හමුවේ කළ සාමුහික ඉල්ලීම වූයේ මෙය අසීරු කාර්යයක් නොවන බවත්, මේ මරණ වළක්වාගත හැකි බවත්, ඔබේ දරුවන් ගැන ද සිතා වහා පියවර ගන්නා ලෙසය. මේ අවස්ථාව පැහැර නොහරින්නැයි ඔවුහු ජනාධිපතිවරයාට දැඩිව ආයාචනා කර සිටියහ. වර්තා වන පරිදි ඔහු නීති සංශෝධනය කිරීමට පියවර ‍ගනු ඇත.

අමෙරිකාවෙන් බිහිවූ ඔලිම්පික් වෙඩි තැබීමේ ශූරයකු වන ලොවෙල් බේලිද නිදහස් ගිනි අවි සංස්කෘතියට එරෙහිව හඬ අවදි කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ ප්‍රහාරක රයිෆල් කිසිදු සාමාන්‍ය පුරවැසියකු අත නොතිබිය යුතු බවය. AR - 15 රයිෆලයක් තමන් සතුව හෝ නොමැති බව පවසන ඔහු එවැන්නක් මිලට ගැනීමට ද තමන්ට කිසිදු ආසාවක් ‍නැති බව කියා සිටී. මිනිසකු මැරීමට යොදාගත හැකි ගිනි අවියක් දැරීමට තමන් අකමැති බව පවසා ඔහු එවැනි අවි ඕනෑම අයකු අතට පත්වීම අඥාන දෙයක් ලෙස ද දකී.

ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර මව්බිමෙන් වාර්තා වූ මේ අඳුරු ඛේදවාචකය ගැන බේලි කම්පා වී තිබුණේ දුර සිටිමිනි. ඔලිම්පික් නියෝජනය කරන තවත් දක්ෂ මලල ක්‍රීඩිකාවක වන සුසෑන් ඔන්ක්ලී පවසා ඇත්තේ මෙවැනි පුවතක් අසන සෑම විටෙකම තමන්ගේ උදරයේ වේදනාවක් ඇතිවන බවය.

නව අදහස දක්වන්න