කාන්තා හඬ | දිනමිණ

කාන්තා හඬ

 අන්තර්ජාතික කාන්තා දිනය අදට යෙදී තිබේ. කාන්තාව උදෙසා අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම නව සංකල්ප ඇතිකර ගැනීමටත් මේ දිනය යොදාගනු ලැබේ. ශ්‍රී ලංකාව වැනි රටක් දෙස ආපසු හැරී බලනවිට කාන්තාවගේ කාර්යභාරය විශිෂ්ට තැනක පවතී. කුටුම්භය පවත්වාගැනීම සඳහා අපේ රටේ කාන්තාව ගෙන යන පරිශ්‍රමය වෙනත් කිසිදු රාජ්‍යයක දැකිය නොහැකි තත්ත්වයක් සේ හඳුන්වා දෙන්නට පුළුවන. ‘අම්මා’ යන ගෞරවනීය නාමයෙන් පිදුමට ලක් කළ හැකි පරමාදර්ශී අම්මලාගෙන් අපේ සමාජය සමන්විත වෙයි. ඒ කීර්තිය දිගටම පවත්වාගැනීම සඳහා අපේ කාන්තාව උත්සුක විය යුතුව තිබේ.

මේ මොහොතේ අපේ කාන්තාව සම්බන්ධයෙන් ඇති කරනු ලබන ඕනෑම සංවාදයකදී අවධානය යොමුකළ යුතු වැදගත් සාධක කිහිපයක් තිබේ. එක, කාන්තාවට අවශ්‍ය නිදහස හා ස්වාධීනතාව ඇතිකිරීමය. දෙක; ඇයගේ දේශපාලන සහභාගිත්වය පුළුල් කිරීමය. තුන; කාන්තාවගේ කාර්යභාරයට සමගාමීව ප්‍රතිලාභ හා ගෞරවය ලැබෙන ක්‍රමයක් ඇති කිරීමය. අවම ලෙස මේ සාධක තුන සම්පූර්ණ වන්නේ නම්; කාන්තාවට සම තැන හෝ නිසි තැන හෝ ලැබී ඇතැයි තෘප්තිමත් විය හැකිය. එහෙත් බැලූබැල්මට ම ඉහත සාධක අසම්පූර්ණ බව හොඳින් පෙනී යනු ඇත. මේ සඳහා අපේ පාලකයන් ද නායකයන් ද වගකිව යුතුය.

සිදු වී ඇති ඇතැම් නිරීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාව යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සැලැකිය යුතු මට්ටමක පවතින රටකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන්නෝ දරුවෝ හා කාන්තාවෝය. ඇතැම් නඩු විභාගවලදී පෙනී යන්නේ පුරුෂයන්ගේ අමානුෂික පහරදීම්වලට ග්‍රාමීය හා වතු අංශවල කාන්තාව දිගින් - දිගටම ගොදුරුවන බවය. ස්ත්‍රී දූෂණ ද සැලැකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. සේයා දැරියගේ ඝාතනය, විද්‍යා නම් පාසල් දැරියගේ ඝාතනය මෙන්ම හෙදියක සමූහ දූෂණයකට ගොදුරුකර ගැනීමත් මේ සඳහා නිදසුන් ලෙස ගත හැකිය. පුදුමයකට මෙන් මේවාට එරෙහිව ප්‍රබල හඬක් අපේ කාන්තා සමාජය වෙතින් මතුවන්නේ නැත. තවම අපේ කාන්තාවගෙන් බහුතරය පසුගාමී යැයි කියන්නට පුළුවන.

පාකිස්ථානයේ ‘අස්මා ජහන්ගීර්’ නම් කාන්තා වීරවරිය අප සිහියට නැ‍ඟේ. කාන්තා සමාජය උදෙසා දැඩි නීති-රීති පවත්නා රටක නිදහස හා ස්වාධීනත්වය උදෙසා සටන් කිරීම බලවත් අභියෝගයකි. අස්මා ජහන්ගීර් වසර හැටහයක් පුරාවටම කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කළාය. නීතිඥවරියක වූ අස්මා පළමුව තනිව සටන් වැදුණාය. පසුව 1980 දී පාකිස්ථානයේ කාන්තා විමුක්තිය උදෙසා සංවිධානයක් ඇති කළාය. එය ‘ වුමන් ඇක්ෂන් ගෲප්’ ලෙස හැඳින් වේ. රටේ සාම්ප්‍රදායික නීති වෙනස් කිරීමට ඇගේ සංවිධානය සමත් විය. කුඩා සිරුරක් හිමි අස්මා යෝධයකු සේ වැඩ කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වරක් කියා සිටියේය.

