ජී. 24 තාක්ෂණික කමිටු රැස්වීම හෙට කොළඹදී ඇරැඹේ | දිනමිණ

ජී. 24 තාක්ෂණික කමිටු රැස්වීම හෙට කොළඹදී ඇරැඹේ

ජයසිරි මුණසිංහ

රටවල් 24 කණ්ඩායමේ (ජී. 24) තාක්ෂණික කමිටු රැස්වීම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) හා අනිද්දා (28) දෙදින කොළඹ දී පැවැත්වේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (27) උදේ සමුළුව ආරම්භ වනු ඇත.

මෙම තාක්ෂණික කමිටු රැස්වීම සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් හා මහ බැංකු අධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් 45කට වැඩි ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය.

ජී-77 රටවල් සමූහයේ පරිච්ඡේදයක් වන 24 කණ්ඩායම 1971 දී ස්ථාපිත කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය සහ මූල්‍ය ගැටලු සංවර්ධනය පිළිබඳ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්හි ස්ථාවරයන් සම්බන්ධීකරණය කිරීමට මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රමාණවත් ලෙස නියෝජනය කිරීම තහවුරු කිරීමේ අරමුණින්ය.

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධන පිළිබඳ අන්තර් රාජ්‍ය 24 කණ්ඩායම ලෙස නිල වශයෙන් හඳුන්වන ජී-24 කණ්ඩායම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලේකම් කාර්යාල සේවා සපයනු ලබයි. ජී-24 තාක්ෂණික කමිටු රැස්වීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය කමිටු හා සංවර්ධන කමිටු රැස්වීම්වලට පෙරාතුව න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාජිකයින්ට කල් වේලා ඇතිව සාකච්ඡා කිරීමට හැකිවන පරිදි වසරකට දෙවතාවක් පැවැත්වේ.

ජී-24 කාර්යාංශය, ජි-24 කණ්ඩායමේ විධායක අංශය වන අතර එහි සභාපති, පළමු උප සභාපති, දෙවන උප සභාපති සහ හිටපු සභාපති දෙදෙනෙකුගෙන් සමන්විත වේ. වර්තමානයේදී ජී-24 කාර්යංශයේ නායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහි සභාපතීත්වය දරයි.

 

නව අදහස දක්වන්න