පවතින වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 92000කට අයත් පුද්ගලයන් දෙලක්ෂ අනූපන්දහසක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රිකවලට මෙම වියළි කාලගුණික තත්ත්වය දැඩිව බලපා ඇත.
පුත්තලම දිස්ත්‍රිකයේ පමණක් පවුල් 66436 කට අයත් සාමාජිකයින් දෙලක්ෂ දහසය දහස් එකසිය අසූනම දෙනෙක් පීඩාවට පත්ව සිටිති. කුරුණෑගල දිස්ත්‍රිකයේ පවුල් 17194 ක්ද අනුරාධපුර දිස්ත්‍රිකයේ පවුල් 3189 ක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 4789 ක්ද පොළොන්නරුව දිස්ත්‍රිකයේ පවුල් 250 ක්ද මහනුවර දිස්ත්‍රිකයේ පවුල් 150 ක්ද වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම නිසා පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වියළි කාලගුණ තත්ත්වය සමග ලවණ මුසු මුහුදු ජලය කළු ගඟට මුසුවී ඇති බැවින් එම ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. උතුරු කළුතර, දකුණු කළුතර, වස්කඩුව, වාද්දූව, නාගොඩ, බෝම්බූවල, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, බෙන්තර හා දර්ගා නගරය වෙත බෙදා හැරෙන ජලයේ මුහුදු ජලය මිශ්‍ර වී ඇති බැවින් එම ජලය පානය කිරීමට යොදා නොගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය දැනුම්දී තිබේ.
වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්රිත මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ද සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ. රන්ටැඹේ ජලාශය සක්‍රීය ජල ධාරිතාව 3.5 % ක් දක්වා පහළ බැස ඇත. කොත්මලේ ජලාශයේ පවතින සක්‍රීය ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවයෙන් 29 %කි. වික්ටෝරියා ජලාශයේ 73 %ක් ද රන්දෙණිගල ජලාශය 47% ක්ද බෝවතැන්න 36% ක් හා මොරගහකන්ද 78% ක ජල ධාරිතාවයෙන් යුක්ත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි..
නව අදහස දක්වන්න