ඇවිලෙන වතුර! | දිනමිණ

ඇවිලෙන වතුර!

බීමට ජලය වුවමනා ය. නෑමට ද ජලය වුවමනා ය. එලෙස ම ගොවිතැනට ද ජලය වුවමනා ය. අප මේ සරල හා බොලඳ වාක්‍යය තුන ලියා තැබුයේ රටේ පවත්නා ජල ගැටලුව නිරූපණය කිරීමට ය. 2020 වන විට ලෝක ජල ගැටලුවේ උපරිමය පිළිබඳ හරස්කඩක් දැක ගත හැකිවනු ඇතැ’යි පු‍රෝකථනය වී තිබේ. මෙය සමස්ත ලෝකයටම දනවන හා බලපෑම් කරන අනතුරු හැඟවීමක් ලෙස දැක්විය හැකිය. පරිසර විද්‍යාඥයන් දක්වන යථාර්ථය දැන් ශ්‍රී ලංකාව වැනි රටවලින් ද ඉස්මතු වෙන්නට පටන්ගෙන තිබේ. ඇත්ත තත්ත්වය බැලුවහොත් අපේ රටේ හැම පළාතකම වතුර ප්‍රශ්න තිබේ.

ඇතැම් පළාතක ජල ගැටලු මතුවී ඇත්තේ වගාව සම්බන්ධයෙන් ය. තව පළාතක ජල ගැටලු මතුව ඇත්තේ පානීය ජලය සම්බන්ධයෙන්ය. තවත් පළාතක ජල ගැටලු මතුව ඇත්තේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන්ය. මේ සියල්ල විමසන විට පැහැදිලි වන්නේ සමස්ත රාජ්‍යය තුළ ජලය සම්බන්ධයෙන් බලවත් ගැටලු පවතින බවය. ඉතා පිරිසුදු පානීය ජලය ඇතැ’යි විශ්වාස කරන නුවරඑළිය, කෑගල්ල වැනි ප්‍රදේශවල ද ජල ප්‍රශ්න මතුවී ඇත. නුවරඑළියේ ජල මූලාශ්‍ර මුළුමනින්ම පාහේ විනාශ මුඛයට ගොස් ඇත. කෑගල්ලේ ළිං ජලය සිඳීයන තත්ත්වයකට පත් වී ඇත. ඉතින් වයඹ ගැන කුමන කතාද?

වයඹ පොල් වගාව බොහෝ සෙයින් ම විනාශ වී ඇත්තේ ජල ගැටලු මත බව පෙනී ගොස් තිබේ. පොල් වගාවට ජලය අවශ්‍ය වේ. වයඹ පළාතට එම ජලය වර්ෂයේ අවශ්‍ය කාලයකදී ලැබිණි. ඒ ස්වාභාවික වර්ෂාව මඟිනි. අද වර්ෂාව ගැන තීරණයක් ගත නොහැකිය. මෝසම් වැස්ස පමාවී ඇත. සංවහන වැස්සද එන බවක් පෙනෙන්නට නැත. එහි අර්ථය වන්නේ වයඹට වර්ෂාව නැත යන්න ය. වයඹට වර්ෂාව නැති වුණහොත් පොල් වගාව මුළුමනින්ම බිඳ වැටෙනු ඇත. පොල් ගසකට අවශ්‍ය වතුර ප්‍රමාණයක් තිබේ. එම වතුර ප්‍රමාණය නො ලැබෙන්නේ නම්; පොල් වගාවෙන් සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි ය.

දැන් අපට දකින්නට ලැබෙන්නේ ජලය වෙනුවෙන් සටන් කරන මිනිසුන්ය. තඹුත්තේගමදී ජලය වෙනුවෙන් මිනිස්සු සටන් කළහ. ඊට බලපෑ ප්‍රධාන හේතු සාධකය වන්නේ රාජාංගනය වැවේ වතුර ඊට පහළින් ජීවත්වන පිරිසකගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමය. පහළ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව පානීය ජලය වන අතර ඉහළ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව ගොවිතැන සඳහා ජලය ලබාගැනීම වන්නේ ය. මේ ව්‍යාපෘතිය 2011 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ. එහෙත් එදා එම ව්‍යාපෘතිය අනුමත කළ අයම අද ඊට එරෙහිව ක්‍රියා කරති. මෙහි ඇත්ත නැත්ත සොයා බැලිය යුතුය.

