“ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත ග්‍රන්ථ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් ”කෘතිය දොරට වඩී | දිනමිණ

“ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත ග්‍රන්ථ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් ”කෘතිය දොරට වඩී

 “ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත ග්‍රන්ථ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් ”කෘතිය පසුගියදා ජනගත විය. මේ කෘතිය ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා විසින් සිය ආචාර්ය උපාධිය සඳහා සම්පාදනය කරන ලද නිබන්ධනයයි. ශ්‍රී ලාංකේය කිතුනු සාහිත්‍යයේ ආදිපීතෘ යන විරුදාවලියෙන් පිදුම් ලබන ගොන්සාල්වෙස් පියතුමාගේ කෘතීන් ආශ්‍රිත මේ නිබන්ධනය ලන්ඩන් විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ ග්‍රන්ථයෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා සිය සාහිත්‍යාවලිය නිර්මාණය කිරීමෙන් කිතුදහම සංස්කෘතිකකරණය කිරීම අරබයා දැරූ සාර්ථක ප්‍රයත්නය ඇගයීමය. යුරෝපීය ධර්මදූතවරුන්ගේ ක්‍රියාදාමය හා සසඳන විට ගොන්සාල්වෙස් පියතුමාගේ දහම් මෙහෙවර ප්‍රශස්තය. යටත්විජිතවාදීහු තම සංස්කෘතිය, භාෂාව හා දහම ස්ථිර පදනමකින් තම යටත්විජිතයන්හි පැලපදියම් කිරීමේ දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළහ. ගොන්සල්වෙස් පියතුමා මේ දේශයේ සංස්කෘතිය තුළ මාංශගත වූ පුද්ගලයකු විය. දේශීය පොදු ජන ජීවිත සියුම් ලෙස නිරීක්ෂණය කළ පියතුමා ඔවුන් සතු සම්ප්‍රදායික සිරිත් විරිත් හා ගති පැවතුම් අගය කළේය.

භාෂා ඥනයෙන් අගතැන්පත් එතුමා සිය පාණ්ඩිත්‍යය හුවා දක්වමින් සාහිත්‍යකරණයේ නියැළුණි. ජනතාව අතර නිදහසේ සැරිසැරූ පියතුමා ඔවුන්ගේ ජන ජීවිතයෙහි පැවැති සාහිත්‍යාංග සහ භාෂා විලාශ, සිය සාහිත්‍ය ප්‍රබන්ධකරණය සඳහා භාවිත කළේය. විවිධ ප්‍රදේශ සහ වෘත්තීන් අනුව ජන ජීවතය වටා ගෙතුණ ජන වහර, සාහිත්‍යාංග, නාට්‍ය කලාව පිළිබඳ සියුම් අධ්‍යයනයක නියැලෙමින් එතුමා සාහිත්‍යකරණයේ නියැළුණි. දිවයින පුරා විවිධ භාෂා හා සංස්කෘතීන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව කිතු දහම සංස්කෘතිකකරණය කිරීමේ අභිලාෂයෙන් ගොන්සාල්වෙස් පියතුමා පූර්ණ දායකත්වයක් ලබා දුනි.

මේ මහා ගත්කරුගේ සාහිත්‍ය වික්‍රම පිළිබඳ අධ්‍යයනයක යෙදෙන මේ නිබන්ධනය පරිච්ජේද හයකින් සමන්විතය. ඒවා නම් කිතුදහම ශ්‍රී ලාංකාව තුළ මුල්බැස ගැනීම, දහම සංස්කෘතිකකරණය වීමේ ක්‍රියාවලිය, ගොන්සාල්වෙස් පියතුමා දේශීය නාට්‍ය කලාව අරභයා ලබා දුන් දායකත්වය, පියතුමා විසින් රචිත ගීතිකා හා පද්‍ය, සිංහල භාෂාවේ උන්නතිය පතා සිදු කළ කාර්යභාරය, පියතුමාට ආවේණික වූ රචනා ශෛලිය යනා දී මාතෘකා පිළිබඳ මෙහි දී සාකච්ඡා වේ.

“ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචිත ග්‍රන්ථ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය කෘතිය” එළි දැක්වීමේ උත්සවය පසුගියදා තලංගම, පැලවත්තේ සාන්ත ජුවාම් දල් බස්තෝනි දේවස්ථාන දහම් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ සහාය රදගුරු මැක්ස්වල් සිල්වා හිමිපාණෝ සහභාගි වූහ. එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ශබ්දකෝෂ මණ්ඩලයේ ප්‍රධාන කතෘ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා විසිනි. 

නව අදහස දක්වන්න