‘ටැබ්’ අද නොවේ හෙට | දිනමිණ

‘ටැබ්’ අද නොවේ හෙට

වසන්ත ප්‍රිය රාමනායක

සමස්ත අධ්‍යාපන ක්‍රමයේම ප්‍රතිසංවිධානයක් ඇතිකළ යුතු බවට සමාජ කථිකාවතක් ඇතිවෙමින් පවතී. විභාග ක්‍රමය, විෂයමාලා, නව විෂයන් හඳුන්වාදීම, රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම හා පාඨමාලා සංශෝධනය වීම් ආදිය මෙම කථිකාවත තුළ සාකච්ඡා වෙමින් පවතී.

විවෘත වෙළෙඳ පොළ ආර්ථිකය මුළු තුන්වැනි ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් දැක්මක් සහිතවය. ශ්‍රී ලංකාවට වුවද ඉන් මිදිය නොහැකිය. නව ලිබරල් ක්‍රමයක් තුළ සමාජ සුබසාධනයට ලැබෙන්නේ අඩු සැලකිල්ලකි. එහෙත් නිදහසේ සිට මේ දක්වාම ශ්‍රී ලංකාව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කරන පංගුවේ කැපීපෙනෙන වෙනසක් දක්නට නොලැබේ. වෙන විදියකින් සඳහන් කරන්නේ නම් මූලික සුබසාධන ව්‍යාපෘති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට පසුගිය වසර 70 පුරාම මේ රටේ බිහිවූ ආණ්ඩු කටයුතු කර තිබේ.

2018 වසර සඳහා ද සුබසාධනය වෙනුවෙන් රු. බිලියන 440ක් වැය කිරීමට රජය තීරණය කර තිබේ. එය 2017 වසරට වඩා රුපියල් බිලියන 52ක වැඩිවීමකි. මේනිසා වාර්ෂිකව සුබසාධනය සඳහා වැය කරන මුදල් වැඩිවනවා මිස අඩුවන්නේ නැත. මෙතරම් දැවැන්ත මුදලක් රජය වැය කරන්නේ අධ්‍යාපනයට හා සෞඛ්‍ය යන සේවය නොමිලේ පවත්වාගෙන යෑමට අමතරවය. පාසල් නිල ඇඳුම්, නොමිලේ පාසල් පොත්, ගමනා ගමන වාර ප්‍ර වේශ පත්‍ර ආදිය ගත් කල රු. බිලියන 2කට ආසන්න සුබසාධන පැකේජයක් නොමිලේ අධ්‍යාපනයට වැය කරනු ලබන මුදලට අමතරව පාසල් දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය වැය කිරීමට නියමිතය.

නොමිලේ ‘ටැබ්’ ලබාදීම වත්මන් රජය උසස් පෙළ සමත් සිසුන් වෙනුවෙන් යෝජනා කරනු ලබන අලුත්ම ව්‍යාපෘතියකි. මෙය අයත්වන්නේ ද පාසල් දරු දැරියන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත සුබසාධන වැඩපිළිවෙළට අමතර සහ ඒවා කප්පාදු කිරීමකින් තොරවය. ඒ සමඟ පාසල් සිසු රක්ෂණය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින වර්තමාන රජයේ පාසල් දරු දැරියන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නව ව්‍යාපෘතියකි. ඒ සඳහා 2018 අය වැය මගින් වෙන් කරන ලද මුදල රු. දස ලක්ෂ 2700 කි.

ඉගෙනුමට ආධාර

විවිධ ආණ්ඩු මඟින් නොමිලේ අධ්‍යාපන සේවාවට එක්කළ සුබසාධන ව්‍යාපෘති රැසකි. ඒ අතර පාසල් නිල ඇඳුම, නොමිලේ පාසල් පොත්, සමහර පාසල් සඳහා දිවා ආහාරය ආදිය සඳහන් කළ හැකිය. මීට අමතරව නව රජය මඟින් එක්කළ සුබසාධන සේවාවන් දෙක වන උසස් පෙළ සිසුන් සඳහා නොමිලේ ‘ටැබ්’ ලබාදීම හා සියලුම සිසු දරු දැරියන්ට නොමිලේ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදීම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ.

පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නොමිලේ අධ්‍යාපනය සැපයෙන රටවල් ශ්‍රී ලංකාව හැරුණු විට දක්නට ලැබෙන්නේ අතළොස්සකි. කොමියුනිස්ට් රටවල පවා මෙම පහසුකම් සමස්ත අධ්‍යාපන කෂේත්‍රයටම බලපැවැත්වෙන ආකාරයට දක්නට නොලැ‍බේ. බොහෝ සමාජවාදී හා කොමියුනිස්ට් රටවල ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබාදෙන නමුත් උසස් අධ්‍යාපනයට මුදල් අය කෙරේ. ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැපයෙන්නේ මුදලටය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවේ මුදල් අය කිරීමෙන් තොරව පවත්වනු ලබන නිදහස් අධ්‍යාපන වැඩසටහන මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් කරනු ලබන ඉහළ ආයෝජනයක් සේ සැලකේ.

1948 ලැබූ නිදහසේ සිට වත්මන් රජය දක්වා කිසිදු රජයක් නිදහස් අධ්‍යාපන පිළිවෙතින් බැහැර වී හෝ යම් යම් සංශෝධන මඟින් එම පිළිවෙත හකුලා ගැනීමට කටයුතු කර නොමැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ තවත් සුබසාධන ව්‍යාපෘති මඟින් නිදහස් අධ්‍යාපන වැඩසටහන ශක්තිමත් කිරීමය. නැතිනම් සිසු සිසුවියන් පාසල වෙත කැඳවීම දිරිමත් කිරීමය.

මිල ඉහළ ටියුෂන්

මෙතරම් දැවැන්ත සුබසාධන වැඩසටහනක් හා අධ්‍යාපනය වෙනුවෙන් 2018 වසර සඳහා බිලියන 106ක (දස ලක්ෂ 106467) මුදල් ප්‍රතිපාදන රාජ්‍ය අයවැය ලේඛනය මඟින් වෙන්කර තිබියදී පවා මොන්ටිසෝරි අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ටියුෂන්’ පන්ති සඳහා ද යම් මුදලක් වැය කිරීමට මව්පියන්ට සිදුවී ඇත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කෂේත්‍රයේ දී මෙම මුදල මව්පියන්ගේ ආදායමට සාපේක්ෂව ඔරොත්තු නොදෙන මට්ටමක් ද දක්නට ලැබේ. ටියුෂන් පන්තිවලින් තොරව ජාතික මට්ටමේ විභාග සමත්වීම ප්‍රශ්නයක් ලෙසින් බොහෝ මවුපියන් මෙන්ම සිසු දරු දැරියෝ ද සළකති. මේ නිසා ටියුෂන් නැත්නම් විභාග සමත්වීමක් නොමැති තරම්ය.

මෙවන් තත්ත්වයක් උදාවීම සරල ලෙසින් ආණ්ඩුවකට බැහැර කළ නොහැකිය. මේනිසා සමස්ත අධ්‍යාපන ක්‍රමයේම ප්‍රතිසංවිධානයක් ඇතිකළ යුතු බවට සමාජ කථිකාවතක් ඇතිවෙමින් පවතී. විභාග ක්‍රමය, විෂයමාලා, නව විෂයන් හඳුන්වාදීම, රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම හා පාඨමාලා සංශෝධනය වීම් ආදිය මෙම කථිකාවත තුළ සාකච්ඡා වෙමින් පවතී.

