උඹ පොරක් ද ? | දිනමිණ

උඹ පොරක් ද ?

"උගේ මාර ලයින් එකක් නේ මචං තියෙන්නේ. හිතන් ඉන්නේ ඌ තමයි කෙනා කියලා"

මේ වගේ වචන මට වගේ ම ඔයාටත් නිතර පාරේ තොටේ දී මිනිස්සු ගැවසෙන ඕනෑම තැනක දී ඇහෙනවා නේද ?

සමහර අයට මිනිස්සු ගොඩාක් දෙනා කියන වචන එක එක විදිහේ ඒවා.

ඒත් සමහර විට පුද්ගලයෝ එහෙම නොවෙන්න පුළුවන්. අනේ වචනෙන් ම කිව්වොත් පොර වෙන්න දඟලන අය කොච්චර ඉන්නවද කියලා මං ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒත් ඇත්තට ම පොරක් කියන්නේ කවුද කියලා දන්නවද ?

සමහර මිනිස්සු ඉන්නවා ඒ ගොල්ලෝ සැබෑ ලෝකෙට වඩා මවා ගත්තු ලෝකෙක පාවි පාවි සැබෑ ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා.

ඒ වගේ අය හිතන් ඉන්නේ ඒගොල්ලෝ අනිත් අයට වඩා ගොඩාක් උසස්, චරිතවත්, වැදගත්, ගුණවත් කියන මේ පට්ටම් ඔක්කෝම ආභරණයක් වගේ පැළඳගෙන ඉන්න අය කියලා.

අනේ ඉතිං අපිට නම් ඔය ලොකු සීන් කොහොමත් අල්ලන්නේ නැහැනේ. මෙහෙම හිතන්නකෝ අපි කොච්චර අකමැති වුණත් ඒ වගේ මිනිසුන් එක්ක ගැවසෙන්න, ගනුදෙනු කරන්න අපිට සිද්ධ වෙනවා.

මේ සමාජය ඇතුළෙ දී අපිට මුණගැහෙන්නේ අපේ රටාවෙ ම අය නොවේ. එක එක රටාවල තමන්ගේ ලෝකවල ඉන්න මිනිස්සු ගොඩාක් තමයි අපට මුණගැහෙන්නේ.

ඒ මිනිසුන්ගේ එක එක භාව ලක්ෂණත් එක්ක අපිට ගැලපිලා ඉන්න සිද්ධ වෙනවා. ඒ අය ‘පොරක්’වගේ ඉන්න හදනවා නම් ඒගොල්ලෝ එක්ක වැඩ කරන එක හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ සියුම් වැඩක්. ඒත් අපි ඒගොල්ලෝ එක්කත් ගැවසිලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.

පොරක් වගේ ඉන්න අය හිතන් ඉන්නේ හැමවෙලාවෙ ම තමන් නිවැරදියි කියලා. ඒගොල්ලෝ වැරදි වුණත් ඒ අය ඒක පිළිගන්න කැමති නැහැ. ඒ වෙලාවට අපිට ගොඩාක් තරහ යනවා. අපේ ආවේගශීලී බව හින්දම අපි ගැටුම් ඇතිකරගන්න පෙළඹෙනවා. එතකොට ඒ අය නිසා අපි අපේ වැඩ අවුල් කරගන්නවා.

ඒත් අපි එහෙම කරගන්නේ මොකටද? අපිට අනිත් අයව බලෙන් වෙනස් කරන්න හැකියාවක් නැහැනේ. ඒ වගේ ඉන්න අයත් එක්ක තැනට සුදුසු විදිහට ඉන්න අපි දැනගන්න ඕනේ. ඒකේ තේරුම අපි ඒගොල්ලන්ගේ ලයින් බලනවා කියන එක නෙවේ. සමාජයේ විවිධ මිනිසුන් එක්ක එකට වැඩ කරන්න හොඳ හැකියාවන් ලබාගන්නවා කියන එකයි.

ඇත්තටම පොරක් කියන්නේ කවුද කියලා හරියටම නිර්වචනය කරන්න අපහසුයි. ඒත් සාමාන්‍යයෙන් අපි පොරක් කියන්නේ, අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙකුට. ඒත් එහෙම අයට පොර කියන වචනෙට වඩා දක්ෂයෙක් කියන වචනේ ගැලපෙනවා නේද ?

ඕනෑම තැනක හැමෝගෙම හිත දිනාගෙන වැඩකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට හිතෙනවා එයා පොරක් කියලා. කටින්, පෙනුමෙන් පොරක් වෙන්න ලේසි බව ඇත්ත. ඒත් වැඩවලින්, ගතිගුණවලින් පොරක් වෙන එක ලේසි නැහැ. ඔයා පොරක්, නැත්නම් දක්ෂයෙක් නම් ඔයාගෙ ම අනන්‍යතාවක් ඔයාට ගොඩනැගෙන්නේ ඉබේටමයි.

ඒ වගේ ම ඔයා කාටවත් කරදරයක් නොකර ඔයාගේ වැඩකටයුතු උපරිමයෙන් කරලා ඔයාගේ ඉලක්කයට යනවා නම් අන්න ඔයා නියම දක්ෂයෙක්. ඒ වගේ ම හැමෝම එක්ක සුහදශීලීව,මිත්‍රශීලීව, නිහතමානීව ඉන්න අතරේ තමයි ඒක කරගන්න ඕනේ.

එතකොට ඔයාව අනිත් අය දකින්නේ දක්ෂයෙක් වගේ ම මනුස්සකම් දන්න හොඳ මනුස්සයෙක් විදිහට. ඉතිං එතකොට ඔයා ඉබේ ම සාමාන්‍ය අය අතර අසාමාන්‍ය කෙනෙක් වෙනවා නේද? හිතලා බලන්න ටිකක්. මං ඔයාට කියනවා පොරක් වෙන්න කියලා.

හැබැයි ඒ පිටින් බොරු ආටෝප පෙන්වන කෙනෙක් විදිහට නෙවෙයි. ඇත්තටම ඔයාගේ දක්ෂකමයි, ගුණයහපත්කමයි දෙකම එකට එකතු කරලා. එතකොට පොර කියලා හිතන් ඉන්න අයට ම තේරෙයි ඇත්තට ම පොරක් කියන්නේ කාටද කියලා.

ඉතිං මං හිතනවා ඔයත් බොරු පොරක් නොවී, මරු පොරක් වෙයි කියලා.

(ටිෂානි ශෂී කුමාරි)

නව අදහස දක්වන්න