දරුවන්ට හොඳම දේ...!? | දිනමිණ

දරුවන්ට හොඳම දේ...!?

 කිසියම් සමාජයක් නිවැරැදි තැනකට ගෙන යෑමට අවශ්‍ය නම්; පළමුව එම සමාජයේ දරු පරම්පරාව ශිෂ්ට සම්පන්න කළ යුතු බවට කතාවක් තිබේ. දරුවා නොහදා සමාජය හැදිය නොහැකි බව එහි අර්ථය යි. සමාජ විද්‍යාත්මක ව ගත්තද මේ කතාව ඇත්තකි. මෝරා වැඩුණු වැඩිහිටි සමාජය හැදීම දුෂ්කර ය. එහෙත් ළපටි දරුවන් හැදීම ඊට වඩා පහසුවෙන් කළ හැකි ය. අපේ දරුවන්ගේ චර්යාව දෙස බලන කෙනකු එය පහසු නැතැ’යි කියන්නටත් පුළුවන. ඇතමකුගේ මතයට අනුව ගතහොත් අපේ රටේ දැන් ඉන්නේ කොල්ලන් නොව; කොලු තාත්තලා ය. තව මතයකට අනුව අපේ රටේ දැන් ඉන්නේ කෙල්ලන් නොව; ආච්චි අම්මලා ය.

ඉහත මතවාදය සනාථ කරන සිද්ධියක් ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. ඊට අදාළ සිද්ධිය මෙසේ ය. බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් විසින් අධ්‍යාපන චාරිකාවක් සංවිධාන කර තිබේ. චාරිකාවේ අරමුණ කොළඹ වැදගත් තැන් නැරඹීම ය. එය දරුවන්ගේ අධ්‍යාපනයේ කොටසක් ලෙස ද සැලකිය හැකි ය. වාහන උදේම පිටත් විය. එහෙත් වැඩිදුර යෑමට පෙර පොලීසිය පැමිණ වාහන පරීක්ෂා කරන්නට විය. එක වාහනයක තිබී කසිප්පු බෝතල් අත්අඩංගුවට ගැනිණි. පසුව ඊට අදාළ සැකකාර දරුවන් ද අත්අඩංගුවට ගැනිණි. පාසල් දරුවන්ගෙ මානසික මට්ටම ද ඔවුන්ගේ අභිප්‍රායයන් ද මේ සිද්ධියෙන් හඳුනාගත හැකි ය.

පසුව කරන ලද විමර්ශනවල දී හෙළිදරව් වී ඇත්තේ ළමයින් කිහිප දෙනකු රුපියල් දෙසීය ගණනේ එකතු කොට කසිප්පු මිලට ගෙන ඇති බව ය. මේ මුදල් ද මාපියන්ගේ මුදල් විය යුතුය. කෙනකු බොරුවක් කියා දෙසීයක් ඉල්ලා ගන්නට ඇත. තව කෙනකු මුදල් සොරකම් කරන්නට ඇත. තවත් කෙනකු කිසිවක් විකුණා මුදල් සොයා ගන්නට ඇත. ඒ අනුව ඉහත දරුවන් එක වැරැද්දක් නොව; වැරැදි කිහිපයක්ම සිදු කර තිබේ. කසිප්පු යනු හොර මත්පැන් විශේෂයකි. දරුවන් එම තිප්පොලට ද යන්නට ඇත. මෙහිලා පළමුව සොයා ගත යුත්තේ දරුවන්ට කසිප්පු ලබාදුන් කසිප්පුකාරයා ය. ඔහු තමන්ගේ දරුවන්ටත් කසිප්පු බෙදනවාද යන්න විමැසිය යුතු ය. කොයි අතින් ගත්ත ද එම පුද්ගලයා වැරැදි ය.

ඊළඟට මේ ගැටලුව සම්බන්ධයෙන් උත්තර බැඳිය යුතු දෙපිරිසක් වෙති. එක පිරිසක් මාපියෝ ය. අනෙක් පිරිස ගුරුවරුය. දරුවන් අධ්‍යාපන චාරිකාවක් යන විට මාපියන් ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුය. මුදල් පමණක් ලබාදී දරුවන්ගේ අනෙක් ක්‍රියාකාරකම් ගැන කරබාගෙන සිටීම තම යුතුකම් පැහැර හැරීමකි. පාසලේ ගුරු මණ්ඩලයට මේ ගැටලුවෙන් පැන යෑමේ හැකියාවක් නැත. දරුවන් පාලනය කිරීමට ගුරුවරුන් දැනගත යුතුය. දරුවන්ගේ විනය හා ශික්ෂණය ගැන ද ගුරු මණ්ඩලය වග කිව යුතු ය. සිද්ධියෙන් උක්ත විදුහලට යම් අපකීර්තියක් අත්වන්නේ නම්; එහි කොටස්කාරයන් බවට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ද පත් වනු ඇත. මෙයින් අනෙක් විදුහල් ද පාඩමක් උගත යුතු බව අපගේ පිළිගැනීම ය.

