ගිරාඹේ ආනන්ද අනුනාහිමි ආදාහන පූජෝත්සවය | දිනමිණ

ගිරාඹේ ආනන්ද අනුනාහිමි ආදාහන පූජෝත්සවය

 

* ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීමට දැක් වූ කැපවීම ප්‍රගතිශීලී මානව දයාවේ සාධකයක් -ජනාධිපති

* අභියෝගවලට මුහුණ දෙමින් ශාසනයටත් සාමාජයටත් සුවිශාල සේවාවක් කළා -අගමැති

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා දීම උදෙසා දැක් වූ අපිරිමිත කැපවීම ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ ප්‍රගතිශීලී මානව දයාව පිළිබඳව දැක් වූ සාධකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝක පණිවිඩය මගින් සඳහන් කළේය.

කලක් රෝගාතුරව සිටි රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ විහාරාධිපති ගිරාඹේ ආනන්ද නාහිමියන් ඉකුත්දා (20) කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අපවත් වූහ. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් පෙරේදා (24) අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණ.

ත්‍රෛනිකායක මහා සංඝරත්නය ප්‍රමුඛ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ආදාහන පූජෝත්වය පැවැත් වූහ. එහි දී ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය ග්‍රාමිය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කළ අතර, එහි තව දුරටත් මෙසේ ද සඳහන්විය.

ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අපවත්වීම සමස්ත බෞද්ධ ජනතාවට සංවේග දනවන ජනහිතකාමී පීතෘන්වහන්සේ නමකගේ නික්ම යාමක් ලෙස මා දකිමි. සිල්වත් භවත් පිවිතුරු අභිධර්ම පිටකයේ ගැඹුරු ධර්මස්කන්ධයන්ගෙන් පිරිපුන් අනුනායක හිමියන්ගේ ජීවිතය රැව් නඟන්නේ නිහතමානී ගුණ පෙරදැරි කරගෙන සියලුම සත්ත්වයා කෙරෙහි දැක් වූ අසීමිත කරුණාවේ ගුණ සුවඳයි. කසාවත දැරීමට පින්කෙරූ කුල දරුවන් සොයමින් දුගී දුෂ්කර ගම්මාන නියන් ගම්මානවලට පියනඟමින් ඔවුන් සසුන් ගත කොට අප අනුනානායක හිමියන් සම්බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් උන්වහන්සේට සදාකාලීකව ණය ගැති වෙමු.

සියලුම ජන කණ්ඩායම් අතර උන්වහන්සේ ප්‍රචලිත වනුයේ මිනිසුන්ගේ දුක් සුසුම් අභියස හදවතින්ම දැක් වූ මනුෂ්‍ය ගුණය නිසාය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා දීම උදෙසා දැක් වූ අපිරිමිත කැපවීම අනුනාහිමියන්ගේ ප්‍රගතිශීලී මානව දයාව පිළිබඳව දැක් වූ සාධකයකි. හිසට සෙවණක් සෙවූ ජනතාවට නිවෙසක් තනා දෙමින් දුගී දුප්පත් ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් නිහඬව සමාජසේවා කටයුතුවල නිරිත වූ අනුනාහිමියන් අපවත්වීම රටට විශාල පාඩුවකි.

උන්වහන්සේ පැවිදි දිවිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් වහන්සේගේ ජීවිතය සංසාරගත ගමනේ තවත් තොටු පළකින් නික්ම වැඩම කිරීම පිළිබඳව මාගේ දැඩි සංවේගය පළ කරන බවත් සසර ඉම කෙළවර හිමිපාණන් වහන්සේ පැතුවා වූ අජරාමර නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කර සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

අභියෝගවලට මුහුණ දෙමින් නොසැලී ඉදිරියටම යමින් සම්මා සම්බුද්ධ ශාසනයටත් සාමාජයටත් ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් සුවිශාල සේවාවක් සිදු කළ බව පැවැසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දී මෙසේ ද පැවැසීය.

