‘තුන්දෙනෙක්’ HER, HIM, THE OTHER | දිනමිණ

‘තුන්දෙනෙක්’ HER, HIM, THE OTHER

ප්‍රසන්න, විමුක්ති, හඳගම ලාංකේය සිනමාකරුවන් ත්‍රිත්වය මේ වසරේ යම් පුවතක් දැනගන්නට සැලැස්වූයේ විශේෂත්වයක් සහිතවය. බොහෝ විට දීර්ඝ අභ්‍යාසයන්ගෙන් පසුව සිනමා කෘතියක් වෙනුවෙන් කැප වන මේ සිනමාකරුවන් ත්‍රිත්වය විවිධ වකවානු වල විවිධ සිනමා කෘති තනා ලෝකයට ඉදිරිපත් කරයි. විශාල කාලයක් වැය කරමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරනුවේ ජාත්‍යන්තරයේද ඇගයීමට පත්වී බොහෝ කලකට පසුය. ඒ 2015 වසරේදීය. අශෝක හඳගම සිය රැකියාවෙන් වෙන් කොට ගත් කාලයෙන් ‘ඇගේ ඇස අග’ තනා ඉදිරිපත් කළේ 2016 වසරේදීය. විමුක්ති ජයසුන්දර ද බොහෝ කලකට පසු සිනමාවේ නිහඬතාවය බින්දේද ඒ වකවානුවේමය. ඒ ‘සුළඟ ගිනි අරන්’ චිත්‍රපටය සමඟිනි.

ඒ අනුව චිත්‍රපට තනා ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට දැමීම සම්බන්දයෙන් වූ ඔවුන්ගේම රිද්මයන් යම් වෙනසකට භාජනය කරමින් ඔවුන් මෙවර එක්වුනේ තනි වැඩකට අත ගසන්නටය. තවත් විස්තර කරන්නේ නම් ප්‍රසන්න, විමුක්ති, හඳගම ත්‍රිත්වය එකට එක්වී එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ කාර්යකට ඔවුහු අත ගැසුවෝය. එම කාර්ය ඔවුන් සාර්ථකව නිම කර මහජන හිමිකාරිත්වයට ලක් කරන්නට සැදී පැහැදී සිටී.

මෙහි අදහස එන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුලිකත්වය දරන ජාතික සංහිඳියා සහ ප්‍රතිසන්දානය පිලිබඳ කාර්යාලයේ ප්‍රධාන කර්තව්‍යන්ගෙන් එකක් හැටියටය. ජාතික සංහිඳියාව සඳහා කලාවෙන් යම් කාර්යක් සිද්ද කිරීමට මේ ත්‍රිත්වයට භාර වන්නේ ඒ කර්තව්‍යන්ට සහයක් වනු පිණිසය.

මෙම චිත්‍රපටයේ නම ‘තුන්දෙනෙක්’. දමිල භාෂාවෙන් ‘මූවර්’ යනුවෙන් නම් වෙන අතර ඉංග්‍රීසි භාෂාවෙන් එය නම් වන්නේ HER, HIM, THE OTHER’ යනුවෙනි. ඒ අනුව ‘ඇගේ’ කොටස ප්‍රසන්න විතානගේ ත් ‘ඔහුගේ’ කොටස විමුක්ති ජයසුන්දරත් ‘අනෙකා’ ගේ කොටස අශෝක හඳගමත් නිර්මාණය කොට ඇත. මෙම කොටස් තුනම 2009 වසරේ යුද්දය අවසන් වීමෙන් පසු රටේ ජනයාගේ පශ්චාත් හැසිරීම් සියුම් ලෙස ග්‍රහණය කොට ගත්තක් බව නිශ්චය කර ගත හැකිය. එයින් වඩ වඩාත් ජාතින් අතර ඒකාබද්දතාවය වෙනුවෙන් ජනයාගේ හැසිරීම් කැපකිරීම් ආකල්ප වැනි දේද විග්‍රහ කරගත හැකි වනු ඇත.

චිත්‍රපටය පෙබරවාරි 27 වනදා කොළඹ රීගල් සිනමාශාලාවේදී සම්භාව්‍ය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වන ලදී. ඒ අනුව නුදුරේදීම චිත්‍රපටය ශාලා කරා එනු ඇත. චිත්‍රපටයෙන් මතු කරන අදහස් නැණ පමණින් ග්‍රහණය කිරීම ප්‍රේක්ෂකයාට බාර කරමින් අපි තුන්දෙනෙක් ගැන යම් අදහසක් ගැනීමට අධ්‍යක්ෂ ත්‍රිත්වයට යම් පොදු ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළෙමු. ඉන් චිත්‍රපටය සඳහා පාදක වුණු කාරණා මතු කරගැනීමේ අදහස ඇතිවය. ඒවා නම්..