අදාළ ව්‍යාපෘතිය විධිමත් අයුරින් ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඒ සඳහා චීන සමාගමක සහයෝගය ද ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ජලයට සම්බන්ධ රාජ්‍ය ආයතන දෙකක් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත. එකක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. අනෙක ජල සම්පත් මණ්ඩලය යි. මේ ආයතන දෙකෙහි ප්‍රයත්නය වූයේ රාජාංගනයේ ගොවි ජනතාව ආරක්ෂා කරන අතර ඊට පහළ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම ය. එය වැරැදි නැත. වරද ඇත්තේ මේ සම්බන්ධයෙන් වූ තේරුම් ගැනීම තුළ ය.

රටට බලපාන වෙනත් ජල ගැටලු ද තිබේ. කළුතර ප්‍රදේශය ඊට හොඳ ම නිදර්ශනයක් ලෙස දැක්විය හැකි ය. අද කළුතර ප්‍රදේශයේ ගෙවල්වලට ලැබෙන නළ ජලය තුළ ලුණු සාන්ද්‍රණයක් තිබේ. එය නිකම්ම ඇතිවූ දෙයක් නොවේ. කළුතර ප්‍රදේශයට පානීය ජලය ලබාගන්නේ කළු ග‍ඟෙන් ය. කළු ගඟ දැන් දූෂණයට ලක්වී ඇත. එක අතෙකින් කළු ග‍ඟෙහි ඉහළ ගංගාධාර කොටස් වැලි ගොඩදැමීම නිසා දූෂණයට ලක්වී ඇත. තව අතෙකින් කළු ග‍ඟෙහි මෝයකට සම්බන්ධ ගැටලු ඔස්සේ කළු ග‍ඟෙහි ජලය දූෂණයට ලක්වී ඇත. මේ අනුව කළුතර, බේරුවල, දර්ගා ටවුන්, මොරගල්ල, අලුත්ගම, බෙන්තොට යන ප්‍රදේශ ගැටලුවලට මුහුණ දී ඇත.

කළුතර - බෙන්තොට, අලුත්ගම ආදී ප්‍රදේශ සංචාරක ආකර්ෂණය දිනාගත් කලාපයක් හැටියට හැඳින්විය හැකි ය. එහෙත් එම ප්‍රදේශවල හෝටල් අයිතිකරුවන් කියා සිටිනුයේ තමන්ගේ ස්ථාන කරා එන ජලය බෙහෙවින් අපිරිසුදු බවය. තවත් චෝදනාවක් වන්නේ ඇතැම් හොටල්වලට ජලය නැති බවය. මේ ගැටලු නොවිසඳා සංචාරක කර්මාන්තය නැංවිය නො හැකිය. අවම ලෙස රටේ ජල ප්‍රශ්නය නොවිසඳන රාජ්‍යයක් සාර්ථක සංචාරක ව්‍යාපෘතියක් අපේක්ෂා කරන්නේ කෙසේද? මෙය අනතුරු හැඟවීමකි. සියල්ලට කලින් අපේ ජල ගැටලු නැතහොත් වතුර ප්‍රශ්නය විසැඳිය යුතු බව එයින් කියැවේ.

වතුර ප්‍රශ්නය ඉබේ විසැ‍ඳෙන්නේ නැත. ඒ සඳහා හොඳ කළමනාකරණයක් තිබිය යුතුය. නිදසුනක් ගතහොත් මේ දිනවල පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් හතරක් විවෘත කර තිබේ. ඒ, ලැබෙන ජලය රඳවාගත නොහැකි නිසා ය.

 


නව අදහස දක්වන්න

Or log in with...