ගින්නට පිදුරු! | දිනමිණ

ගින්නට පිදුරු!

ජාතිවාදය හා ආගම්වාදය ගින්නක් නම්; ඒ ගින්නට පිදුරු දමන්නට ඕනෑ තරම් ලොකු මහත්තුරු සිටිති. ලොකු නෝනලා ද සිටිති. මේ අය ගින්නට පිදුරු දමනුයේ නිකම් ම නො වේ. ඔවුන්ගේ යටි අරමුණ තම බලය තහවුරු කර ගැනීම ය. තම පාර්ශ්වය ශක්තිමත් කර ගැනීම ය. ඉතා පැහැදිලි ව හා සරල ව කිවහොත් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම ය. මෙය දකුණේත් සිදුවෙයි. උතුරේත් සිදුවෙයි. රට පුරාමත් සිදු වෙයි. අපේ ජනතාව බුද්ධියට වඩා හදවත පාවිච්චි කරන බැවින් ඉහත ක්‍රියාවලියට අවශ්‍ය තෝතැන්න ඉ‍බේ ම සැකසෙයි. අපේ රටේ මීට අදාළ ගැටුම් තත්ත්වයක් නැතහොත් අසල්වැසි ඉන්දියාවෙන් හෝ අවස්ථාවක් නැතහොත් සිද්ධියක් උපුටාගැනීම ඉහත කී ලොක්කන්ගේ ඉලක්කය වී තිබේ.

යාපනය - බණ්ඩාරවෙල පෞද්ගලික බස් රථයක අත් බෝම්බයක් පිපිරී ගියේ පෙබරවාරි 20 දා ය. මෙය දීර්ඝ කාලයකට පසු රටේ පුරවැසියන් බලවත් කම්පනයකට පත් කළ සිද්ධියක් විය. තිස් අවුරුදු යුද්ධයේ නිමාවෙන් පසු බස් බෝම්බයක් පුපුරා ගිය පළමු අවස්ථාව එය විය. එය බස් බෝම්බයක් ලෙස හැඳින්වීම ද වැරැදි ය. සෙබළකු බෝම්බය රැගෙන’විත් තිබිණි. අද වන විට සිද්ධියට අදාළ බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇත. බෝම්බය රැගෙන ඒම සහ එය පාවිච්චි කිරීම මුළුමනින් ම පෞද්ගලික කාරණයක් මත රැඳී තිබේ. මෙය ත්‍රස්ත ක්‍රියාවක් නො වන වග පරීක්ෂණ තුනකින් හෙළිදරව් වී ඇත. එහෙත් මේ සිද්ධිය රටට ගියේ වෙනත් ආකාරයකට ය.

මෙබඳු සිද්ධියක ඇත්ත හෙළිදරව් වීමට ප්‍රථම ප්‍රබන්ධ කථා රාශියක් සමාජය වෙත ගලාඑයි. ඒවා ස්වාභාවික සන්නිවේදනයන් නො වන අතර හිතා - මතා සැලැසුම් සහගතව ගොතන ලද ප්‍රබන්ධ වේ. එක ප්‍රබන්ධයකින් කියැවුණේ කොටි ත්‍රස්තවාදය නැවත හිස ඔසවා ඇති බව ය. තව ප්‍රබන්ධයකින් කියැවුණේ තවත් බස් බෝම්බ පෙළක් පුපුරායෑමට නියමිත බව ය. තවත් ප්‍රබන්ධයකින් කියැවුණේ රජය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය නිසා කොටි නැවත ක්‍රියාත්මක වන බව ය. සංහිඳියාව ‍කෝ! ? සාමය කෝ ? වැනි විවේචන ද මේ අතර ඉදිරිපත් විය. සමාජ වෙබ් අඩවි මේ කාර්යයෙහි ලා සැලැකිය යුතු වැඩ කොටසක් ඉටුකර තිබිණි.

සිද්ධිය පිළිබඳ සම්පූර්ණ හෙළිදරව්වක් ප්‍රකාශ වී ඇත. සෙබළාගේ පවුලට වන්දි මුදලක් ලබා ගැනීම, ණය තුරුස්වලින් නිදහස් වීම වැනි සාධක හෙළිදරව්ව තුළ තිබේ. බෝම්බය රැගෙන ඒම සැලැසුම් සහගත ක්‍රියාවලියක් බව ද ඊට ඇත්තේ පෞද්ගලික ඉලක්කයක් බව ද ඉතා පැහැදිලිය. සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත් කළ අය දැන් නිහඬ ය. ඒ පමණක් නො ව; ජන මාධ්‍ය ඇත්ත සිද්ධියට ප්‍රචාරයක් ලබා දෙන බවක් ද පෙනෙන්නට නැත. ජාතිවාදයට හා ආගම්වාදයට ඇතැම් දේශපාලකයන් කෙතරම් ඇලුම් කරන්නේ ද යන්න ඉන් පැහැදිලි වේ. එලෙසම බොරු ප්‍රචාර මගින් ඇති කරන ලද උණුසුම හා භීතිය තව ම මුළුමනින් පහව ගොස් නැති බව ද සඳහන් කළ යුතු ය.