1. ශ්‍රි ලංකාවේ පවතින සංහිඳියාව ගැන දරන පුද්ගලික මතය කුමක්ද?

2. ‘තුන්දෙනෙක්’ ප්‍රචාරනවාදී චිත්‍රපටයක්ද?

3. තිදෙනෙක් එක් තේමාවකට වැඩ කොට කොටස් තුනක් තනි චිත්‍රපටයක් බවට පත් කිරීම කිනම් ආකාරයේ අත්දැකීමක්ද?

4. සංහිඳියාව ගැන රටේ සාමාන්‍ය ජනතාව දරන තක්සේරුව ගැන පුද්ගලික අදහස කුමක්ද?

5. චිත්‍රපටය ළඟා විය යුත්තේ කිනම් ප්‍රේක්ෂකාගාරයකටද?


ලංකාවේ ජාතින් අතර සංහිඳියාවක් නැහැ

l ප්‍රසන්න විතානගේ

මුලින්ම මේ ගැන අදහස දක්වන්නේ ‘HER’ එනම් ‘ඇය’ ගැන කොටස ලියා අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ ය.

1. ඇත්තටම ඔබ ඔය ඇහුවේ ලංකාවේ නැතිම දේ ගැනනේ. මම කියන්නේ ලංකාවේ ජාතින් අතර සංහිඳියාවක් නැහැ. හැමදාම අපිට පෙනෙනවා අළු යට ගිනි පුපුරු තිබෙන බව. ජාතිවාදය පැත්ත ගන්න දේශපාලඥයෝ ප්‍රතිසන්ධානයකට වඩා ජනතාව බෙදා වෙන් කරන්නයි හදන්නේ.

2. මම අධ්‍යක්ෂණය කරපු ‘ඈ’ කොටසට බර වෙලා කතා කරන්නම්කෝ. ඇත්තටම මේ චිත්‍රපටය මතවාදී එකකුත් නෙවෙයි. ප්‍රචාරනවාදී එකකුත් නෙවෙයි. මට අහන්න ලැබුණා උතුරේ සිනමාකරුවකුගේ මානුෂික අත්දැකීමක්. ඒ අත්දැකීම මට කිව්වම මම සසල වුණා. මට අවශ්‍ය වුණේ ඔහුගේ එම අත්දැකීම පදනම් කරගෙන ඔහුගේ කතාව කියන්නයි.

3. මෙතන තිබුණේ දෘෂ්ටීන් 3ක්. මට ලැබුණු පළමු අත්දැකීම තමයි මේ උතුරේ සිනමාකරුවාගේ කතාව දකුණට කියන්න ලැබීම. දෙවෙනි අත්දැකීම තමයි යාපනයේ උද්‍යානයකට රැස් වෙලා අංකුර සිනමාකරුවන් 25ක් සමඟ එක විට කතා බහ කරලා කතාව විකාශය විය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම. තුන් වැන්න තමයි අපේ අනෙකාව සමස්තයක් හැටියට දකින්න අවස්ථාව ලැබීම. එය වඩ වඩාත් බිම් මට්ටමෙන් උතුරේත් දකුණේත් දකිනවා සමස්තයක් හැටියට.

4. අපේ රටේ ජනයා මේ ආකාරයෙන් බෙදා වෙන් කලේ සුදු අධිරාජ්‍යවාදීන්. ඔවුන්ගේ ප්‍රතිපත්තියම තමයි බෙදා වෙන් කොට පාලනය කිරීම. මෙයින් සිද්ද වුණේ ජාතින් අතර වෛරය ඔඩු දිවීම. නිදහසෙන් පස්සේ පාලකයන් විසින් බලය සඳහා ජාතිවාදය ඇවිලුවා. ඔය සම්බන්දයෙන් අපිට ගන්න පුළුවන් ළඟම උදාහරණය තමයි අම්පාරේ සිද්දිය. මෙවන් සිද්දීන්ට එරෙහිව තරුණයෝ අද ගොඩක් ක්‍රියාකරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් පාවිච්චි කරමින්. මේ සමාජයේ බොහෝ දෙනා ජාතීන්ගේ සමාන බව පිලිගන්නවා. ඒ වෙනුවෙන් ජීවිතයත් පරිත්‍යාග කරපු බොහෝ අය ඉන්නවා.

5. ශ්‍රි ලාංකිකයෝ ඉන්නේ කොතැනද එතනට චිත්‍රපටය යා යුතුයි. කමතට, පල්ලියට, පාසලට, ගෙදරට, දුරකතනයට මේ චිත්‍රපටය ආ යුතුයි.


