ප්‍රගතිය අනිවාර්ය යි! | දිනමිණ

ප්‍රගතිය අනිවාර්ය යි!

 සංවර්ධනය තීන්දු වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මත ය. පුරවැසි සමාජ තුළ පවත්නා උද්යෝගය හා නිපුණතා රටක නිෂ්පාදන ක්‍රියාවලිය සවිබල ගැන්වීමට හේතුවන බව බොහෝ දෙනා පිළිගනිති. මානව ආර්ථික විද්‍යාවට අනුව බැලුවහොත් මිනිසාගේ අධ්‍යාපනය, ශික්ෂණය හා හැකියා රටක ආර්ථික සංවර්ධනයට බෙහෙවින්ම අදාළ ය. අද වන විට ආර්ථික සංවර්ධනය යන්නෙන් අපේක්ෂා කරන්නේ ස්වයංපෝෂිත බව පමණක් නොවේ. ලෝක වෙළෙඳාමේ හවුල්කාරයකු බවට පත් වීම සෑම රටක ම පාහේ අපේක්ෂාව වී තිබේ. චීනය අද හඳුන්වන්නේ “ලෝක පැක්ටේරිය” යන නමින් ය. ලෝක වෙළෙඳ පොළට අවශ්‍ය භාණ්ඩ හා සේවාවලින් සැලැකිය යුතු ප්‍රමාණයක් චීනය සපයන බැවින් ඒ නම යෙදී තිබේ.

ලෝකයේ අංක එක ආර්ථිකය අමෙරිකාවට හිමි වන අතර දෙවන තැන ගන්නේ චීනය යි. වැඩිකල් නොයාම චීනය ලෝකයේ ආර්ථික බලවතා වන බවට පුරෝකථන ඉදිරිපත් වී තිබේ. චීනය සිය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ද, සේවා සම්පාදනයෙන් ද විශාල ධනයක් උපයාගෙන තිබේ. ඉන්දියාව ද අද මේ ක්‍රමය අනුගමනය කරමින් සිටී. නිදහස ලබා ගන්නා විට ජපානයට සමාන ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන සිටි ශ්‍රී ලංකාව අද පවතින්නේ කොතැනක ද? නිදහසින් පසු වසර හැත්තෑවක් ගෙවී ඇත්තේ වුව ස්ථාවර ආර්ථිකයකට මඟ පාදාගන්නට තව ම අපට හැකියාව ලැබී නැත. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 10,000ට අඩු ය. ඒක පුද්ගල ආදායම ඩොලර් 10,000ට අඩු කිසිදු රාජ්‍යයක් සංවර්ධිත රාජ්‍යයක් ලෙස සලකන්නේ නැත.

අපට සිදු වී ඇත්තේ කුමක් ද? රටේ සම්පත් හිඟ ද? සාක්ෂරතාව අඩු ද? ශිල්පීය ඥානය හිඟ ද? මේ කිසිවක අඩුවක් අපට නැත. අපට ඇත්තේ සැලැසුම්වල අඩුවකි. අපට ඇත්තේ කළමනාකරණයේ හා පාලනයේ අඩුවකි. රාජ්‍ය අංශය ගතහොත් ඕනෑතරම් විශේෂඥයෝ ඒවායෙහි සිටිති. අති දක්ෂ තාක්ෂණික ශිල්පීහු ද ඒවායෙහි සිටිති. එහෙත් රාජ්‍ය අංශයේ බොහෝ ආයතන සිය වාර්ෂික ඉලක්ක සපුරා ගන්නේ නැත. රටේ රාජ්‍ය අංශය ඉතා අකාර්යක්ෂම බව බොහෝ දෙනා පිළිගනිති. මේ අතර වංචා හා දූෂණ ද ඊට එකතු වූ විට තත්ත්වය තවත් භයානක වෙයි. මැලේසියාවේ රාජ්‍ය සේවය තුළ ද මෙබඳුම තත්ත්වයක් දකින්නට ලැබිණි. එහෙත් මහතීර් මොහොමඩ් මහතාගේ පාලන කාලය තුළ ඒ සියල්ල නිවැරැදි තැනකට ගෙන ඒමට හැකි විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. එය වත්මන් ආණ්ඩුව ආරම්භ වූ දා පටන් ම දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් ලෙස සැලැකිය හැකි ය. අපේ රට සංවර්ධිත තත්ත්වයට ගෙන ඒමට නම්; පළමුව රාජ්‍ය අංශය නිවැරැදි කළ යුතුය. ඇතැම් අමාත්‍යාංශ වෙත වාර්ෂිකව වෙන් කරනු ලබන මුදල් ප්‍රතිපාදනවලින් සමහරක් වර්ෂ අවසානයේ නැවත භාණ්ඩාගාරයට යන අවස්ථා තිබේ. ඇතැම් ආයතනවලට ලැබෙන ආධාර ප්‍රයෝජනයකින් තොරව නැවත ආධාර ලබා දුන් විදේශීය ආයතන වෙතම යන අවස්ථා ද තිබේ. සැලැසුම් නැතිකම, වැඩ නොකිරීම හා සංවිධානයේ දුර්වලකම් ද මීට බලපායි. ඇතැම් විට අධීක්ෂණයක් නැතිකම ද මීට එක හේතුවකි. මේවා වහා ම නිවැරැදි විය යුතු ව තිබේ.