පසුගිය 26 දා අම්පාරේ දී ද තවත් මෙබඳු සිද්ධියක් ඇවිලී ගියේ ය. ඒ හෝටලයක ආහාර මුල් කරගෙන ය. එම ආහාරවලට ජාතියක් වඳභාවයට පත් කරන ඖෂධයක් මිශ්‍ර කරන බවට මතයක් පැතිරී ‍ෙගාස් තිබිණි. මෙය කාලයක සිට පවතින මිථ්‍යා විශ්වාසයකි. මෙබඳු මිථ්‍යා මත නිසා ද වැරැදි වැටහීම් නිසා ද අලුත්ගම ගැටුම් ඇති විය. බේරුවල ගැටුම් ඇතිවිය. ගිංතොට ගැටුම් ඇතිවිය. මාවනැල්ලේත් ගැටුම් ඇති විය. අම්පාර විනාඩි කිහිපයක් තුළ උණුසුම් වූ අතර හෝටලය ඇතුළු ‍ගොඩනැගිලි කිහිපයක් විනාශකර ඇත. සිද්ධස්ථානයකට ද ගිනි තබා ඇත. මේවා හුදෙකලා සිදුවීම් නො වේ. මේ පසුපස පැහැදිලි දේශපාලනයක් තිබේ. ඒ දේශපාලනය රටට කෙතරම් විනාශකාරී ද යන්න බොහෝ දෙනකුට වැටහී නැත.

දකුණේ ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශ නිසා ද, ක්‍රියාකාරකම් නිසාද; උතුරේ යළිත් ත්‍රස්තවාදයක් බිහිවීමට හොඳටම ඉඩ ඇති බව උතුර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම කියා සිටිති. එය අතිශයෝක්තියක් නො ව; යථාර්ථයකි. තිස් අවුරුදු යුද්ධය නිස‍ා විශේෂයෙන් උතුරේ ජීවිත කඩා වැටී තිබිණි. ඔවුන්ගේ දිගුකාලීන අපේක්ෂා සුන් වී තිබිණි. දැන් එහි ජනතාවගේ ඉල්ලීම වන්නේ ගරුත්වය, ආරක්ෂාව හා සැනසීම ලබා දෙනු යන්න ය. සෑම සමාජ කණ්ඩායමක් ම තම ගරුත්වය හා ආරක්ෂාව අපේක්ෂා කරති. එලෙස ම ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඉඩ - ප්‍රස්ථා ඉල්ලා සිටිති. ඒවා බලහත්කාරයෙන් බිඳ දැමීම ත්‍රස්තවාදයට මූල බීජ සපයන බව කිසිවිටෙකත් අමතක නො කළ යුතු ය.

මිනිසාගේ සමානාත්මතාව වෙනුවෙන් සටන් වැදුණු අපූරු තරුණියක් අපට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මුණ ගැසෙයි. ඇය විසිඑක් හැවිරිදි කෞශල්‍යයා ය. ඇය ශන්කර් නම් කුලහීන තරුණයෙක් හා විවාහ වෙති. ඇයගේ පියා දැඩි කුලවාදියකු වන අතර මැරයන් යොදා ශන්කර් ව මරා දමයි. කෞශල්‍යයා නීතියේ පිහිට සොයා ගොස් තම පියාට හා මැර පිරිසට දඬුවම් ලබා දෙයි. පියා එල්ලුම්ගසට නියම වී ඇත. තීන්දුවෙන් පසුව කෞශල්‍යයා කියා සිටියේ ජාතිවාදයට, කුලවාදයට වඩා මනුෂ්‍ය ජීවිතය හැම අතින් ම වටිනා බව ය. අපේ දේශපාලකයකුට හෝ මෙබඳු අදහසක් පහළ වන්නේ නැත. බොහෝ දෙනෙකුගේ ඔළු ගෙඩි පටු අදහස්වලින් පිරී ඇත.

ශ්‍රී ලංකාව මෑතක් වන තුරුම ප්‍රසිද්ධියට පත්ව තිබුණේ මානව හිමිකම් නොසලකා හැර ඇති මිනිස් නිදහස අහෝසි වූ අසාර්ථක රාජ්‍යයක් හැටියට ය. එය ‍ලෝකය පුරා බරපතළ චෝදනාවක් ලෙස ව්‍යාප්ත වී තිබිණි. මානව හිමිකම් කොමිසමේ ද නිර්දේශය මත අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන මධ්‍යස්ථානයක් පිහිටු වූයේ මේ තත්ත්වයට මුහුණ දීමේ යථාර්ථයක් හැටියට ය. මෑත කාලයේ අපේ රට මානව හිමිකම් සම්බන්ධයෙන් ගනු ලැබූ හොඳම තීරණයක් ලෙස එය සැලැකිය හැකි ය. එහෙත් දැන් ඊට ද විවේචන එල්ල වන්නට පටන් ගෙන තිබේ. එක විවේචනයකට අනුව මෙය රණවිරුවාට එරෙහි ක්‍රියාවලියකි. තව විවේචනයකට අනුව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් ඊට සුදුසු නැත. ජාතිවාදීහු මේ ආයතනය කඩාකප්පල් කිරීමට උත්සුක වෙති.

ජාතිවාදයේ හා ආගම්වාදයේ විනාශය තිස් අවුරුදු යුද්ධයෙන් වටහාගත හැකි ය. එහෙත් රටේ සමස්ත ජනතාව ඒ බව වටහාගත් බවක් පෙනෙන්නට නැත. රටේ තැන - තැනින් මතුවන ජාතිවාදී අවතාරවලින් පෙනී යන්නේ ද ඉහත කී සත්‍යයයි.

 

නව අදහස දක්වන්න