අන්දරේලා ඉන්න රටක සන්නිවේදනය | දිනමිණ

අන්දරේලා ඉන්න රටක සන්නිවේදනය

අන්දරේ රජවාසල කවටයා ය. ඔහුගේ කාර්යය වනුයේ රජු ඇතුළු රාජ සභාව හිනැස්වීමයි. මේ නිසා අන්දරේ කියන දේවල් සීරියස් ගන්නා අයෙකු නැත. ඒ වගේ ම අන්දරේ ලවා බැරෑරුම් කාර්යයන් කරවා ගැනීමට යාමෙන් සිදු වනුයේ ද අවුලක් බව අමුතුවෙන් කිව යුතු නැත.

 රජතුමාගේ කුඹුර සී සෑම සඳහා හරකුන්ට කීම අන්දරේට භාර දෙන විට රජතුමාට එක වරක් නොව කිහිප වරක් සිතන්නට තිබුණු බව පසක් වන්නට ඇත්තේ සී සෑම සඳහා හරකුන් නොපැමිණි විට ය. හරකුන්ට පමණක් සීසෑමට ඒමට කීමට තරම් අන්දරේ මෝඩයෙක් නොවූවද කවටකමක් කිරීමට ඕනෑම අවස්ථාවක් භාවිත කීරිමට අන්දරේ පසුබට නොවී ය. අන්දරේ අනෙක් විකටයින්ගෙන් වෙනස් වන්නේ මේ නිසාවෙනි. නොවැදගත් දේ සේ ම වැදගත් දේ පවා අන්දරේ විහිළුවට ගත් බැවින් සමහර විට රාජ උදහසට පවා ලක් වූ බව අපි දනිමු.

සන්නිවේදනය, මෙතෙක් මානව වර්ගයා විසින් සොයාගත් මානව ප්‍රගමනයේ තීරක බලවේගයයි. ගල් ගුහාවල අඳිනු ලැබු රූපසටහන්වල සිට සිලිකන් චීපයක ගබඩා කර ප්‍රයෝජනයට ගත හැකි ලෙස දැනුම සංවර්ධනයටත් ඒ දැනුම තුළින් ම සන්නිවේදන හැකියාවන් දියුණු කරගැනීමටත් මානවයාට හැකි වූ නිසා අද දවස වන විට ලෝකය අපගේ ඇඟිලි තුඩක දුරින් තිබෙන, අතේ ඇති නෙල්ලි ගෙඩියක් බවට පත්වෙමින් තිබේ.

මෙහි අවසානයක් හෝ ඉදිරි වසර දහය තුළ සිදුවිය හැකි දේ පිළිබඳව අනාවැකි කීමට තරම් කාලයක් හෝ අවස්ථාවක් සන්නිවේදන තාක්ෂණයේ දියුණුව විසින් අපට දී නැත. එබැවින් ඕනෑම දෙයක් සිදු විය හැකි ය යන්න පමණක් අනාවැකියක් ලෙස පැවසිය හැකියි. සන්නිවේදන තාක්ෂණය දියුණු වීමට සාපේක්ෂව සන්නිවේදන අවශ්‍යතා මෙන් ම සන්නිවේදනය තුළින් ඉටු කරගන්නා කාර්යයන් ද බහුල වී ඇත. මේ නිසා විදේශීය රටක සාප්පු සවාරියකින් පසු භාණ්ඩ ඇණවුම් කිරීමේ සිට දවසේ නොයෙකුත් කාර්යන් පහසු කර ගැනීමට සන්නිවේදන තාක්ෂණය භාවිත කරනු දැකිය හැකියි. විවධ සංවිධාන, ආයතන නවීන සංන්නි

වේදන තාක්ෂණය තම පාරිභෝගිකයින්ට උසස් සේවාවක් ලබා දීම සඳහා භාවිත සුලභ කරුණක් වන අතර මේ තුළින් කාලයත් මුදලුත් ඉතිරි කරගනිමින් උසස් සේවාවක් ලබා දීමට හැකි වීම සේවා දායකයාට මෙන්ම ආයතනයට ද පහසුවක් වේ. මේ නිසා පෞද්ගලික අංශය සෑම විට ම නවීන තාක්ෂණය තම කාර්යාලවලට පමණක් නොව සේවකයින්ට ද ලබා දෙමින්, ආයතනික දියුණුව උදාකර ගැනීමටත් තරගකාරී ලෙස සේවාවන් සහ නිෂ්පාදන අලෙවි කිරීමටත් හැකියාව ලබා ගනිමින් සිටී.

