රටේ පවත්නා දීර්ඝ නියඟය දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි බලපෑම් ඇති කර තිබේ. ඇතැම් ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය නැත. තව ප්‍රදේශවල කුඹුරු දැවී ගොස් ඇත. තවත් ප්‍රදේශවලට වැස්ස නැතිකම නිසා වගා කටයුතු මුළුමනින්ම නැවතී තිබේ. පොල් ත්‍රිකෝණයේ ඵලදාවද අඩු වී ඇත. මේ හැරෙන්නට රටේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව විදුලිය උත්පාදනය ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ. දේශපාලන උණුසුම නිසා බොහෝ දෙනකුගේ අවධානය මේ කෙරෙන් දුරස් වෙමින් පවතින බව ද දැකගත හැකි ය. විදුලිබල මණ්ඩලය කෘත්‍රීම වැසි කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බව ද දැනගන්නට ලැබේ.
වසර පහකට හෝ හයකට වරක් නියඟයකට මුහුණ දෙන්නට සිදුවීම ශ්‍රී ලංකාවේ දේශගුණික රටාවේ එක්තරා ලක්ෂණයකි. එහෙත් මේ වන විට සෑම වසරකම පාහේ දැඩි නියං කාලයක් එළඹෙයි. මීට පෙර සූදානමක් දකින්නට නැත. එහි ප්‍රතිඵලය ලෙස තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශ ද ජල හිඟයකට මුහුණ දෙයි. නිදසුනක් ගතහොත් බස්නාහිර පළාතේ ඇතැම් ගම්මානවල ද ළිං සිඳී ඇත. තව ළිංවල ජලය පාවිච්චි කළ නොහැකි ය. මේ තත්ත්වය දිගට ම පැවතුණහොත් රටේ බොහෝ ප්‍රදේශ කාන්තාර බවට පත් වනු ඇත. ඉතියෝපියාවට සිද්ධ වූයේ ද මේ ටිකම ය. ඉතියෝපියාව දේශපාලන අර්බුදවලට හා ත්‍රස්තවාදී ගැටුම්වලට මුහුණ දුන් අතර පරිසරය මුළුමනින්ම අමතක කර දැම්මේ ය.
කාසල් රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා හා රන්ටැඹේ යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන්නට පටන්ගෙන තිබේ. කාලගුණ විද්‍යාඥයෝ මීට හේතු දෙකක් දක්වති. එක; ජලාශවල ජලපෝෂක ප්‍රදේශ ශීඝ්‍රයෙන් විනාශවීම ය. දෙක; මෝසම් වැසි ප්‍රමාදවීම ය. විශේෂයෙන් ඊසාන දිග මෝසම සක්‍රීය නොවූ බව ඔව්හු පෙන්වා දෙති. ජලාශවල රොන්මඩ පිරී තිබීම ද මීට එක් හේතුවක් ලෙස දැක්විය හැකි ය. රොන්මඩ නිසා විශාල ජල ධාරිතාවක් රඳවා තබා ගැනීමේ හැකියාව මේ ජලාශ වෙතින් ගිලිහී ගොස් ඇත. පළමුව මේවා පිළිබඳ විධිමත් නිරීක්ෂණයක් කළ යුතු ය. දෙවනුව කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කළ යුතු ය.
මේ වන විට බොහෝ ප්‍රදේශවල තත්ත්වය බැරෑරුම් ය. වැව් සිඳී ඇත. ළිං සිඳී ඇත. සමහරු බීමට වතුර ටිකක් සොයා සැතැපුම් ගණන් ඇවිදිති. මනුෂ්‍ය ප්‍රජාවට පමණක් නො ව; සත්ව ප්‍රජාවට ද නියඟය බල පා තිබේ. ආහාර හා ජලය සොයා වන අලි ගම් වදින්නට පටන්ගෙන සිටිති. එය ගොවි ජනතාවට තවත් ප්රශ්නයකි. වගා බිම්, නිවාස පමණක් නො ව; අලින්ගෙන් තම ජීවිත බේරාගැනීමට ද ගොවි ජනයාට සිදු වී ඇත. නියඟයක දී බවුසර් මඟින් ජලය බෙදා හැරීමක් සිදුවන්නේ වුව ඇතැම් පළාත්වලට එම සේවාව ලැබී නැත. ඇතැම් ප්‍රදේශවල ජනතාව ජීවත්වන්නේ කබලෙන් ළිපට වැටුණු තත්ත්වයක යැයි කියන්නට පුළුවන.