අපේ කාන්තා සමාජය තුළ නිහඬතාව හා විඳදරා ගැනීම තවම පවතී. යුක්තිය ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වන ස්ත්‍රීන්ගේ අඩුවක් දකින්නට ලැබේ. එලෙස ම ස්ත්‍රීන් සංවිධානගත වීම ද අඩුය. කාන්තා සංවිධාන කිහිපයක නම් ප්‍රසිද්ධ වී ඇතත්; ඒවා රටට වැදගත් සේවාවක නිරත වන බවක් පෙනෙන්නට නැත. පාකිස්ථානයේ අස්මා ජහන්ගීර්ගේ කාන්තා සංවිධානය රටේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමට තරම් ඉදිරියට ගියාය. ආණ්ඩු ගණනාවකටම ඇගේ හඬට කන්දීමට සිදුවිය. පාකිස්ථානයේ මානවහිමිකම් උදෙසා බරපතළ කැපවීමක් සිදුකළ අස්මා ජහන්ගීර් මීට ටික දිනකට පෙර මිය ගියාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අස්මා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

ජාතික අධ්‍යාපනය පුළුල් වී ඇතත්; දේශපාලනයෙහිලා අපේ කාන්තාව ඉදිරියට පැමිණ නැත. පාර්ලිමේන්තුව දෙස බලන විට එම තත්ත්වය හොඳින් තහවුරු වෙයි. ලෝකයේ පළමු අගමැතිනිය බිහිකිරීමට ශ්‍රී ලංකාව සමත් වූවත්; කාන්තා දේශපාලන සහභාගිත්වය අතින් අපේ රට අසමත් රාජ්‍යයෙකි. කාන්තාවට දේශපාලනය නුසුදුසුය යන මිථ්‍යාව අපේ සමාජය තුළ තවම පවතී. මේ සඳහා ගනු ලැබූ හොඳම පියවරක් පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක විය. එහෙත් එය පවා දැන් අභියෝගයට ලක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මේවා වෙනස් කිරීම සඳහා කාන්තා සමාජ පෙරමුණ ගන්නේ නම්, එය වැදගත්ය.

රටේ ජාතික නිෂ්පාදනය, ජාතික ආදායම හා විදේශ විනිමය ඉපැයීම් වැනි ක්ෂේත්‍ර ගතහොත් ඒවායෙහි වැඩි දායකත්වයක් කාන්තා පාර්ශ්වයට හිමිවේ. එහෙත් ඊට සමාගමීව කාන්තාවට හිමි විය යුතු ප්‍රතිලාභ හා ගෞරවය ලැබෙන්නේ ද යනු ගැටලුවෙකි. පෞද්ගලික අංශය ගතහොත් පිරිමි පාර්ශ්වයට වැඩි වැටුප් ද ස්ත්‍රී පාර්ශ්වයට අඩු වැටුප් ද හිමි වී ඇත. පහළ ශ්‍රේණිවල රුකියාවල දී මේ තත්ත්වය හොඳින් දැකගත හැකිය. ඇඟලුම් ක්ෂේත්‍රය රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයකි. එහි වැඩිම සේවා නියෝජනය කාන්තාවෝ දරති. එහෙත් ඔවුන්ගේ වැටුප් හා වෙනත් දීමනා සතුටුදායක තැනෙක නැත. වතු අංශයේද මේ තත්ත්වය පවතී.

අපේ රටේ කාන්තාවගේ නිදහස, ස්වාධීනත්වය හා ගෞරවය දෙස බලන විට බෙ‍ාහෝ දේවල් වෙනස්විය යුතුව තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ සමාජ ආකල්ප වෙනස් කිරීමය. කාන්තාව දුර්වලය ඇයට නායකත්වය දැරිය නොහැකිය යන මතයක් සමාජය තුළ පවතී. කාන්තාව පවා මේ තත්ත්වය පිළිගෙන ක්‍රියාකිරීම එක අතෙකින් කනගාටුදායකය. දේශපාලනයෙහිලා කාන්තා නියෝජනය අඩුවීමට ද මේ පසුගාමී ආකල්ප බලපායි. කාන්තාව කිසිදු අයුරකින් දුර්වල නැත. එය සෞඛ්‍ය විද්‍යාත්මකව සනාථ කර තිබේ. ඇතැම් අංශවලදී පුරුෂයා පරදවා නැඟී සිටින්නටද කාන්තාව සමත්ය. ඒ බව අප කවුරුත් පිළිගත යුතුය.

අද කාන්තා දිනය දා මැහුම්-ගෙතුම් - රූපලාවණ්‍යය ගැන නොයෙක් වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. ඒවා නරක නැත. එහෙත් ඊට වඩා අපට වැදගත් වන්නේ කාන්තාව බලගන්වන සුලු ප්‍රායෝගික වැඩසටහන්ය. මේ වැඩසටහන් මඟින් කාන්තා හඬ සමාජය වෙත මුදාහැරිය යුතුය. අපේ සමාජය තුළ කාන්තාවට නිදහසේ හා ස්වාධීනව කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් විය යුතුය. එවැන්නක් ආරම්භ කිරීමට හොඳම දිනය ලෙස අද දවස දැක්විය හැකිය. අපේ සමස්ත කාන්තා පරපුරට ජයග්‍රාහි හෙට දවසක් ප්‍රාර්ථනා කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමු.


නව අදහස දක්වන්න