ශ්‍රී ලංකාව තරම් බණ දේශනා කරන රටක් ද, ශ්‍රී ලංකාව තරම් පිරිත් සජ්ඣායනා කරන රටක් ද; ශ්‍රී ලංකාව තරම් බෝධි පූජා තබන රටක් ද ලෝකයේ නොතිබෙන්නට පුළුවන. එලෙස ම දේවාල, විහාර, පූජස්ථාන මෙතරම් ඇති වෙනත් රටක් ද නො තිබෙන්නට පුළුවන. ආගම, දහම වෙනුවෙන් මෙතරම් වැය කරන වෙනත් රටක් ද නො තිබෙන්නට පුළුවන. එහෙත් ඒවායෙහි ප්‍රතිඵල නම් දකින්නට නැත. මත්පැන් පමණක් නොව මත් ද්‍රව්‍ය භාවිතය ද, මත් ද්‍රව්‍ය වෙළෙඳාම ද ඉහළ ගොස් තිබේ. ඉන්දියන් උප මහාද්වීපයේ මත් ද්‍රව්‍ය හුවමාරු වන කේන්ද්‍රස්ථානයක් ලෙස අපේ රට හඳුන්වා තිබේ. ඒ හැරෙන්නට ස්ත්‍රී දූෂණ හා අපරාධ ඉහළ යමින් පවතී. දරුවන් අතර කුඩු භාවිතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි.

මත් ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකළ යුතු බව ද ස්ත්‍රී හිංසනය වැළැක්වීමට පියවර ගත යුතු බව ද අගමැතිවරයා අවධාරණය කරයි. අගමැතිවරයා ගේ අදහසට අනුව තිස් අවුරුදු යුද්ධයටත් වඩා මේ තත්ත්වය භයානක ය. පොලීසිය කෙළින් සිට ගත යුතු බව ද, නීතිය අකුරට ම ක්‍රියාත්මක විය යුතු බවද සමහරු පෙන්වා දෙති. එහි ද ඇත්තක් තිබේ. ඇතැම් ජාවාරම්කරුවෝ පොලිසියේ කනෙන් රිංගති. නැතහොත් පොලිසියට අල්ලස් ලබා දෙති. වෙන්නප්පුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා පළාතේ ඉහළ පොලිස් නිලධරයකුට අයිතිකරුවා අල්ලස් ලබා දී ඇත. ඒ නිලධරයාගේ ඉල්ලීම මත ය. එය අතේ මාට්ටු විය. පොලිස් ලොක්කා දැන් රිමාන්ඩ් භාරයේ පසු වෙයි.

ඉහත සිද්ධිය හා තවත් සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ පාසල් දරුවන්ගේ වින්දනය මත්පැන් දෙසට ද, මත්ද්‍රව්‍ය දෙසට ද ඇදී යන බවය. කොළඹ ප්‍රසිද්ධ විදුහල් කිහිපයක දරුවන් ද, විභාග අවසන් වී මත්පැන් සාද පවත්වා ඇත. පාසලේ ක්‍රීඩා තරග පවත්වන සමයේ මත්පැන් පානය කොට පිස්සු නැටීම දරුවන්ගේ එක්තරා මෝස්තරයක් බවට ද පත්ව තිබේ. ඇතැම් විට දරුවා මේ ආදර්ශය ලබා ගන්නේ වැඩිහිටි සමාජය වෙතින් ය. වැඩිහිටි සමාජ ගතහොත් සියලු උත්සව සඳහා මත්පැන් යොදා ගනිති. මංගල්‍යයට මත්පැන් ඇත. අවමංගල්‍යයට ද මත් පැන් ඇත. ඒ හැරෙන්නට පිරිත් ගෙදර, දාන පවතින ගෙදර ද, මත්පැන් භාවිතා වෙයි. දරුවන් මේවා අනුකරණය කරනවා වෙන්නට පුළුවන.

අතීත සමාජයේ වැඩිහිටියා මත්පැන් ස්වල්පයක් පාවිච්චි කළේ කලාතුරෙකින් අවස්ථාවක ය. ඒ අවස්ථාව ද යොදා ගැනුණේ බාල පරපුරට නොපෙනෙන ලෙස හොර රහසේ ය. එහෙත් අද තත්ත්වය මුළුමනින්ම වෙනස් ය. සමහර පියවරු හා පුත්තු එකට අඩි ගසති . එකට ‘චියර්ස්’ කරති. මත්පැන් සම්බන්ධයෙන් පවතින මතය වෙනස් කළ යුතු ය. අඩියක් ගැසීම පිරිමිකමක් කොට සලකන්නට සමාජය පුරුදු වී ඇත. මත් පැන් භාවිතය වැළැක්වීම සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් සේම පුනරුත්ථාපන වැඩසටහන් ද පවතී. ඒවා යම් අන්දමක බලපෑමක් කරනවා විය හැකි ය. එහෙත් ඊට වඩා වැඩි වේගයකින් බේබද්දන් බිහිවෙමින් පවතින බව දැකගන්නට ලැබේ.

අප මේ මොහොතේ අවධානය යොමු කළ යුතු වැදගත් ම කාරණය වන්නේ පාසල් දරුවන් මතින් නිදහස් කරගැනීම යැයි කියන්නට පුළුවන. ඒ සඳහා පෙරමුණ ගත යුත්තෝ මාපියෝ හා ගුරුවරු ය.

නව අදහස දක්වන්න