කමිටු තුනක් | දිනමිණ

කමිටු තුනක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් කමිටු තුනක් පත්කර තිබේ. මේ කමිටුවල අරමුණ වන්නේ එකිනෙක ක්ෂේත්‍රවල කාර්ය සාධනය තහවුරු කිරීම හා ඒවා විධිමත් කිරීම ය. ඉතා සරලව කිවහොත් වැඩ ඉක්මන් කිරීම මේ කමිටුවල අපේක්ෂාව වෙයි. ඉහත ක්ෂේත්‍ර තුන වන්නේ දූෂණ හා වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, අපරාධ යුක්තිය යන විෂයය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයයක් ස්ථාපිත කිරීම හා පොලිස් දෙපාර්තමේන්තුවේ අයුක්තියට ලක් වූ සේවකයන් හා නිලධාරීන් සඳහා වහාම යුක්තිය ඉටුකිරීම ය. මේ විෂයයන් තුන ම සමාජය තුළ බරපතළ සංවාදයකට ලක් වී ඇති බව කිව යුතුය. එම ක්ෂේත්‍රවල වැඩ කටයුතු ඉටුවීමේ බලවත් පමාවක් ඇති බව ද පෙන්වා දිය යුතුය.

කමිටු තුන ඉදිරියේ බලවත් වගකීමක් ඇති බව පෙනී යයි. එය ජාතික වගකීමක් බවද කිව යුතුව තිබේ. දූෂණ - වංචා හා අක්‍රමිකතා වැළැක්විය යුතු බවට ද ඒවා සිදු කළ අයට දඬුවම් ලබා දිය යුතු බවට ද ජනතා හඬක් පවතී. එය කෙතරම් බලවත් වන්නේ ද කිවහොත් ජනතාව පාරට පැන පෙළපාළි හා විරෝධතා දක්වන්නට ද වූහ. ඒ අපරාධකාරයන් නීතිය හමුවට ගෙනෙනු යන සටන් පාඨය සමඟ ය. එහෙත් දිගින් - දිගට ම නීතිය ප්‍රමාද වී ඇත. පරීක්ෂණ ප්‍රමාදය. නඩු විභාග ප්‍රමාද ය. දඬුවම් දීම ද ප්‍රමාද ය. මේ හැරෙන්නට සැකකරුවන් බන්ධනාගාර රෝහල් වෙත යෑමේ ප්‍රවණතාවක්ද පවතී. කමිටුව මේවා සම්බන්ධයෙන් විසැඳුම් හා උපායමාර්ග ඉදිරිපත් කළ යුතුව තිබේ.

අගමැතිවරයා පෙන්වා දෙන ලෙස මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාමාර්ග ද කඩිනම් කළ යුතුය. මේ විෂයයන් දෙක ම සම්බන්ධයෙන් හොඳ නමක් ශ්‍රී ලංකාවට නැත. ඉන්දියන් උප මහාද්වීපික කලාපයේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රයක් හැටියට ශ්‍රී ලංකාව කුප්‍රකටය. ඒ හැරෙන්නට පාසල් දරුවෝ ශීඝ්‍රයෙන් මතට ඇබ්බැහි වෙති. මෙය බරපතළ විනාශයකි. රටේ ස්ත්‍රී හිංසනය හෙදියක සමූහ දූෂණයකට ලක්වීමේ සිද්ධියෙන් තවදුරටත් පැහැදිලි වෙයි. කාන්තාව විවාහ කරගන්නා පොරොන්දුව මත රවටා කිහිපවරක් සමූහ දූෂණයට ලක් කර ඇත. මෙබඳු සිදුවීම්වලින් පෙනී යන්නේ සමාජයේ ම්ලේච්ඡත්වය යි.

ජනතාවගේ ශික්ෂණය හෙවත් විනය රටක සංවර්ධනයට කෙළින් ම අදාළ බව ආචාර්ය ඊ.එෆ්.ෂූමාකාර් නම් ආර්ථික විශේෂඥයා මීට දසක කිහිපයකට පෙර පෙන්වා දුන්නේ ය. නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය ෂූමාකාර්ගේ මතය මුළු ලෝකය ම පිළිගනිති. සමාජයක විනය හා ශික්ෂණය පවත්වාගැනීමට මූලික වශයෙන් හේතු සාධක වන්නේ නීතිය හා සාමය පවත්වාගැනීම යැයි කිව හැකි ය. නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන රටක ජීවත්වීම පාපයක් යැයි කියනු ලැබේ. නීතිය හා සාමය පවත්වාගැනීම යනු නීතියේ ආධිපත්‍යයට ඉඩ දීම ය. එවිට රටේ පාලකයන්ට හා බලධාරීන්ට නීතියට බලපෑම් කිරීමට හෝ ඊට ඇඟිලි ගැසීමට හෝ නොහැකි වනු ඇත.