මිහිදු මහා රහතන් වහන්සේ බුදු සසුන අනුරාධපුරයෙන් ආරම්භ කලායින් පසුව දේවානම් පියතිස්ස රජතුමා මහමෙවුනා උයන මහා සඝරත්නයට පූජා කළා. ඒ සමඟම මහමෙවුනා උයනේ මායිම්වලත් අනුරාධපුර නගරයේ එක් එක් ස්ථානවලත් විහාරස්ථාන ඉදි වුණා. ඒ තෙරුණ් වහන්සේලාගේ ධර්මය ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ වටේම පැතිරුවා. ඒ නිසා තමයි අද වියට්නාමය දක්වා ඒ ධර්මය ආරක්ෂා වෙලා තියෙන්නේ. අනුරාධපුර රජරට පිරිහීමෙන් පසු හරිස්චන්ද්‍ර මැතිතුමා යටතේ යළි ප්‍රතිසංස්කරණය ආරම්භ කලායින් පසුව ඒ සම්ප්‍රදායන් අනුගමනය කරමින් අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනාමියන් වහන්සේ අනුරාධපුරයට පැමිණිලා සාරානන්ද මහා පිරිවෙන ඇති කර උන්වහන්සේගේ ජීවිත කාලය විහාරස්ථාන දේශීය මෙන්ම විදේශීයව පිහිටුවා තිබෙනවා. ඒ වගේම මේ පිරිවෙනේ දහස් සංඛ්‍යාත භික්ෂූණ් වහන්සේලා සඳහා අධ්‍යාපනය ලබා දීලා විශේෂයෙන් සාරානන්ද සංඝ පරම්පරාවට ආඩම්බර විය හැකි අලුත් සඟ පරපුරක් උන්වහන්සේ බිහිකර දී තිබෙනවා.

උන්වහන්සේ සිදු කළ ශාසනික සේවය අති විශාලයි. ඒ සේවාව අපේ හදවතේ තියෙනවා. ගිරාඹේ ආනන්ද නාහිමියන් කවුද කළ සේවය මොකක්ද කියා. ඒවා අපේ ජීවිත කාලයේ අපට අමතක වෙන්නේ නෑ. උන්වහන්සේ විශාල සේවයක් කළා. රාමඤ්ඤ නිකායේ පමණක් නොව උන්වහන්සේ තනතුරු ගණනාවක් දැරුවා.

උන්වහන්සේට හොඳ කළමනාකරණ ශක්තියක් තිබුණා. හැම භික්ෂූන් වහන්සේ නමකටම කළමනාකරණ ශක්තියක් නෑ. උන්වහන්සේට ආගම ධර්මය ගැනත් ඒ වගේම පන්සල් පිරිවෙන් පාලනය කිරීමේ ඒ ශක්තිය තිබුණා. ඒ වගේම විශිෂ්ට නායකත්ව ශක්තියක් උන්වහන්සේට තිබුණා.

උන්වහන්සේ රාමඤ්ඤ නිකායටත් ශ්‍රී ලාංකාවේ බුද්ධ ශාසනයටත් විශාල සේවයක් කළා. ඒ සේවය නිසා තමයි අද මේ ශාසනයත් ශක්තිමත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ බුද්ධ ශාසනයට බලපාන කරුණු ගැන බය නැතිව කතා කළා. ඒ වගේම දේශනා කළා. රට වටේ ගියා. බුදු දහම ගැන හොඳ දැනුමක් පැවැතියා මෙන්ම අනෙකුත් ආගම් පිළිබඳව ද විශාල දැනුමක් තිබුණා. උන්වහන්සේ බුදු සසුනට පළමු තැන දෙන ගමන් අනෙක් ආගම්වලට හානියක් කළේ නෑ. බුදුන්වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ ජීවත් වුණා.

ආගමික ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සමාජීය නායකත්වයත් ලබා දුන්නා. උන්වහන්සේට ප්‍රසිද්ධිය ලබා දුන් පසුව කොළඹට, මහනුවරට යන්න තිබුණා. ඒත් අනුරාධපුරයේ සිට මේ දුප්පත් පළාත්වල ගම්මානවලට උන්වහන්සේගේ අවධානය යොමු කළා. උදවු කළ ගම්මාන රැසක් තිබෙනවා. ඒවා විශේෂයෙන් කිවයුතු නෑ. ඒ නිසා තමයි ජනතාව අද උන්වහන්සේ අපවත්වීම ගැන විශේෂයෙන් ශෝක වන්නේ.

උන්වහන්සේ දේශපාලනයටත් ඒ නායකත්වය ලබා දුන්නා. ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට, ප්‍රේමදාස ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා ළඟින් ක්‍රියා කළා.