දෙවනුව සැමට සම අධ්‍යාපනය මහපොළොව තුළ ස්ථාපිත කිරීම සඳහා යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමේ අභියෝගයක් ද අධ්‍යාපන කෂේත්‍රයේ දක්නට ලැබේ. අඩු පහසුකම් සහිත පාසල වැඩි දියුණු කිරීමෙන් තොරව පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ තරගයේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැත. මෙය වෙන විදියකින් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ද ප්‍රශ්නයකි. ඒ අය ළඟට පැමිණෙන ජනතාවගෙන් 70%ක්ම රැකියා හා තම දරුවාට හොඳ පාසලක් ලබාගැනීම උදෙසා එන අය බව තහවුරු වී ඇත. ‘‘ළඟම පාසල හොඳම පාසල” සංකල්පය ඔස්සේ පාසල් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබෙන්නේ මෙම ප්‍රශ්නයට ද විසඳුමක් ලෙසිනි.

වත්මන් රජය බලයට පත්වන විට දිවයිනේ පාසල් 58%ක වැසිකිළි කැසිකිළි පහසුකම් තිබුණේ නැත. 2015 වන විට බීමට සුදුසු ජලය තිබුණේ පාසල් 10,162කින් 8806කටය. 2015 වන විට විදුලි බලය නොමැති පාසල් ගණන 577කි. මෙම මූලික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මේ වන විට රජය වැය කර ඇති මුදල රු. දස ලක්ෂ 10,300කි. මේ වන විට 100%ක වැසිකිළි පහසුකමින්ද, 97%ක ජල පහසුකමින්ද, 100%ක විදුලියෙන් ද අපේ පාසල් පද්ධතිය සමන්විත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එය ජයග්‍රහණයකි. 2015 වන විට අවම මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට නොහැකි වූ අපේ රටේ පාසල් පද්ධතිය මේ වන විට එම අඩුව සම්පූර්ණ කරගෙන ඇත.

මීට අමතරව අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාගාර සහිත පාසල් ගණන 2015 සිට මේ වන විට 2478 සිට 3106 දක්වා වැඩිදියුණු කරගැනීමට ද හැකිවී ඇත. අ.පො.ස. උසස් පෙළ විද්‍යාගාර සහිත පාසල් 2015 වනවිට පැවතියේ 1004කි. මේ වනවිට එය 1016 දක්වා වැඩිදියුණු වී තිබේ.

මේනිසා පසුගිය තෙවසර තුළ රජය රටේ සමස්ත පාසල් පද්ධතියේ අවම ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඒවා සම්පූර්ණ කරමින් සිටින බව පැහැදිලිය. එසේ අවැසි යටිතලය සකස් කර ගැනීමෙන් තොරව ජාතික මට්ටමින් පතිත කරනු ලබන සුබසාධන ව්‍යාපෘතිවලින් පලක් නොවන බව ද රජය තේරුම් ගනිමින් සිටී.

ටැබ් සඳහා යෝජනාව

පසුගිය අයවැය ලේඛනය මඟින් උසස් පෙළ හදාරන සිසු දරු දැරියන් සඳහා රු.37,000/- පමණ වටිනා ‘ටැබ්’ තාක්ෂණික මෙවලම් (කොම්පියුටර්) ලබාදීමට රජය තීරණයක් ගෙන තිබුණේ මෙවන් පසුබිමකය. මේ සඳහා වැයවන මුදල රු. බිලියන 5කි. මිලියන 5000කි. මෙය පාසල් නිල ඇඳුම් මෙන්ම නොමිලේ ලබා දෙනු ලබන උපකරණයකි. එහෙත් නිල ඇඳුම්, පොත්පත්, ගමනා ගමන වාර ප්‍ර වේශ පත්‍ර, දිවා ආහාරය තරම් ‘ටැබ්’ යන්ත්‍රයක් ලබාදීමට හදිසි විය යුතු නැත.

රු.27,000/- වටිනා ‘ටැබ්’ උසස් පෙළ හදාරන ළමුන් 193,000කට ලබාදීමට පෙර ඊට අවැසි යටිතලය සැකසීම වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලය. දෙවනුව රජයේ උපායමාර්ගික කළමනාකරණයට අනුව අධ්‍යාපන කෂේත්‍රයේ නොමිලේ ‘ටැබ්’ ලබාදීම ඇත්තේ කුමන ස්ථානයකද? තෙවනුව අද රටේ ජනතාව ක්ෂණිකව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න අරබයා මුදල් වෙන් කිරීමේ දී ‘ටැබ්’ එකක් නොමිලේ ලබාදීම ගනු ලබන ප්‍රමුඛතාවය කවරේද?

