අම්පාර ප්‍රහාර ගැන 'විශේෂ විමර්ශනයක්' | දිනමිණ

අම්පාර ප්‍රහාර ගැන 'විශේෂ විමර්ශනයක්'

පසුගිය පෙබරවාරි 26 වෙනි දින අම්පාරේ ස්ථාන කිහිපයකට පහරදීම සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන මෙන් මඩකලපුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇතැයි නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ එම පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී "අඩුපාඩු සිදු වූ බවට" පැමිණිලි ලැබී තිබෙන බවයි.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ පෙබරවාරි 26 රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබුණි.

සිදුවීමෙන් අනතුරුව අම්පාර නගරයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීහු කටයුතු කළහ.

ප්‍රහාරයෙන් අලාභහානි සිදු වූ පෞද්ගලික දේපොළ, වෙළෙඳසැල් මෙන්ම මුස්ලිම් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

"මෙම උණුසුම් තත්ත්වයේදී සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කැප වූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්‍ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලූ ජනකොටස් වෙත විශේෂ ස්තුතියක් පිරිනමනු කැමැත්තෙමු," යනුවෙන් ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නව අදහස දක්වන්න