‘වෙලේ සුදා’ මත්ද්‍රව්‍ය චෝදනාවකින් නිදහස් | දිනමිණ

‘වෙලේ සුදා’ මත්ද්‍රව්‍ය චෝදනාවකින් නිදහස්

කුමුදු හෙට්ටිආරච්චි

පැමිණිල්ලේ සාක්කිවල පරස්පරතා හේතුවෙන් හෙරොයින් ග්රෑම් 6.07ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධව අධිචෝදනා ලැබ සිටි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සමන්ත කුමාර හෙවත් 'වෙළේ සුදා' නමැත්තා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (28) නියෝග කෙළේය.

මේ විත්තිකරු හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටී.

ගල්කිස්ස ප්‍රදේශයේදී විත්තිකරු අත්අඩංගුවට පත්වන විට විත්තිකරුගේ සන්තකයේ වූ බවට සඳහන් හෙරොයින් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමත් අත්අඩංගුවට පත් හෙරොයින් මසක කාලයක් ගල්කිස්ස පොලිසියේ තබා ගැනීමත් ඇතුළු පරස්පරතා රැසක් පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගත් විනිසුරුවරයා විත්තිවාචකයක් නොකැඳවම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී 2002/05/27 තවත් පුද්ගලයන් දෙදෙනෙකුද සමඟ වෙළේ සුදා නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වුවද නඩුවේදී සෙසු පුද්ගලයන් දෙදෙනා සඳහන් නොවීමත් විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු සටහන් පොත් ගල්කිස්ස පොලිසිය භාරයේ තිබියදී අතුරුදන්වීම ඇතුළු කරුණු රැසක් හේතුකොට විත්තිකරු එසේ නිදොස්කොට ‍නිදහස් කෙරුණි.

ඒ අනුව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වගෙන යා නොහැකි බව විනිසුරුවරයා තීරණය කෙළේය.

හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වූ වෙනත් චෝදනාවකට මීට පෙර වරදකරු කර කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩය නියම කර ඇති විත්තිකාර සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා දැඩි ආරක්ෂාව මත බන්ධනාගාරය මඟින් ඊයේ (28) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ සාලික ගුණවර්ධන, අමිල පල්ලියගේ, තුසිත රණසිංහ හා වජිර රණසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය. 

නව අදහස දක්වන්න