තෙල්දෙණිය! | දිනමිණ

තෙල්දෙණිය!

මහනුවර තෙල්දෙණියේ සිද්ධියෙන් ප්‍රකාශයට පත්වන්නේ අපේ සමාජය කොයි තරමකට ප්‍රාථමිකද යන්න ය. වාහනයක් තවත් වාහනයකට ඉස්සර කිරීම පවා ජාතිවාදයට සම්බන්ධය. ආගම්වාදයට ද සම්බන්ධ ය. කොටින්ම එක සමාජයක් උසස් බවද තව සමාජයක් ඊට වඩා පහත් බව ද සමහරු තර්ක කරති. එහි ම අනෙක් අර්ථයක් වන්නේ සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට ඒ - ඒ සමාජ කොට්ඨාස දරන වෑයම ය. එක අතෙකින් මේවාට ඉඩ දිය යුතුය. තව අතෙකින් මේවා පාලනය කළ යුතුය. එසේ නොවුණහොත් සමාජයක් හැටියට ඉදිරියට යෑමේ හැකියාව අප වෙතින් ගිලිහී යනු ඇත.

රටේ විවිධ පළාත්වලින් ජාතිවාදයට හා ආගම්වාදයට සම්බන්ධ සිදුවීම් වාර්තා වෙයි. මෑත කාලීන ඉතිහාසය ගතහොත් අලුත්ගම, බේරුවල, ගිංතොට යනාදී ප්‍රදේශවලින් ඒවා වාර්තා වී තිබිණි. මේ සිදුවීම් පසුපස ඇති යථාර්ථය හෙළිදරව් කරගන්නා විට පැහැදිලි වන්නේ ජාතිය හා ආගම පදනම්කොට සිය අනන්‍යතාව හා ගෞරවය ආරක්ෂා කරගැනීමට දරන වෑයමකි. ඇතැම් විට මේ වෑයම ප්‍රාථමික තත්ත්වය දක්වා පහළ බසී. ගැටුම් ඇති වන්නේ එවිට ය. මෙය නතර කොට මිනිස් සමාජය සාධාරණත්වය හා සමානාත්මතාව කරා ගෙන යා යුතුය. එය පහසු කාරණයක්ද නොවේ.

ශ්‍රී ලංකාව ජාතිවාදී කලබල ඇති රටක් හැටියට ද ආගම්වාදී ගැටුම් ඇති රටක් හැටියටද කුප්‍රකට ය. මේ ගැටුම් ඇති කරනු ලබන සංවිධාන රැසක් ද රටේ පවතී. ඒවා තහනම් කිරීමට හෝ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ රජය උත්සුක වී නැත. රජයේ කාර්යභාරය වී ඇත්තේ ගැටුමක් ඇති වූ පසු ඒ ගැන විමර්ශනය කිරීම ය. ඊට පෙර ගැටුමට අදාළ මූලික සාධක හා පසුබිම විමර්ශනය කිරීමට රජය උත්සුක වන්නේ නැත. සාමය සඳහා ද ජාතීන් අතර සහයෝගීතාව සඳහාද පෙනී සිටින ආයතන ද ඉහත කී කාරණය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. එයින් පෙනී යන්නේ ගැටුම්වලට අදාළ ඇත්ත හේතු - සාධක කිසිවකු නිරීක්ෂණයට ලක් නොකරන බව ය.

මේවා පසුපස බරපතළ දේශපාලනයක් ද තිබේ. අප දන්නා හැටියට ඇතැම් දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ ජාතිවාදය හා ආගම්වාදය පෙරමුණෙහි තබාගෙනය. මෙය කෙතරම් බලවත්ද යත්; දකුණේ සිංහල සමාජය තුළ භීතිකාවක් පවතී. එම භීතිකාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව තුළ නැවත දෙමළ ත්‍රස්තවාදය හිස ඔසවන බව ය. නැවත ත්‍රස්ත ක්‍රියා ආරම්භ වන බව ය. දියතලාවේ ඇතිවූ බෝම්බ පිපිරීමත් එයට පාදක කර ගත්තේ ය. ඒවා දේශපාලනයට අදාළ හොඳම සාධක ලෙස පවතී. මේවා සමාජය විසින් විග්‍රහ කරගනු ලබන ක්‍රමය ඉතා වැරැදිය.