නියඟයේ ස්වාභාවය පැහැදිලි කරන තවත් සිද්ධියක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබිණි. එම ප්‍රදේශයේ එක්තරා නිවසක් දැඩි තාපය මත ගිනිගෙන තිබිණි. පළමුව ගින්න පැතිර ගොස් ඇත්තේ සිවිලිම මත ය. නිවසේ වහලයට පතිත වන දැඩි හිරු රශ්මිය මත තහඩු රත්වී මෙය සිදුවී ඇතැ’යි නිරීක්ෂණවලින් පැහැදිලි වී ඇත. තාප සංක්‍රමණ ක්‍රියාවලිය ලෙස මෙය හැඳින් වේ. සිද්ධියෙන් පැහැදිලි වන්නේ ශීත කාලගුණයක් සහිත හැටන් ප්‍රදේශය පවා දැඩි නියඟයකට මුහුණ දී ඇති බව ය. නුවරඑළිය, හැටන් වැනි ප්‍රදේශ වර්ෂයේ වැඩි ම වර්ෂාපතනයක් ලබන කලාපයක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ කලාපයේ දහවල උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 30ට වැඩි බව සඳහන් වේ. මෙය සංචාරක කර්මාන්තයට ද බලපාන්නට පුළුවන.
ජල හිඟය ගතහොත් ඊට ප්‍රධාන හේතු කිහිපයක් පවතී. වර්ෂාව හිගවීම, ජල මූලාශ්‍ර සිඳීයෑම, වැව් ගොඩවීම, ළිං සිඳීයෑම, ළිං ජලයට රසායනික මිශ්රවීම මේ අතර ප්‍රධාන තැන ගනී. වර්ෂා රටාව වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතුව වනාන්තර විනාශ කිරීම යයි කියන්නට පුළුවන. අපේ මධ්‍යම කඳුකර පවා පවතින්නේ අන්තරායදායක තත්ත්වයක යැයි කියන්නට පුළුවන. ප්‍රධාන ජලාශවල ජල පෝෂක ප්‍රදේශ පවා විනාශ කර ඇති බව සමහරු පෙන්වා දෙති. තෙත් කලාපයේ ළිං සිඳී යන්නේ නොසැලකිල්ල නිසා ය. මේ වන විට කිසිවකු තමා අවට පරිසරය ආරක්ෂා කරන තැනක නැත. සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ කෙටිකාලීන ආදායම් කෙරෙහි ය. රටේ පුරවැසියන් පරිසරයට ආදරය කරන තැනකට ගෙන යා යුතුව තිබේ.
සමස්ත රටේ භූගෝලීය පරිසරය ගැන නිරීක්ෂණයක් කළහොත්; එක අතෙකින් මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන අතු ගංගා රාශියක් තිබේ. මේවා මඟින් විශාල ජල ධාරිතාවක් මුහුද වෙත ප්‍රවාහනය කෙරේ. මේ ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට නැත. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජරටට ජලය ලබා දී ඇති බව සත්‍යයෙකි. එහෙත් එබඳු යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කළ හැකිව තිබේ. ඒ සමඟම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන තැනකට ද යා හැකි ය. විදේශ ආධාර ලබාගෙන හෝ එබඳු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැදගත් ය. අනාගත ශ්‍රී ලංකාවේ ජල ගැටලුව විසැඳීමට නම් මෙබඳු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. දේශපාලකයන් ඒ කෙරෙහි උනන්දු විය යුතු ය.
අලුත්ම යෝජනාව ලෙස ඉදිරිපත් වී ඇත්තේ ප්‍රධාන ජලාශ පවත්නා ප්‍රදේශවලට කෘත්‍රීම වැසි ඇති කිරීම ය. මේ සඳහා තායිලන්ත සමාගමක සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරයි. එම සමාගමේ ඉංජිනේරු කණ්ඩායමක් දැනට ම ජලාශ ප්‍රදේශවල නිරීක්ෂණවල නිරත වෙති. ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කොට වැසි ලබා ගනී. තායිලන්ත සමාගම මේ විෂයයට ප්‍රසිද්ධ බව ද කියති. 1981 දී මේ සමාගම ශ්‍රී ලංකාවට පැමිණ කෘත්‍රීම වැසි ලබා දුන් බව අපට මතක ය. කෘත්‍රීම වැසි සම්බන්ධයෙන් විවේචන ද පවතී. කෙසේ වුව මේ මඟින් තාවකාලික වැසි ලබා ගත හැකි බව සනාථ වී ඇත. මේ වන විට අපට කෙටිකාලීන විසැඳුමක් ද අවශ්‍ය වෙයි.
අපට අවශ්‍ය ජලය හා හිතකර දේශගුණය පිළිබඳ ගැටලුවට විසැඳුම් ඇත්තේ දිගුකාලීන උපායමාර්ග තුළ යැයි කියන්නට පුළුවන. රටේ නායකයන් මෙන් ම බුද්ධිමතුන් ද මේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය පැමිණ තිබේ.
නව අදහස දක්වන්න