රජයේ කාර්යාලවලට වැඩක් කරගැනීමට යන බොහෝ දෙනෙකුට නිරන්තරයෙන් අසන්නට ලැබෙන උත්තර කිහිපයක් ඇත. "තාම ලියුම ඇවිල්ලා නෑ","අනුමත කරලා නෑ","ඉහළින් කියනවා නම් කරන්න පුළුවන්","තාම ෆයිල් එක මේසෙට ආවේ නෑ","අනිත් පැත්තේ කාමරෙන් පොඩ්ඩක් අහන්න".... රටක් සංවර්ධනය කරා යද්දී අප කොතරම් අකමැති වුවද රාජ්‍ය අංශයේ දායකත්වය අනිවාර්ය වේ. පෞද්ගලික අංශය පවා ක්‍රියාත්මක වනුයේ රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය මත බැවින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සෘජුවම රටක් සංවර්ධනයට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව සෘජුවම සන්නිවේදනය මත ගොඩනැඟීමට නූතන යුගයේ තාක්ෂණික හැකියාව විසින් ඉඩ හසර ලබා දී තිබියදී අපගේ රාජ්‍ය සේවය ලෝකයේ දියුණුවට සාපේක්ෂව වසර තිහ හතළිහකින් පිටුපසින් තිබීම කනගාටුදායක ය. සංවර්ධනය වෙනුවෙන් හාමතේ සිටින අප වැනි රටවල් සිදු කළ යුත්තේ හැකි ඉක්මනින් සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශය නවීකරණය කරමින් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි දියුණු කරගැනීම වුවද අප කරමින් සිටින්නේ යල් පැන ගිය ක්‍රමවේදයන් ආරක්ෂා කිරීමකි. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ ඇති බව ඔබගේ අත්දැකීම් පසක් කරනු ඇත.

ලෝකයේ කවර තැනක හෝ අසාර්ථක වන ව්‍යපෘතිවලින් 28% ක් අසාර්ථක වන්නේ සන්නිවේදනයේ ගැටලු නිසා බව සොයාගෙන ඇත. ඒ අනුව සන්නිවේදනය සඳහා තැබිය යුතු බර ව්‍යාපෘතිය තුළ ම අඩංගු කිරීමට ව්‍යාපෘති සැලැස්ම සමඟ සන්නිවේදන සැලසුමක් ද සකස් කිරීමට බොහෝ දියුණු රටවල් උත්සාහ ගනී. මෙමඟින් අපේක්ෂා කරනුයේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සන්නිවේදනය භාවිත කිරීමයි.

ලංකාවේ දකුණු පළාතේ තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සිට මාතර කලාප කාර්යාලය දක්වා ඇත්තේ කිලෝමීටර් තිහක් තිස් පහක් පමණ දුරකි. පෞද්ගලික ලිපි ගොනුවක්, එකිනෙකට මායිම් වූ තංගල්ල කලාපයේ සිට මාතර කලාපයට යැවීම අවුරුද්දක් නැතහොත් දින 365ක් නැත්හොත් පැය 8760ක් ගත වී ඇතත් සිදු වී නැත. එසේ ම 2008 වසරේ ලැබිය යුතු වූ උසස්වීම් 2018 වන තෙක් වසර දහයක් ගත වී ඇතත් ලබා දී නැත. මේ ලංකාවේ පුරවැසියන් වෙනස් කිරීම වෙනුවෙන් ක්‍රියා කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක් උදාහරණයක් පමණි. මෙවැනි උදාහරණ සිය දහස් ගණන් තිබෙන රටක්, සංවර්ධනය වීම තබා ඒ ගැන සිතීමටවත් හැකි දැයි නැවත නැවතත් ප්‍රශ්න කළ යුතු ය.

තාක්ෂණය මිනිසුන් දියුණු කරමින් සිටිනුයේ වැඩ පහසු කර ගැනීමටයි. එසේ ම සන්නිවේදනය දියුණු කරමින් සිටිනුයේ මිනිසුන් අතර සබඳතා වර්ධනය කර ගැනීමටයි. සන්නිවේදන තාක්ෂණය දියුණු වෙමින් පවතිනුයේ මිනිස් සබඳතා තහවුරු කර ගනිමින් වැඩ පහසු කරගැනීමටයි.

(වජිර කාන්ත උබේසිංහ)


නව අදහස දක්වන්න

Or log in with...