නීතියට ඉඩ දෙන්න | දිනමිණ

නීතියට ඉඩ දෙන්න

දකුණු අප්‍රිකාව දැන් සැලකිය හැක්කේ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යනු ලබන රාජ්‍යයක් හැටියටය. එම තත්ත්වය උදා වූයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසුව බව ද කිව යුතුය. නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන කාලීන අවශ්‍යතා අනුව වෙනස් විය යුතුය. එසේ නොවන විට රටක දූෂණ හා වංචා ක්‍රියාවලිය උත්සන්න වන බවද අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යන බවද ඉතිහාසය අපට පෙන්නුම්කර දී තිබේ. දකුණු අප්‍රිකාවේ අද තත්ත්වයට අනුව සුපිරි දේශපාලකයන්ට බලය අතහැර ගෙදර යන්නට හෝ සිපිරි ගෙදරට යන්නට හෝ සිදු වී ඇත. ඒ ඔවුන්ගේ අතීත - දූෂිත ක්‍රියාවන් නිසාය. දූෂණ හෙළිදරව් කරගැනීම සඳහා ද අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා ද රාජ්‍යයන් යම් පරිශ්‍රමයක් දැරිය යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට පෙර කියා සිටියේ යල්පැන ගිය නීති සංශෝධනය කොට පොලිසිය බලගැන්වීමට ක්‍රියා කරන බවය. අගමැතිවරයා මේ අදහස පළ කළේ විශේෂකාර්ය බළකායේ තිස්පස් වන සමරු උත්සවයේදීය. මේ අදහස ආරක්ෂක අංශවලට පමණක් නොව, රටේ නීතියට හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද අදාළ යැයි කියන්නට පුළුවන. අලුත්ම තත්ත්වයට අනුව අල්ලස් කොමිසමට තවත් බලයක් ලබාදීමට යයි. ඒ අනුව පරීක්ෂණයක් නිම වූ වහාම ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය කොමිසමට ලැබෙයි. විගණන පනත ද පාර්ලිමේන්තුවට ගෙන ඒමට යයි. මේ දෙකෙන්ම රටේ අලුත් වෙනසක් ඇති කිරීමට පාර කැපෙයි.

පසුගිය කාලය තුළ අපගේ අත්දැකීමට අනුව වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත් වූ බොහෝ පරීක්ෂණ අතිශයින්ම ප්‍රමාදය. ඒවාට නඩු පැවරීම ඊටත් වඩා ප්‍රමාදය. නඩු විභාග ප්‍රමාද වීම සාමාන්‍යයෙන් අපේ රටේ අධිකරණ ක්‍රියාවලියේ පොදු ලක්ෂණයකි. ඉඩම් නඩු පරම්පරා ගණනක් ඇදෙයි. එක්තරා මහලු කාන්තාවක් තම ජීවිතය පුරාවටම ඉඩම් නඩුවක් කියා ඇත. ඇය මියගොස් සති කිහිපයකට පසු තීන්දුව ලබා දුන් අතර එම තීන්දුවෙන් කාන්තාවට ඉඩම හිමිවිය. එහෙත් ඉඩම භුක්ති විඳීම සඳහා කාන්තාව ජීවතුන් අතර සිටියේ නැත. වංචා හා දූෂණ නඩුවලට අදාළ පරීක්ෂණ වාර්තා රාශියක් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව කියතත්, නඩු පවරා ඇත්තේ කිහිපයකට පමණි.

නීතිපති දෙපාර්තමේන්තුවද රාජ්‍ය ආයතනයකි. රාජ්‍ය ආයතනවල පවත්නා සාමාන්‍ය ස්වභාවයක් වන්නේ අකාර්යක්ෂමතාවයි. මේ ආයතනයට මානව සම්පත්වල හිඟයක් තිබෙන්නට පුළුවන. ඇතැම් කටයුතු සඳහා නීතිමය බාධාවන් තිබෙන්නටද පුළුවන. කෙසේ වුව රට යහපත් තැනකට ගෙන යෑම සඳහා ඒ සියල්ල වෙනස් විය යුතුව තිබේ. ඇත්ත / නැත්ත කුමක් වුව නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන චෝදනා ද එල්ල වී තිබිණි. එනම්, හිටපු දූෂිත දේශපාලකයන් ආරක්ෂා කරනවා යනුවෙන්ය. වංචා- දුෂණ හා අක්‍රමිකතා ගතහොත් ඒවායේ හෙළිදරව් ඉක්මන් විය යුතුය. දඬුවම් ලබාදීමද කඩිනම් විය යුතුය. එසේ නොවන කල තවදුරටත් දූෂණ සිදුවන්නට පුළුවන. මහජනයාගේ අප්‍රසාදය තීව්‍ර වන්නටත් පුළුවන.

