ඉරණවිල නොදුටු දේ | දිනමිණ

ඉරණවිල නොදුටු දේ

 ශ්‍රී ලංකාව තුළ දිනකට ළමා අපයෝජන 11ක් සිදුවන බව එක්තරා සමීක්ෂණයකින් ‍ෙහළිදරව් වී තිබේ. ඒ සමීක්ෂණයට හසුවන තරම ය. ඊට වඩා ළමා අපයෝජන ප්‍රමාණයක් රටේ සිදුවන බව විශ්වාස කළ හැකි ය. එහෙත් ඒවා හෙළිදරව් වන්නේ නැත. මේ අපයෝජන තුළ බරපතළ ඛේදවාචක තිබේ. සේයා දැරියගේ ඝාතනය, විද්‍යා නම් පාසල් දැරියගේ ඝාතනය හා ඉරණවිල නිර්මාල් නමැති පාසල් ශිෂ්‍යයාගේ ඝාතනයෙන් ද ඒ බව තහවුරු වෙයි. සාහසිකයා දරුවා ව දරුණු අපයෝජනයකට ලක් කරනවා පමණක් නොව; පසුව කුරිරු ඝාතනයකට ද ලක් කරයි.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයෙහි ප්‍රසිද්ධ පාසලක සිදු වූ ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීමකින් පසුව එරට සමාජය හා ශිෂ්‍ය ප්‍රජාවද අවදි වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ශිෂ්‍ය ප්‍රජාව අමෙරිකන් ආණ්ඩුවේ නීතියට එරෙහිව විරෝධතාවක නිරත වූහ. එරට බුද්ධිමතුන් ද නීතිය හා සදාචාරය ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට තුවක්කු පනත ගැන පමණක් නොව; අමෙරිකාවේ නිෂ්පාදනය වන ක්‍රියාදාම චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් ගැනද නැවත කල්පනා කරන තැනකට යොමු වී සිටී. අපට හැ‍ඟෙන පරිදි එය හොඳ ප්‍රවණතාවකි. එහෙත් අපේ රටේ එවැන්නක් දකින්නට නැත.

සේයා ඝාතනය සම්බන්ධයෙන් මුළු රටම අවදි වී සිටියෝ ය. නීතිය ගැනත් වරදකරුවාට ලබාදෙන දඬුවම ගැනත් මහජනයා උනන්දු වූහ. වැඩිකල් යෑමට පෙර එය සමාජය විසින් අමතක කර දමන ලදී. විද්‍යා ඝාතනයේ අපරාධකරුවනට මරණීය දණ්ඩනය නියම විය. එහෙත් ඒ ගැන ද ප්‍රබල සමාජ සංවාදයක් ඇති වූ බවක් පෙනෙන්නට නැත. සිද්ධියක් දුටු සැණෙන් නැඟී සිටින හා කම්පාවට පත්වන සමාජයක් අපට සිටිති. එහෙත් ඉන් ඔබ්බට ගමන්කොට සමාජය නිවැරැදි තැනකට ගෙන යා හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට කිසිවකුගේ දායකත්වයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. මෙය බරපතළ සමාජ ව්‍යසනයක් බව පෙනී යයි.

ඉරණවිල නිර්මාල් නම් ළමයා ගැනත්; එම ප්‍රදේශයේ කුලීවැඩ කරමින් නන්නත්තාර ජීවිතයක් ගත කළ මිනිසා ගැනත් බොහෝ තොරතුරු සමාජය දැන් හොඳ හැටි දනිති. නිර්මාල් නම් නව හැවිරිදි දරුවා අතිශය දරුණු ලිංගික අපයෝජනයකට ලක්ව පසුව ඝාතනය කර තිබේ. ඊට වගකිවයුත්තා කුලී වැඩකාරයා හෙවත් පොල්ගස් නගින්නා බව ද දැනගන්නට ලැබේ. සිද්ධියෙන් පසු අපරාධකාරයා ප්‍රදේශයෙන් පැන ගොස් මුලතිව් කලාපයේ ධීවර වාඩියක රැඳී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වේ. ඔහු විසින් කරන ලද පාපෝච්ඡාරණයට අනුව සියල්ල හෙළිදරව් වී ඇත. දැන් සිදුවිය යුත්තේ නීතිය ක්‍රියාත්මක වීම ය.