මට උන්වහන්සේ හමු වුණේ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරද්දී සාරානන්ද පිරිවෙන ගැන සාකච්ඡා කරන්න මාව මුණ ගැහෙන්න ආවා. ඊට පසු අනුරාධපුරයට එන ගමන් සාරානන්ද පිරිවෙනටත් එන්න කීවා. ඒ සම්බන්ධකම දිගටම තියා ගත්තා. විශේෂයෙන්ම උන්වහන්සේ ළඟින්ම ආශ්‍රය කළේ සිරිසේන කුරේ මහතා. උන්වහන්සේ අපට විශාල ශක්තියක් දුන්නා. අපට උදවු උපකාර කළා. උපදෙස් දුන්නා, සමහර අවස්ථාවල දී ප්‍රසිද්ධියේ මාව විවේචනය කළා. උන්වහන්සේ කීවා විවේචනය කරන්නේ මාව නිවැරැදි කරන්න කීවා. උන්වහන්සේට ඒ ශක්තිය තිබුණා. හැම වෙලේම ඉදිරියට ගියේ පස්සට අඩියක් ගත්තේ නෑ. භික්ෂූන් වහන්සේටත් හොඳ නායකත්වයක් ලබා දුන්නා. උන්වහන්සේ විශිෂ්ට චරිතයක්, කිසිම දෙයකට බය වුණේ නෑ. බයක් නැතිව ඉදිරියට ගියා.

අපි සියලු දෙනා පක්ෂ ගණනාවක් එකතුවෙලා යහපාලනය සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළා. එක අවස්ථාවක දී විශාල අභියෝගයක් ආවා. දේශපාලනයෙන් පිට නායකත්වයක් ලබා දීමට, උන්වහන්සේ එය බාර අරගෙන ඉදිරියට ගිය නිසයි අපට ජයග්‍රහනය කරන්න හැකි වු‍ණේ.

උන්වහන්සේ පස්සට අඩියක් ගන්නේ නෑ. එකතැන ඉන්නවා නැත්තම් ඉදිරියට යනවා. ඒ චරිතය නැතිවීම අපට විශාල පාඩුවක්. මම අගමැති වූ පසුව මට කතා කරනවා. හමුවෙනවා. උපදෙස් දෙනවා. දැන් සිදුවී තිබෙන්නේ වෙනස් දෙයක් මට මින් පසු උන්වහන්සේගේ උපදෙස් ලැබෙන්නේ නෑ. මින් පසු දුරකථනයකින් මේ ප්‍රදේශයේ පුද්ගලයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ලැබෙන්නේ නෑ. උන්වහන්සේගේ අපවත්වීම මට මකා ගන්න බැරි පාඩුවක්. බුදුරජාණන් වහන්සේ ජීවිතය කුමක්ද කියා අපට දේශනා කර තිබෙනවා. එසේනම් අද අප උන්වහන්සේ කළ සේවය මතක් කර එම සේවය ඉදිරියට ගෙන යා යුතුයි. උන්වහන්සේ සිදු කළ සේවයට ස්තූති කරමින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද එහි දී අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

කථානායක කරු ජයසුරිය මහතා-

අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් මේ රටේ යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා විශාල යුග මෙහෙවරක් සිදු කළ බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

උන්වහන්සේ දශක ගණනාවක් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ නිසා උන්වහන්සේගේ සිතුම් පැතුම්, අදහස්, බලාපොරොත්තු වූ දේ පිළිබඳව අපට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අවසාන මොහොත දක්වා උන්වහන්සේගේ බලාපොරොත්තුව වූයේ ශාසනයට සේවය කරන්න, රටට සේවය කරන්න. මේ රටේ යහපත් සමාජයක් නිර්මාණය කරන්න. ඒ සඳහා උන්වහන්සේ විශාල යුග මෙහෙවරක් කළා. ඒ වගේම උන්වහන්සේ ආරම්භ කළ සාරානන්ද මහා පිරිවෙන තුළින් භික්ෂු අධ්‍යාපනය ලබා දෙමින් විශාල සේවයක් සිදු කරනවා.

ඒ වගේම 2006 බුද්ධ ජයන්ති සැමරුම් අවස්ථ‍ාවේ දී රාමඤ්ඤ නිකායේ ප්‍රධානත්වයෙන් භික්ෂූණ් වහන්සේලා දහස් නමක් පැවිදි දිවියට පත්කිරීමේ වැඩ සටහනේ දී උන්වහන්සේ විශාල වැඩ කොටසක් කළා.1979 දී අනුරාධපුරයට පැමිණිලා කුඩාවට තිබූ පන්සල අද ශ්‍රී ලංකාවේ කවුරුත් දන්නා මහා විහාරයක් බවට පත් කිරීමට කටයුතු කළා.

