වසර 21කට පසුව සභාපති පුටුව වෙනස් වෙයි
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී රොහාන් ප්‍රනාන්දු හා සුරේෂ් සුබ්‍රමනියම් යන මහත්වරු දෙදෙනාගෙන් කෙනෙකුට ඡන්දය නොදී ඡන්ද පත්‍රිකාව ප්රතික්ෂේපවන පරිදි බලි කුරුටු ලියූවේ කුමන ක්‍රීඩා සංගමයක නියෝජිතයෙකු ද යන්න බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබේ.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට සාමාජික ක්‍රීඩා සංගම් 31කින් ඡන්ද එක බැගින් ප්‍රකාශ වන අතර සභාපති තරගයේදී ජයගත් සුරේස් සුබ්‍රමනියම් මහතාට ඡන්ද 18ක් හා රොහාන් ප්‍රනාන්දු මහතාට ඡන්ද 12ක් වාර්තාවී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය. එලෙස ප්‍රතික්ෂේප වූ ඡන්දය ප්‍රකාශ කළ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා හා එදින ඡන්දය ප්‍රකාශ කළ නියෝජිතයා මත දෙකක් දැරීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව වාර්තා වේ. එහෙත් ලේකම් ඇතුළු අනෙක් තනතුරුවලදී සියලු ඡන්ද භාවිතා කිරීමට ක්‍රීඩා සමාජ තිස් එකේම නියෝජිතවරු කටයුතු කර තිබුණි.
වසර 21ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලකයකු වූ වත්මන් මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකර සිය ධූරයෙන් සමුගත්තේය. ඔහු සමග ලේකම් තනතුරු ඉසිලූ මැක්ස්වෙල් ද සිල්වා මහතා, රොහාන් ප්‍රීති විරාජ් මහතා වැඩි ඡන්ද 7කින් පරාජයට පත් කළේය. මැක්ස්වෙල් මහතා ඡන්ද 19ක් ලබා ගනිද්දී ප්‍රීතිවිරාජ් මහතා ඡන්ද 12ක් ලබා ගත්තේය.
ටොරින්ටන් පෙදෙස ඔලිම්පික් නිවහනේ පැවැති මේ නිලවරණයේදී රොහාන් - සුබ්‍රමනියම් පාර්ශ්ව දෙක උණුසුම් සටනක නියැලුණ අතර නිලවරණයේ බහුතර ජයග්‍රහණ සුරේෂ් සුබ්‍රමනියම් පාර්ශ්වය සතු විය. රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයෙන් උප සභාපති තනතුරට තරග කළ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පමණක් ජය ලැබීම විශේෂත්වයකි.
ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි 27 වැනිදා නැවත නිලවරණය කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය. ඔලිම්පික් කමිටු නිලවරණයට පෙර විගණිත මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සමාලෝචනයක් ද සිදු කෙරුණි.
මේ නිලවරණයේදී ක්‍රීඩක කොමිසමට හිමිව තිබූ ඡන්ද දෙක අහිමි කළ අතර හොකී හා බැඩ්මින්ටන් සංගම්වලට ඡන්ද අයිතිය ලබාදීම නීත්‍යානුකූල බවට ජගත් ඔලිම්පික් කමිටුව නිර්දේශ කොට තිබුනි.
එහෙත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තම නියෝග අනුව අති විශේෂ ගැසට් පත්‍රයකින් බල රහිත කොට ඇති හොකී - බැඩ්මින්ටන් සංගම්වලට ඡන්ද අයිතිය හිමි කිරීම සිදු නොවිය යුතු බවය. මේ නිලවරණය අධීක්ෂණයට ජගත් ඔලිම්පික් කමිටුවේ ආසියානු කළාපීය නියෝජිත හයිඩර් ෆාමන් මහතා සහභාගීවී සිටිමද විශේෂත්වයකි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක (සභාපති) මේ අමත්යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. විරිතමුල්ල හා එස්. ලියනගම යන මහත්වරු ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණ කමිටු සාමාජිකයෝ වූහ.
නිලවරණයෙන් අනතුරුව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසූවේ මෙය අති විශිෂ්ට ජයක් ලෙස හැගී යන බවයි.