රටේ පවත්නා නීතිය ගැන ද, දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන ද මහජනයා තුළ ප්‍රසාදයක් නැති බව පෙනී යයි. දරුවාගේ මිත්තණිය සිහි නැතිවන තුරුම කෑ ගසා කියා සිටියේ අපරාධකාරයා අපට ලබා දෙනු යන්න ය. මේ සැකකරුවා මීට පෙර මෙබඳු අපයෝජන ක්‍රියා ගණනාවකට දඬුවම් ලබා ඇති බව ද මිනීමැරුමකට චෝදනා ලබා ඇති බව ද දැනගන්නට ලැබේ. ඔහු විසින් කරන ලද අපරාධවලට සුදුසුම දඬුවම් ලැබුණේ නම්; පුද්ගලයාට නිදහසේ හැසිරෙන්නට ඉඩක් නොලැබෙනු ඇත. ඔහු තවම සිටිය යුත්තේ මහ උළු ගෙදර ය. එහෙත් එවැන්නක් සිදු වී නැත. මහජනයා නීතිය සම්බන්ධයෙන් දක්වන ආකල්ප වැරැදි නැතැ’යි සිතන්නට පුළුවන.

ඉරණවිල සිද්ධිය දෙස විවෘත ඇසකින් බැලුවහොත් තවත් ගැටලු කිහිපයක් පැන නගී. එක; මාපියන් ගැනය නැතහොත් වැඩිහිටියන් ගැන ය. වැඩිහිටියන් තම දරුවන් සම්බන්ධයෙන් කරුණු කිහිපයකට වගකිව යුතුය. ආරක්ෂාව, පෝෂණය හා ඉගැන්වීම ඒ අතර ප්‍රධාන වෙයි. දරුවන් මේ මොහොතේ සිටින්නේ කොතැන ද යන්න ගැන වැටහීමක් මාපියන්ට තිබිය යුතුය. එය නොදන්නවා යනු දරුවන් ගැන ‍ෙනාසලකා හැරීමක් වන්නේ ය. මාපියන් පමණක් නොව; අසල්වැසි පුරවැසි සමාජය ද දරුවන් ගැන අවධානයකින් සිටිය යුතුය. පොල් කඩන්නා කැටුව යන නිර්මාල් කිහිප දෙනකු දැක තිබේ. එහෙත් ඒ කිසිවකු අවශ්‍ය පියවර ගෙන නැත.

ඉරණවිල සිද්ධියේ දී බොහෝ දෙනකු හැඟුම්බර ලෙස හැසිරෙනු අපට දකින්නට ලැබිණි. එහෙත් ඒවා ප්‍රතිඵලදායක දේවල් යැයි කිව නොහැකි ය. දරුවා ආරක්ෂා කිරීමට පියවර ගත යුතුව තිබුණේ මීට කලකට පෙර සිටය. සිද්ධියක් වූ පසු කැති-පොලු රැගෙන පාරට කඩා වැ‍ටීමත් පසුව පෙළපාලි පැවැත්වීමත් අපේ සිරිත බවට පත්ව තිබේ. එහෙත් ඒවායින් වැඩක් වන බවක් පෙනෙන්නට නැත. නිර්මාල්ගේ සිද්ධිය ඊට‍ හොඳම නිදසුනක් ලෙස ගත හැකි ය. වැඩිහිටියන් බුද්ධිමත් ලෙස ක්‍රියා කළේ නම්; නිර්මාල්ගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබිණි. අප ඒ ගැන නැවත - නැවතත් කල්පනා කළ යුතුය.

අපේ රටේ බොහෝ මිනිසුන්ගේ ඔළුගෙඩි නරක් වී ඇත. සිදුවන ලිංගික අපරාධවලින් ඒ බව මොනවට පැහැදිලි වෙයි. මෙලෙස අපරාධවලට යොමුවන අය නිත්‍ය ලෙස ම මානසික රෝගීන් බව හඳුන්වා දිය හැකි ය. මේ රෝගීන් සුවපත් කළ යුතුය. ඔවුනට ප්‍රතිකාර ලබා දිය යුතුය. වැදගත් ම කාර්යභාරය වන්නේ එබඳු පිරිස් හඳුනාගෙන පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ය. නිර්මාල්ගේ සිද්ධිය ගත්විට පෙනී යන්නේ අපේ සමාජයේ ඇතමකු තදබල මානසික රෝගවලින් පෙළෙන බවය. මේ අය සම්බන්ධයෙන් සොයන අය මීට හේතු සාධක පෙන්වා දිය යුතුය. 

 


නව අදහස දක්වන්න

Or log in with...