1983 ජාතිවාදී ගිනි දැල් ඇවිළුන අවස්ථාවේ දී උන්වහන්සේ ද්‍රවිඩ අසරණ මිනිසුන් ගෙන්නල කන්න බොන්න දී ආරක්ෂා කරන්නට උන්වහන්සේ විශාල වැඩ කොටසක් කළා. මේවා උන්වහන්සේගේ චරිතයේ තිබුණ සුවිශේෂී ලක්ෂණ. ඒ වගේම රාජ්‍ය නායකයන්ට අවවාද අනුශාසනා දෙමින් කටයුතු කළා.

හරිදේට හරි කියන්නත් වැරැදි දෙයට වැරැදි කියන්නත් උන්වහන්සේට ආත්ම ශක්තියක් තිබුණා. උන්වහන්සේගේ අපවත්වීම රටට ජාතියට වගේම රාමඤ්ඤ නිකායට විශාල පාඩුවක්. උන්වහන්සේගේ කාලය තුළ සිදු කළ සේවාව වෙනුවෙන් ගෞරවය ස්තූතිය පුද කරන බව ද කථානායකවරයා වැඩි දුරටත් පැවැසීය.

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපානේ පේමසිරි නාහිමි-

සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල ද ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක් ලෙස ගිරාඹේ ආනන්ද නාහිමියන් පෙන්වා දිය හැකි බව පැවැසූ නාහිමියන් මෙසේ ද සඳහන් කළහ.

මේ අවස්ථාවේ අපි සූදානම් වෙන්නේ විශාල ලෙස සමාජ සේවය සඳහා සිය ජීවිතය කැප කළ ස්වාමීන් වහන්සේ නමකට ගෞරව දැක්වීම සඳහායි. ගිරාඹේ ආනන්ද නාහිමියන් අනුරාධපුරය, කුරුණෑගල,මහනුවර ජනතාවගේ ඇතුළු සමස්ත ජනතාවගේ ගෞරවයට ලක් වුණා. උන්වහන්සේ ආදර්ශමත් වහන්සේ නමක් ඒ වගේම උන්වහන්සේ සහෝදර සහෝදරියන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලේ හතර වැනියා. ගිරාඹේ ආනන්ද නාහිමිපානන් වහන්සේ රාමඤ්ඤ නිකායේ ඉතාම සම්භාවනීය ශාසනික පරම්පරාවක් තමයි සාරානන්ද පරම් පරාව. සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කළ අනගාරික ධර්මපාලතුමාගේ සේවයටත් ශක්තියක් දුන් කෙනකු ලෙස උන්වහන්සේ හඳුන්වා දිය හැකියි.

උන්වහන්සේ ලෝක ශාසනික සේවාවක් සිදු කළා. ඒ සියලු අවස්ථාවල දී උන්වහන්සේට දායකකාරාදීන්ගේ පුර්ණ සහයෝගය හිමි වුණා. රාමඤ්ඤ නිකායට සම්මා සම්බුද්ධ ශාසනයට මෙන්ම සමස්ත සමාජයටම සේවාවක් සිදු කළ අනුනායක හිමියකු ලෙස ගිරාඹේ ආනන්ද නාහිමියන් පෙන්වා දිය හැකි බව ද වැඩි දුරටත් නාහිමියෝ පැවැසූහ.

අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නාහිමි-

ක්‍රියාශීලී භික්ෂුණ්වහන්සේ නමක් ලෙස ගිරාඹේ ආනන්ද නාහිමියෝ රටට මහගු සේවාවක් සිදුකළා.මේ පුන්‍ය භුමියේ සාරානන්ද පිරිවෙන් විහාරය ඇති කරවා උන්වහන්සේ විශාල සේවාවක් සිදුකළ බව අමුතුවෙන් කිවයුතු නෑ. පොසොන් පොහොය කාලය වන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අටමස්ථානයට එකතු වෙනවා. ඒ අති විශාල පිරිසකට ආහාර පාන අනුභව කර නැවතී සිට වන්දනාමාන කර ගන්නට අනුනාහිමිපාණන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසත් දායක පිරිසත් දක්වන ලද කැපවීම සුළුපටු නොවේ.

එබඳු මහා සේවාවක් කළ භික්ෂූණ් වහන්සේ නමක්. පොසොන් පොහොය වනවිට ශ්‍රී ලංකාවේ හතර කොණ සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ පුන්‍ය භුමියට රැස්වනවා.