යාපනයේ සිට බණ්ඩාරවෙල නැතහොත් දියතලාව වෙත ගමන් කරන පෞද්ගලික බස් රථය කිසිදු අයුරකින් ජාතිවාදයට සම්බන්ධ නැත. ආගම්වාදයට ද සම්බන්ධ නැත. එහෙත් යාපනයේ සේවයේ නියුතු හමුදා සෙබළෙක් එම බස් රථයේ බෝම්බයක් රැගෙන ආවේය. එම බෝම්බය රැගෙන’විත් ඇත්තේ තනිකරම පෞද්ගලික හේතුවක් මතය. පරීක්ෂණවලින් එය හොඳහැටි පැහැදිලි වී ඇත. බෝම්බය පුපුරා ගියේ ය. දහනව දෙනෙක් තුවාල ලැබූහ. මේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන්නට දේශපාලන පක්ෂ උනන්දු වූහ. එහි යටි අර්ථය වන්නේ ජාතිවාදය මතුකොට තම බලය තහවුරු කරගැනීම ය.

දියතලාවේ සිද්ධිය මුළුමනින්ම පාහේ පෞද්ගලිකය. තෙල්දෙණියේ සිද්ධියද මුළුමනින්ම පෞද්ගලිකය. පෞද්ගලික කාරණා මත ජාතිය සම්බන්ධ පොදු තීරණ ගත නොහැකි ය. අවම ලෙස එම තත්ත්වය හෝ පොදු සමාජය තේරුම් ගන්නේ නම් වැදගත්ය. පොදු සමාජය යම් පමණකට හෝ බුද්ධිමත් නොවන්නේ නම්; රටක් නිවැරැදි හා සාධාරණ තැනක් වෙත ගෙන යෑම අපහසු ය. එය අවංක අදහසක් නම් අප විසින් පිළිගත යුතුව තිබේ.

පාරේ ගමන් කරන වාහනයකට තවත් වාහනයක් ඉස්සර කිරීම සාමාන්‍ය සිද්ධියකි. මහ පාරේදී එය ඕනෑ තරම් සිදුවේ. තෙල්දෙණියේ සිද්ධියට පසුව මූලික වන්නේ වාහනයක් ඉස්සර කිරීම පිළිබඳ ගැටලුවකි. බුද්ධිමත් ලෙස නිරීක්ෂණය කළහොත් මේ දෙපිරිසම අන්තිම මෝඩයෝ වෙති. වාහනයක් තවත් වාහනයකට ඉස්සර කිරීම සාමාන්‍ය සිද්ධියකි. ජාතියක් තවත් ජාතියකට ඉස්සර කිරීමක් එයින් අදහස් වන්නේ නැත. පාරේ වාහන ගමනාගමනය තුළ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ තරගයක් ද තිබිය යුතු නැත. එහෙත් අපේ සමාජය දැන් යන්නේ එතැනටය.

දකුණු අප්‍රිකාව වර්ගවාදී ගැටුම්වලට ඉතා ප්‍රකට රාජ්‍යයෙකි. එහි සුදු ජාතිකයන් හා කළු ජාතිකයන් අතර ගැටුම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබිණි. එහෙත් අද එවැන්නක් නැත. අද දකුණු අප්‍රිකාවේ ප්‍රබල ගැටුම බවට පත්ව ඇත්තේ රාජ්‍ය නායකයන් රටේ සම්පත් කොල්ලකෑමය. දකුණු අප්‍රිකාවේ ජාතින් අතර සාමය හා සහයෝගීතාව ඇති කිරීම සඳහා ප්‍රමුඛ රාජකාරියක් ඉටු කළේ නෙල්සන් මැන්ඩෙලා ය. ඔහු ජාතිවාදය හිසට ගත් කළු ජාතිකයන්ට ද දඬුවම් කළේ ය. ජාතීන් අතර සමානාත්මතාව ඇති කිරීම සඳහා නීතිය ද වෙනස් කළේ ය.

ශ්‍රී ලංකාවේ අපට ද අලුත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙයි. එම ප්‍රතිසංස්කරණ නීතිය, සම්ප්‍රදාය ආදී ක්ෂේත්‍රවල සිදුවිය යුතුය. ජාතිවාදය ද ආගම්වාදය ද වැළකිය හැකි හොඳම ක්‍රමය වන්නේ සාධාරණ හා යුක්ති සහගත නීති ක්‍රමයක් තහවුරු කිරීම ය.


නව අදහස දක්වන්න

Or log in with...