බෙදෙන්න පුරුදු කරන්නේ අධ්‍යාපනයෙන්

l විමුක්ති ජයසුන්දර

චිත්‍රපටයේ ‘HIM’ හෙවත් ‘ඔහුගේ’ කතාව රචනය කොට අධ්‍යක්ෂණය කලේ විමුක්ති ජයසුන්දර යි. මෙකී නිශ්චිත ප්‍රශ්න කිහිපයට ඔහු ලබා දුන් අදහස් මෙසේය.

1. සංහිඳියාව කියන්නේ නිකං ශ්‍රාස්ත්‍රීය වචනයක්. ඒකෙ ශ්‍රාස්ත්‍රීය අරුත් නිසාම මිනිස්සු ඒකට ලොකු තැනක් දෙන්නේ නැහැ. ඒ නිසාම සංහිඳියාව කියන වචනය ශ්‍රාස්ත්‍රීය එකක් ලෙස හුදකලාව පවතිනවා. ඒ නිසා ජනසමාජය තුලින් එයට එන අදහස තමයි නියම අර්ථය ලෙස සලකන්න වෙන්නේ. සමාජයක් හැටියට ඒ පිලිබඳ යම් අපේක්ෂාවන් තියෙනවා. නමුත් ඒවා තවම ජනගත වෙලා නැහැ.

2. මේකේ කිසිම ප්‍රචාරනවාදී ලක්ෂණයක් නැහැ. මෙය ප්‍රචාරනවාදී නම් විය යුත්තේ මෙයට මුදල් වියදම් කරන කෙනාගේ අදහස් මතු වීමනේ. නමුත් ඒ වගේ දෙයක් මෙයින් සිද්ද වෙලා නැහැ. ප්‍රචරනවාදී නම් විය යුත්තේ ගැටලුවක් ගෙන එහි අවසාන ඉලක්කයක් සකසා විසඳුමක් යෝජනා කිරීමනේ. නමුත් එහෙම එකක් මෙතන නැහැ. අපි ප්‍රශ්නයක් ගෙන ඒ ප්‍රශ්නේ ගැනම කියනවා. ඒකෙ ඇතුලේ තියෙන සාමාන්‍ය ගැටලුව මතු කරනවා.

3. ඒ අත්දැකීම අලුත් එකක්. තුන්දෙනෙක් අන්‍යයෝන්ය ලෙස බැඳිලා තුන් දෙනෙක් හැදුව. අනෙක් දෙදෙනා ප්‍රවීණයි. සහ ඒ අය මගේ ඉහල පරම්පරාවේ. අපි මීට ඉහත ජනවාර්ගික ප්‍රශ්නය ගැන සිනමාවෙන් කතා කළා. ඒවා ලෝකෙට ගෙනිච්චා. ඒත් එක්කම මේ මොහොතේ රටේ දේශපාලන ගැටලු අපිව එක තැනකට ගෙනාවා. මේක අපිට තවත් අවස්ථාවක්.

4. ජනවර්ග වල ප්‍රතිවිරෝධතා හැමදාම තියෙනවා. ඒවා මිනිස් ලෝකෙන් බැහැර කරන්න කොහෙත්ම බැහැ. අපිට කරන්න පුළුවන් දේ තමා සාමුහිකව ජිවත් වීම සඳහා යම් අවබෝධත්වයකට පැමිණීම සහ ඒ වෙනුවෙන් මනස සකස් කරගැනීම. අනික මම හිතන්නේ නැහැ මේක ජනතාවගේ ප්‍රශ්නයක් කියලා. මේක දේශපාලකයින් ජනතාවට දීපු ප්‍රශ්නයක්. ජනසමාජයේ මේ විදිහට ගහල තියෙන බෙදුම් රේඛා උඩ තමයි මේ පක්ෂ නඩත්තු වෙන්නේ. ඉතින් අපි ඒ අයටම කියනවා ඒවා නැති කරන්න කියලා.

5. සියලුම වර්ගයේ මනුෂ්‍යයින් මේක බැලිය යුතුයි. ජීවිතය ගැන යම් අදහසක් තියෙන හැමෝම මෙය බලනවනන් වටිනවා. ඒ ජාතියේ අදහසක් තියෙන අය ඉන්නේ කොහේද අපි එතනට යා යුතුයි. ළමයා කියන කෙනාට මේක ගොඩක් වටිනවා. මොකද ළමයට බෙදෙන්න උගන්වන්නේ පාසලෙන්. අධ්‍යාපනයෙන්. ඒ වගේම බිම් මට්ටමෙන් සම තැනකම මේ ගැන ප්‍රචාරය විය යුතුයි.