භික්ෂූණ් වහන්සේලාට අයත් ප්‍රධාන කාර්යක් උන්වහන්සේ සිදු කළා. දේශීය හා විදේශීය වශයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විශාල කැපවීමක් කරන භික්ෂූණ් වහන්සේලා අතර ගිරාඹේ ආනන්ද විශාල කාර්යක් සිදු කරනු ලැබූ බව ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්දස්සි නාහිමි-

මේ රටට අවශ්‍ය බෞද්ධ අධ්‍යාපනය භික්ෂූන් වහන්සේලාටත් විද්‍යායතන අශ්‍රයෙන් ගිහි බෞද්ධ දරුවන්ටත් ලබා දීමට කටයුතු කළා.

මිහිදු මා හිමියන් ලක් දිවට වැඩම කර මේ රටේ මහා සංඝරත්නයට පැවැරුවේ ශාසනික කටයුතු සිදුකරගෙන සිටීමට පමණක් නොවේ. සිංහලයා ආරක්ෂා කර ගන්නට බෞද්ධයා ශක්තිමත් කර ගන්නට බෞද්ධයාගේ ආර්ථික තත්ත්වය පවා සුරක්ෂිත කර දෙන්නට සිංහල බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම ආරම්භ කළේ මිහිදු මහා රහතන් වහන්සේය. ඉන් නොනැවතුන උන්වහන්සේ මහා විහාරය ආරම්භ කරලා පසුව දියුණු අධ්‍යාපන ආයතනයක් හැටියට මහා විහාරයෙන් ආරම්භ වුණා. ඒ නිසා මේ රටේ මහා සංඝරත්නයට භාර වුණේ ජාතිය සුරැකීම පමණක් නොවෙයි, ආගම, ශාසනික ධර්මයන් ආරක්ෂා කිරීම පමණකුත් නොවෙයි.

මිහිදු හිමියන්ගෙන් ලැබූ වටිනා දායාදයක් තමයි බෞද්ධ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ. මේ බෞද්ධ අධ්‍යාපනය ලෝකයටත් එක්තරා අන්දමකට ව්‍යාප්ත කරන්නට තරම් ශ්‍රී ලංකාවේ මහා විහාරය එදා මූලිකත්වය ගත්තා. ඒ නිසා පසු කාලීනව මේ රටේ විවිධ අධ්‍යාපනික ආයතන බිහි වුණේ. මේ රටේ බෞද්ධ අධ්‍යාපනය ආරක්ෂා කර ගන්නට ශක්තිමත් අඩිතාලමක් දමාගෙන කටයුතු කරන්නේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. එය මේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්. යුරෝපීය අධ්‍යාපනය නොගැළපෙනවා නොවේ. එවායින් ද ගත යුතු හරයන් තිබෙන්නට පුළුවන්. නමුත් මේ රටේ ජීවත්වන සිංහල බෞද්ධයාට ගැමියාට රටේ ජනතාවට අවශ්‍ය දේශීය අධ්‍යාපන ක්‍රමයක් ආරක්ෂා කරදී අනාගතයටත් ඒ අපේ අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කර ගන්නට වැඩපිළිවළක් ක්‍රියාත්මක වුවානම් ඒ පිරිවෙන් අධ්‍යාපනයයි. ඒ නිසා ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ උන්වහන්සේට ලැබුණ පිරිවෙන් ආයතන දියුණු කළා පමණක් නොව තවත් පිරිවෙන් ආයතන ආරම්භ කළා. ඒ වගේම විහාර රැසක් ආරම්භ කළා. ආගමික, සමාජීය හා සංස්කෘතික වශයෙන් උන්වහන්සේ සිදු කළ සේවාව කියා නිම කළ නොහැකි බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි නාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජක තුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැති මේ ආදාහන පූජෝත්සවයට ඇමැතිවරුන් වන කබීර් හෂීම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, අකිල විරාජ්, වජිර අබේවර්ධන, පී. හැරිසන්, සරත් ඒකනායක, ලසන්ත අලගියවන්න, රුවන් විජේවර්ධන, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද දිවයිනේ නන්දෙසින් විශාල ජනතාවක් ද එක්ව සිටියහ.

අනුරාධපුර මධ්‍යම සමූහ, අනුරාධපුර මධ්‍යම විශේෂ සහ අනුරාධපුර දිශා විශේෂ

ඡායාරූප
අනුරාධපුර මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න