“මගේ ප්‍රතිවාදියෝ මට මාධ්‍ය හරහා නොමිලේ ප්‍රසිද්ධියක් දුන්නා. ඒක මට වාසියක් වුණා. අප කණ්ඩායමට අවලාද නැගුවා. ක්‍රීඩා සංගම් ඒවා පිළි ගත්තේ නෑ. මා වසර 10දී ටෙනිස් ක්‍රීඩා කළා. ජාතික තලය දක්වාම පැමිණියා. මගේ පියා හොඳ ටෙනිස් ක්‍රීඩා පරිපාලකයෙක්. මගේ නැගනිය ටෙනිස් ක්‍රීඩා කළා. අපි දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ක්‍රීඩා කළා. මාගේ ජයග්‍රහණයට සහය වූ මැක්ස්වෙල් හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ස්තූතියි” සුබ්‍රමනියම් මහතා පැවැසීය.
මෙහිදී ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා පැවසූවේ නිලවරණය ආචාර ධර්ම අනුව නිසි පරිදි සිදුවූ බවයි. “ඔලිම්පික් කමිටු නියෝජිතයකු ඉදිරිපිට නිලවරණය පැවැත්වූවේ. කාටවත් ඇඟිල්ල දිගු කිරීමට බෑ. ඇතැම් මාධ්‍ය අපට එලව එලවා පහර දුන්නා. අපේ පරමාර්ථය ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමයි. ඒකට දිවි හිමියෙන් කැපවෙනවා. සියලු ක්‍රීඩා සංගම්වලට එක හා සමානව අප සලකනවා” සිල්වා මහතා පැවැසීය.
ජාතික ඔලිම්පික් නිලවරණයේ ඡන්ද ප්‍රතිඵල මෙසේය:
සභාපති (තනතුරු 1යි): සුරේෂ් සුබ්‍රමනියම් (ඡන්ද 18), රොහාන් ප්‍රනාන්දු (ඡන්ද 12)
උප සභාපති (තනතුරු 4යි): ජෝෂප් කෙනී (ඡන්ද 18), අසංග සෙනවිරත්න (ඡන්ද 17), මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු (ඡන්ද 18), සුමිත් එදිරිසිංහ (ඡන්ද 16), ඩයන් ගෝමස් (ඡන්ද 15), මේජර් ජෙනරාල් දම්පත් පණ්ඩුල (ඡන්ද 13), අනුර ද සිල්වා (ඡන්ද 12), උදයසේන සිල්වා (ඡන්ද 11), චමින්ද කුමාර (ඡන්ද 2)
ලේකම් (තනතුරු 1යි): මැක්ස්වෙල් ද සිල්වා (ඡන්ද 19), ප්‍රීති විරාජ් පොරේරා (ඡන්ද 12), ප්‍රගීත් ප්‍රියංකර පෙරේරා (ඉල්ලා අස්වුණා)
භාණ්ඩාගාරික (තනතුරු 1යි): සේනක රණසිංහ (ඡන්ද 17), මෙල්රෝයී පීරිස් (ඡන්ද 14), ගාමිණී ජයසිංහ (ඉල්ලා අස්වුණා)
නියෝජ්‍ය භාණ්ඩාගාරික (තනතුරු 1යි): නිශාන්ත ද සිල්වා (ඡන්ද 17), නිශාන්ත පියසේන (ඡන්ද 14)
නියෝජ්‍ය ලේකම් (තනතුරු 1යි): වින්ග් කමන්ඩර් චන්දන ලියනගේ (නිතරගයෙන්), කංචන ජයරත්න (ඉල්ලා අස්වුණා)
විධායක කමිටු සාමාජිකයන් (තනතුරු 3යි): චානක හසන්ත (ඡන්ද 21), ෆයිසාල් මොහොමඩ් හුසේන් (ඡන්ද 17), අජිත් තමේල් (ඡන්ද 17), නාලක ශාන්තසිරි (ඡන්ද 15), අජිත් කුමාර සියඹලාපිටිය (ඡන්ද 12)
නව අදහස දක්වන්න