ප්‍රාෙයා්ගික තීරණයන්

අපේ රට තාක්ෂණික අධ්‍යාපනය වෙත යොමුකරවීම සම්බන්ධයෙන් විවාදයක් තිබිය නොහැක. එය හෙට දවසේ සිදුවිය යුතු අනිවාර්ය කාර්යයකි. ඒ සඳහා අධ්‍යාපනික යටිතලය සැකසීමෙන් තොරව ‘ටැබ්’ යන්ත්‍රයක් සිසුවකුගේ අතට දීම නිවැරදි කාර්යයක් වන්නේ නැත.

මීට අදාළ විෂයමාලා සැකසිය යුතුය. ඊට අදාළ ගුරුවරු පුහුණු කළ යුතුය. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පාඨමාලා සැකසිය යුතුය. ටැබ් පරිහරණය සම්බන්ධයෙන් සිසුනට ඇති සාමාන්‍ය දැනුම නොව එය තමන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කරගත හැකි වන ආකාරයේ පුහුණුවක් හා දැක්මක් ලබාදිය යුතුය. නොඑසේ නම් සිදුවිය හැක්කේ පාසල් ළමුන් අතට ලිංගික දර්ශන වැනි අනම් මනම් නැරඹීමට මෙවලමක් අතට දීමක් වැනි කාර්යයකි.

රටේ අධ්‍යාපනය තාක්ෂණයට යොමු කිරීමෙන් තොරව එකවර මෙතරම් දැවැන්ත මුදල් ආයෝජනය කිරීම ඵලදායී නොව්. අඩුම තරමින් මේ වනවිට මහින්දෝදය විද්‍යාගාරවල කැඩුණු කොම්පියුටර් අලුත්වැඩියාවක් හෝ ඒ වෙනුවට අලුත් කොම්පියුටර් යන්ත්‍ර යෙදවීමක් දක්නට නොලැබෙන බව දැනගැනීමට තිබේ. ප්‍රථමයෙන්ම ඒවා යාවත්කාලීන කිරීම වැදගත්ය. පසුව ‘ටැබ්’ ලබාදිය හැකිය. මේ නිසා ‘ටැබ්’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර අපේ උපායමාර්ගික කළමනාකරණයට අදාළ ප්‍රශ්න විසඳාගත යුතුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සියලු තත්ත්වයන් සලකාබලා ‘ටැබ්’ ලබාදීම අහෝසි කිරීමට නොව කල්දැමීමට යෝජනා කළේ මේ ඊයේ පෙරේදාය. මීට අදාළ යටිතල පහසුකම් සකසා විධිමත් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නැවත පියවරින් පියවර ක්‍රියාත්මක කළ හැකිය. එය රටේ භාණ්ඩාගාරයට ද එතරම් බරක් නොවනු ඇත. මේනිසා අයවැය මඟින් ලබාදුන් ‘ටැබ්’ පහසුකම අහෝසි කළා නොවේ. එය හෙට දවසේ මීට වඩා විධිමත්ව හා අවැසි යටිතල පහසුකම් සැකසීමෙන් පසු රටේ උපායමාර්ගික කළමනාකරණයට යටත්ව සිදුවනු ඇත. ජනාධිපතිවරයා රජයට යෝජනා කරන්නේ එය ප්‍රායෝගික තලයේ පිහිටා කටයුතු කරන ලෙසය. එය රාජ්‍ය නායකයා ලෙසින් ආණ්ඩුවට දෙනු ලබන ප්‍රයෝගික මහපොළොවේ පැළ කළ හැකි යෝජනාවකි.

නව අදහස දක්වන්න