ජනාධිපතිවරයා මීට දින කිහිපයකට ඉහත දී මේ සම්බන්ධයෙන් අලුත් තීන්දුවක් ගෙන තිබේ. එනම් සෑම රාජ්‍ය ආයතනයක් ම මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විය යුතු බව ය. එලෙස ම එම රැස්වීම් වාර්තා හැම එකක් ම ජනාධිපති කාර්යාලය වෙත ද යොමු කළ යුතුය. මාර්තු මාසයේ සිට ප්‍රගති සමාලෝචන රැස්වීම් අනිවාර්ය කර තිබේ. ඒවායෙහි වගකීම ආයතන ප්‍රධානියා දැරිය යුතුය. මේ මගින් ආයතනවල අඩුපාඩු බොහොමයක් සකස් කර ගත හැකි ය. පළමුව ඉලක්ක සපුරා ගත හැකි ආකාරය සාකච්ඡා කළ හැකි ය. දෙවනුව පසුබෑම් ඇති අංශ හඳුනාගත හැකි ය. ඒවාට යෙදිය යුතු විසැඳුම් ද හඳුනාගත හැකි ය. ඇතැම් ආයතන තුළ මේ කිසිවක් සිදුවන්නේ නැත. සමහර ආයතන ප්‍රධානීන් තම ආයතනයේ වාර්ෂික අය-වැය දන්නේ ද නැත.

මේ සමඟ ජනාධිපතිවරයා අවධාරණ කර ඇති තවත් කරුණක් තිබේ. එනම්; දිස්ත්‍රික් සංවර්ධන කමිටු ද මාසික ව පැවැත්විය යුතු බව ය. ඒවායෙහි ප්‍රගති වාර්තා ද ජනාධිපති කාර්යාලය වෙත ලබා දිය යුතුය. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට පූර්වගාමීව ප්‍රාදේශීය සංවර්ධන කමිටු හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ද පැවැත්විය යුතුය. ඕනෑම සංවර්ධන ක්‍රියාවලියකට නව අදහස්, යෝජනා පමණක් නොව; විවේචන ද පැවැතිය යුතුය. තවත් විටෙක සමස්ත සංවර්ධනය ගැන විශ්ලේෂණය කරන විට ප්‍රාදේශීය හා පළාත් සංවර්ධනය ද වැදගත් ය. සමස්ත සංවර්ධනය යනු ඒවායෙහි එකතුවයි. මේ ක්‍රමය නිසා නිලධාරීන්ට මඟහැර යෑමට ඉඩක් නොලැබෙනු ඇත. සිදුවිය යුත්තේ රාජ්‍ය නිලධරයා රටේ සංවර්ධනයේ කොටස්කාරයකු බවට පත්වීම ය. ඒ සඳහා යොදන ලද යහපත් උපාය මාර්ගයක් ලෙස ද මෙය සැලැකිය හැකිය.

අප ආර්ථික පසුබෑමක සිටින බව පිළිගත යුතුය. අපනයන ආදායම් පහළ වැටීම, රුපියලේ අගය පහත වැටීම, ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික සංවර්ධන වේගය අඩාල වීම ආදියෙන් මේ තත්ත්වය තවදුරටත් තහවුරු වෙයි. මෙය සැලැකිය හැක්කේ ආර්ථික මන්දනයක් ලෙස ය. නැතහොත් එක තැන පල්වීමක් ලෙස ය. 2000 ගණන්වල දී අපේ පාලකයන්ගේ ඉලක්කය වූයේ 7% ක ආර්ථික වර්ධනයකි. එදා එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද ප්‍රකාශ විය. එහෙත් ඉලක්කය ජයගැනීමට නොහැකි විය. 2012 පමණ වන විට 6.4% ක ආර්ථික වර්ධන වේගයක් පැවැතිය ද අද එය රැඳී ඇත්තේ 4%ක පමණ පහළ මට්ටමකය. මේ තත්ත්වය වෙනස් කළ හැකි ය. අවශ්‍ය වන්නේ ගැළපෙන සැලැසුම් හා වැඩ කරන මිනිසුන් ය.

යුද්ධයෙන් පසු මේ රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑමේ හැකියාව තිබිණි. ඒ වන විට අන්තර්ජාතික සහයෝගය පවා හොඳ මට්ටමක පැවැතිණි. එහෙත් යුද්ධයෙන් පසු රටේ ආර්ථිකය පිළිබඳ හොඳ සංවාදයක් ආරම්භ වූයේ නැත. අලුත් සැලැසුම් ඉදිරිපත් වූයේ ද නැත. සිදුවූයේ කිහිප දෙනකුට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය හැසිරවීම පමණි. මේ අනුව අනවශ්‍ය ලෙස ණය ගැනීම ද, අනවශ්‍ය දේවල් ඉදිකිරීම ද සිදු විය. අවසන් ලෙස ඉතිරි වූයේ මහා ණය කන්දරාවක් පමණි. දැන්වත් එය වෙනස් වීම වැදගත් ය. ආයතන ප්‍රධානීන් තම ආයතනයේ ප්‍රගතිය ගැන වග බලාගන්නේ නම්; බොහොමයක් ගැටලු ඒ ඔස්සේ විසඳාගත හැකි ය. 

 


නව අදහස දක්වන්න