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම බලගැන්වීම ඉතා වැදගත් තීරණයකි. මේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිවීම නිසා නීති ක්‍රියාවලිය කඩිනම් වනු ඇත. දූෂණ - වංචා හා අල්ලස් පිළිබඳ බොහොමයක් පරීක්ෂණ මේ කොමිසමට කළ හැකිය. ඒ අනුව වඩාත් නිවැරැදි තැනෙක සිට කොමිසමට ක්‍රියාකළ හැකිය. ඉන්දියාව වැනි රටවල අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වඩා බලවත්ය. මේ අනුව කාර්යක්ෂම ලෙස නඩු විභාග පැවැත්වීමට අදාළ පසුබිම කොමිසම විසින් සකස් කරනු ලැබේ. මේ වන විට දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් තිබේ. ඒවා සියල්ල පරීක්ෂණ කිරීම සඳහා මේ කොමිසම කොහොමත් සක්‍රීය විය යුතුය. ප්‍රමාදයන් නිසා සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක් උදා වී ඇත. සමහරු රට පනිති. තව සමහරු පරීක්ෂණවලට බාධා කරති.

ලෝක ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ගතහොත් ශ්‍රී ලංකාව යනු දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය කළමනාකරණය යන විෂයය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නොකළ රාජ්‍යයකි. ඉන්දියාවටද මේ චෝදනාව පැවැති අතර ඉතා කෙටි කාලයක් තුළ ඉන්දියාව එම ගැටලුව විසඳා ගත්තේය. මූල්‍ය කළමනාකරණයකින් තොරව රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ හැකියාවක් නැත. මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය කටයුතු පිළිබඳ අධීක්ෂණයකට සංවර්ධනය බලපාන ප්‍රධාන සාධකයෙකි. නිදසුනක් කිවහොත් ශ්‍රී ලංකාවේ රුපියල දිගින් - දිගටම ලෝක වෙළෙඳපොළ තුළ අව ප්‍රමාණය වන්නේ නම්; එය ආර්ථිකයේ පසුබෑමට හේතු සාධක වන ප්‍රධාන කාරණයක් වන්නේය. රටේ දීර්ඝ කාලයක සිට සිදුවෙමින් පවතින්නේ ද එය ම යැයි කිව හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් කරන ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. එයින් මුල් තැනට ගත හැක්කේ රටේ ප්‍රධාන දේශපාලකයන් විසින් ගනු ලබන තීන්දු හා තීරණය. මේ තත්ත්වය වෙනත් අයුරකින් කිවහොත් කැබිනට් මණ්ඩලයේ තීරණ ලෙස දැක්විය හැකිය. අපේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණ බුද්ධිමත්ද; ඒවා ලෝක වෙළෙඳ පොළ සමඟ කොයි තාක් දුරට සමගාමීද යන්න තීරණය කිරීම ඉතා වැදගත්ය. ඇතැම් තීරණ බුද්ධිමත්ය. ඇතැම් තීරණ ලෝක වෙළෙඳ පොළ සමඟ හොඳින් ගැළපෙයි. එහෙත් ඇතැම් තීරණ ඒ දෙකටම ගැළපේ යැයි සිතිය නොහැකිය. මේවා පිළිබඳ අවංක හා නිර්දය විවේචනයක් අවශ්‍ය වෙයි.

ලංකාවේ සංවර්ධනය අඩාල වීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස සැලැකිය හැක්කේ බලධාරීන් කළ වංචා හා දූෂණයන්ය. බලධාරීන් යන්නෙන් අපේක්ෂා කරනුයේ දේශපාලකයන් හා ඉහළ නිලධාරීන්ය. දේශපාලකයන් සිදු කරන දූෂණ ගැන සෙවීමට ක්‍රමවේදයක් තිබුණමුත් එය සවිබලගැන්වී තිබුණේ නැත. උසස් නිලධාරීන් කරන දූෂණ ගැන සොයා බැලීමට තරම් ශක්තිමත් ආයතන ක්‍රියාදාම තිබුණේ ද නැත. ඒ දෙකම යහපාලන රජය ඇති කළේ යැයි කිව හැකිය.

දැන් අප ඉතා සන්සුන්ව හා නිවැරැදිව රට ගැන කල්පනා කළ යුතුය. රටේ අනාගතය ගැන කල්පනා කළ යුතුය. අනාගත පරපුර ගැන කල්පනා කළ යුතුය. එහිදී වැදගත් වන එක් ප්‍රධාන සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම හා සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීමය. නීතියට හා නීතිය ක්‍රියාත්මක ආයතනවලට සම්පූර්ණ බලය නොදී එම කාර්යය කළ හැකිද? කළ නොහැකිය. සමාජය ඒකාබද්ධ සාමූහික තැනකට ගෙන නොගොස් සාමය උදා කළ හැකිද? මේ ක්ෂේත්‍ර දෙකම එකට ගමන් කරයි. දකුණු අප්‍රිකාව අපට පෙන්වා දෙන්නේ ද එයමය. නීතිය ශක්තිමත් කරනු එවිට සදාචාරවත් සමාජයක් බිහිවනු ඇත.

 


නව අදහස දක්වන්න

Or log in with...