*නීතිය සහ සාමය කෙටි කලකට අගමැතිට
*කිරිඇල්ලගේ අමාත්‍යාංශ කබීර්ට
*සන්ධාන පාර්ශ්ව සංශෝධන දෙසතියකින්
ජාතික රජයේ නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු දස දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (25) පෙරවරුවේ දිවුරුම් දුන්හ.ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය ධුර නවයක්ද එක්සත් ජනතා සන්ධානයේ එක් අමාත්‍ය ධූරයක්ද සංශෝධනය විය.
මෙහි විශේෂත්වය වනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය හිමි විමයි. ඒ ඔහු දැනට දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධූරයට අමතරවයි.අගමැති වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය දරනු ලබන්නේ කෙටි කලකට පමණක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
කම්කරු හා වෘත්තිය සමිති සබඳතා රාජ්‍ය ඇමති ධුරය දැරු රවීන්ද්‍ර සමරවීර මහතාට මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි විමද විශේෂත්වයකි.
මෙතෙක් කල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයන් දැරු තරුණ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන අජිත් පි.පෙරේරා සහ හර්ෂ ද සිල්වා මහත්වරුන්ට මෙවර රාජ්‍ය අමාත්‍ය ධුරයන් හිමිව තිබේ.
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී.අලවතුවල මහතාට කැබිනට් සංශෝධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.
මෙතෙක් කල් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැරූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ධුරය කබීර් හෂීම් මහතාට හිමිව තිබේ. කබීර් හෂීම් මහතා දැරූ රාජ්‍ය ව්‍යවසාය කැබිනට් අමාත්‍ය ධුරයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිව්රුම් දෙනු ලැබීය. ඊට අමතරව කිරිඇල්ල මහතාට මහනුවර සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයද හිමිව තිබේ.
නීතිය හා සාමය අමාත්‍ය ධුරය දැරූ සාගල රත්නායක මහතාට ඒ වෙනුවට හිමි වී ඇත්තේ තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයයි. මෙම විෂය ක්ෂේත්රය කලින් ඇතුළත් වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැරූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයටයි. සාගල රත්නායක මහතා දැරූ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු වී නැත.
හරීන් ප්‍රනාන්දු මහතා කලින් දැරූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයට අමතරව විදේශ රැකියා කැබිනට් අමාත්‍ය ධුරයේ වගකීම හිමිව තිබේ. විදේශ රැකියා අමාත්‍ය ධූරය කලින් දරනු ලැබුවේ තලතා අතුකෝරල මහත්මියයි.
ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දැරූ තිරසර සංවර්ධන හා වනජිවී කැබිනට් අමාත්‍ය ධුරය මෙතෙක් කල් රාජ්‍ය ඇමති ධුරයක් හෙබවු රවීන්ද්‍ර සමරවීර මහතාට පිරිනමා තිබේ.
නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ පියසේන ගමගේ මහතාට තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි ව තිබේ.
විදුලි හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ අජිත් පී පෙරේරා මහතාගේ නව වගකීම වන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය ධූරයයි. මෙතෙක් කල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්තික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ හර්ෂ ද සිල්වා මහතාගේ නව වගකීම වනුයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පමණක් මෙතෙක් කටයුතු කළ ජේ.සී. අලවතුවල මහතාට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමිව තිබේ.
ඊයේ සිදු වූ කැබිනට් සංශෝධනය අනුව දිව්රුම් දුන් ඇමතිවරු මෙසේය.
කැබිනට් අමාත්‍යවරු
01- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - නීතිය හා සාමය
02- ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන
03- කබීර් හෂීම් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග
04- සාගල රත්නායක මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන
05- හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා
06- රවින්ද්‍ර සමරවීර මහතා - තිරසර සංවර්ධන හා වනජීවි
රාජ්‍ය අමාත්‍යවරු
01- පියසේන ගමගේ මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන
02- අජිත් පී. පෙරේරා මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන
03- හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
නියෝජ්‍ය අමාත්‍යවරු
01- ජේ.සී. අලවතුවල මහතා - ස්වදේශ කටයුතු
නව අමාත්‍යවරුන් දිව්රුම් දුන් අවස්ථාවට ජාතික රජයේ සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහභාගි වී සිටියහ.
නව අදහස දක්වන්න