මේක ටිකක් රිදෙන වැඩක්

l අශෝක හඳගම

තුන්දෙනෙක් චිත්‍රපටයේ ‘THE OTHER’ හෙවත් අවසාන භාගය අනෙකා ගැන රචනය කොට අධ්‍යක්ෂණය කරන්නේ අශෝක හඳගම යි. ඒ වෙනුවෙන් ඔහු දක්වන ලද අදහසයි මේ.

1. මේ වචනය ඉතින් අවභාවිත වෙලානේ. මේක නිකං හුදු තේරුමක් නැති වචනයක් පමණක් වෙලා. සංහිඳියාව වචනය භාවිත කරලා ගොඩක් වැඩ කෙරුනට ඇත්ත වැඩ වෙලා නැහැ ලංකාවේ.

2. අපි සෞන්දර්ය කියලා මෙහෙම දෙයක් දැක්කානේ. සිංහල දෙමළ මුස්ලිම් අය සින්දුවක් කියමින් ඉඳල අත් පටලාගෙන සමගියෙන් යන තාලේ දේවල්. නමුත් යුද්දයෙන් පස්සේ බෙදුණු මිනිස්සු එකතු කරගන්නවා කියන්නේ ඔය තරම් ලස්සන වැඩක් නෙවෙයි. මොකද යුද්දය නිසා ඇති වුණු තුවාල තවම හොඳ නැහැ. ඒවා හොඳ කරගන්න දේශපාලනිකව උත්සහයක් දරන බවත් පේන්නත් නැහැ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ රජයෙන් වුනාට මේක අපිට අපේ මතය කියන්න වේදිකාවක් බවට පත් කරගත්තා. ඒ සඳහා අපට නිදහස ලැබිය යුතුයි. මේක ප්‍රචාරනවාදී නෙවෙයි. නමුත් සංවාදය අලුතෙන් හැදෙනවා. මොකද මේ විදිහට මේ ගැන කියන එක ටිකක් වේදනාකාරියි.

3. ඇත්තටම කලින් කතා බහ තිබුණේ තුන් දෙනා චිත්‍රපට 3ක් කරන්න. නමුත් අපි එක චිත්‍රපටයක් කරන්න එකඟත්වයකට ආවා. සංහිඳියාව කියන මේ ක්‍රියාවලිය ඇනහිටියේ ඇයි ද කියන එක කතා කරන්න එක තේමාවක් සහ විවිධ අත්දැකීම් 3ක් අපි චිත්‍රපටයට භාවිතා කළා. ඒ සඳහා අපි එක රිද්මයක් පවත්වාගෙන යන්න උත්සහ කළා.

4. රටේ නැඹුරුව තියෙන්නේ දේශපාලනිකව බෙදා වෙන් කිරීමනේ. බොහෝ විට වෙන්නේ දේශපාලකයින් ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්න එක. හොඳින් බලන්න පහුගිය කාලේ වෙච්ච අම්පාරේ සිද්දිය. කොළඹදී යම් කිසි හෝටලයක කෑම වල යමක් මිශ්‍ර වෙලා නම් එක හෝටල් හිමියාත් එක්ක බැන ගැනීමකින් හෝ පාරිභෝගික අධිකාරියෙන් නීතිය ක්‍රියාත්මක කරලා ඒක විසඳෙනවා. නමුත් අම්පාරේදී ඒක වෙන්නේ නැහැ. එහෙදි ඒක මුස්ලිම් ප්‍රශ්නයක් වෙනවා. නීති කියන ඒවා එතනට බලනොපා යනවා. මේ වගේ චිත්‍රපට හරහා මේ තත්වයන් මග හැරෙන්නේ නැහැ. නමුත් කතිකාවතක් ඒවි. මිනිස්සුන්ව බෙදන්න ලේසියි. නමුත් එකතු කරන්නයි අමාරු.

5. පුළුවන් තරම් සාමාන්‍ය ජනතාව මේක බලන්න ඕනෑ. මොකද ඔවුන්ට විතරයි ආණ්ඩු වලට බලපෑම් කරන්න පුළුවන්.

තුන්දෙනෙක් ගැන තුන්දෙනා පවසන්නේ එබඳු දෙයක්ය.

චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂවරුන් ලෙස එම්.ඩී. මහින්දපාල , ඊශිත් නරායින් සහ චන්න දේශප්‍රිය එක් වූ අතර සංස්කරණ ශිල්පීන් ලෙස ශ්‍රීකර් ප්‍රසාද් , සමන් ඇල්විටිගල සමඟින් රවීන්ද්‍ර ගුරුගේ එක් වී ඇත.

සංවාදය
ෂෙනාල් එරාන් ජයසේකර 

නව අදහස දක්වන්න