සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය ගන්නා තීරණවලට එකඟ වෙනවා | දිනමිණ

සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය ගන්නා තීරණවලට එකඟ වෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය ගන්නා ඕනෑම සාධාරණ තීරණයකට තමන්ගේ එකඟතාව පළ කරන බව සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ගේ සංගමය සහ සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව කෙරෙහි ප්‍රශංසාව පළ කරන බවත් සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි අදාළ නීතිමය රාමුව සකස් කර සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු බවත් සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ශානක ද සේරම් මහතා පැවැසුවේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව ඊයේ (26) ප්‍රකාශ කළේය.

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමේදි අලුත් පනතක් සකස් කර සිවිල් පුරවැසියන් වන තමන් එයට ඇතුළත් කළ යුතු බවත් නොඑසේ නම් තවත් කාලයක් ගත වී නැවත නැවත ගැටලු මතු විය හැකි බවත් හෙතෙම පැවැසීය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය සහිතව සයිටම් ආයතනයේ සිසුන් සියලුදෙනාම බදවා ගෙන ඇත්තේ යැයි ද, සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට සිදු කරන සාකච්ඡාවන්ට සයිටම් ආයතනයේ ආචාර්ය මණ්ඩලය සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසු යැයි ද ඔහු කීය.

සිසුන් 900 ක් සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන අතර ඔවුන් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිදි පියවර ගත යුතු බවත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ නීතිමය රාමුව සකස් කිරීමේදි උපාධියේ වලංගුභාවය හා ලියාපදිංචිය පිළිබඳ ව්‍යාකූල තත්ත්වයක් ඉදිරියේදි ඇති නොවන ලෙස පියවර ගත යුතු බවත් හෙතෙම පැවැසීය.

හමුදා සේවයට සීමා නොකර රජයේ හා පෞද්ගලික අංශයේ සේවය කළ හැකි පරිදි නීතිමය රාමුව රජය මඟින් සකස් කළ යුතු බව ද ඔහු කීය.

ඡායාරූපය - රංජිත් අසංක 

නව අදහස දක්වන්න