අපරාධ යුක්තිය යන පුළුල් විෂයයට අදාළ විශ්වවිද්‍යාලයයක් හෝ එබඳු ආයතනයක් හෝ පිහිටුවීම රටකට අතිශයින් ම වැදගත් ය. ශ්‍රී ලංකාව වැනි රටකට එය වඩාත් වැදගත් වනු ඇත. නීතිය ගැන සමාජය දක්වන ආකල්ප හා නීතිය පිළිබඳ පවතින දැනුම ද සාධනීය තැනකට යා යුතුව තිබේ. ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත විධි නියාමයන් නැති බවද පෙනී යයි. ඒ අනුව නීතියේ අවුල් සහගත තත්ත්වයක් ද බැලූ බැල්මට දැකගත හැකි ය. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම යනු මේවා සියල්ල විසඳාගෙන නිශ්චිත විධි විධාන කරා ගමන් කිරීම යැයි කියන්නට පුළුවන.

පොලිස් සේවය තුළ සිදු වී ඇති අකටයුතුකම් සොයා බැලීම ද ඉතා වැදගත් කටයුත්තකි. සමහරු දේශපාලන පළිගැනීම්වලට ලක් වී සිටිති. තව සමහරු දීර්ඝ කාලයක් තිස්සේ උසස් නිලධාරීන්ගේ පීඩනයට ලක් වී සිටිති. තවත් සමහරු වෘත්තීය අයිතිවාසිකම් දිනාගත නොහැකි ව සැලකිය යුතු කාලයක් පුරාවට සටන් කරති. පොලිස් රාජකාරිය යනු අනිවාර්ය සේවයකි. වැඩ වැරීමට, පෙළපාළි යෑමට, විරෝධතා දැක්වීමට පොලීසියට ඉඩක් නැත. ඒ හැරත් මේ සේවය අභියෝගාත්මක ය. වෙනත් රටවල පොලීසියට ඇති පහසුකම් හා වරප්‍රසාද දෙස බලනවිට ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තේ ඉතා පහළ තැනෙක යැයි කිව හැකි ය. පොලීසිය ගැන සොයාබැලීම හැම අතින් ම බුද්ධිමත් ය.

මීට වසර කිහිපයකට පෙර අධිවේගී මාර්ගයක ගමන් කළ දේශපාලකයකුගේ රථයකට පොලිස් රාලහාමි කෙනෙක් දඩ කොළයක් ලියා දුන්නේ ය. ‍ හේතුව අධික වේගයෙන් රථය පැදවීම ය. රථයේ වේගය පැයට කිලෝමීටර් 140ට වැඩි විය. අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 100කි. දඩ කොළය දුන් රාලහාමි වහාම දුර පළාතකට මාරු කැරිණි. ප්‍රශ්නය ඉන් නතර වූයේ නැත. ඔහුගේ උසස්වීම් නැවතී ඇත. වසර කිහිපයක සිට ඔහු තැනින්- තැනට මාරු කරනු ලැබේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගේ ඉරණම මෙය විය යුතුද? ආණ්ඩු වෙනස් වී යහපාලනයක් බිහි වී ඇතත් රාලහාමිගේ ප්‍රශ්නය එතැනම ය. මේවා දැන්වත් වෙනස් විය යුතුය.

නොයෙක් ආකාරයෙන් පත් කරනු ලබන කමිටු ගැන මහජනයාගේ විශ්වාසය පලුදු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. දීර්ඝ කාලයක් තිස්සේ මේ අවිශ්වාසය වර්ධනය වෙමින් පවතී. හේතු ලෙසින් පෙනී යන්නේ පත්කරන කමිටු හරිහැටි ක්‍රියාත්මක නොවීම යි. අනෙක් අතට කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම යි. අගමැතිවරයා පත් කළ කමිටු තුන මේ තත්ත්වයෙන් බැහැර වී කාර්යක්ෂමව වැඩ පෙන්විය යුතුව තිබේ.

 


නව අදහස දක්වන්න

Or log in with...