නිවාස ගැට­ලු­වට කඩි­නම විස­ඳුම්, 2020 වන­විට නිවාස 20000 දහ­සක් | දිනමිණ

නිවාස ගැට­ලු­වට කඩි­නම විස­ඳුම්, 2020 වන­විට නිවාස 20000 දහ­සක්

පසුගිය වසර තුන තුළ දී මෙම අමාත්‍යංශය පවුල් 251,417 ක නිවාස අවශ්‍යතා සපුරාලීමට සමත් වී ඇත. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ්‍යය නිවාස ඉදි කිරීම හා සංවර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එම ව්‍යාපෘති තුළින් සැළකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම ව්‍යාපෘති ලෙස ආදර්ශ ගම්මාන වැඩසටහන,විසිරි නිවාස ණය වැඩසටහන,නිවාස කපලාරු කිරීමේ වැඩසටහන,වැලිඔය නිවාස ව්‍යාපෘතිය,උතුරු පළාත් නිවාස වැඩසටහන,මඩකලපුව දිස්ත්‍රික් නිවාස ආධාර ව්‍යාපෘතිය, වකුගඩු රෝගීන් සඳහා වු නිවාස වැඩසටහන,බෝගස්වැව නිවාස ව්‍යාපෘතිය, සහ විරු සුමිතුරු නිවාස වැඩසටහන දැක්වීමට පුළුවන. ආදර්ශ ගම්මාන වැඩසටහන මඟින් නිවාස නොමැති අඩු ආදායම් ලාභී පවුල් 8959 ක නිවාස ගැටළුව ප්‍රශස්ත අයුරින් විසඳා ඇත. විසිරි නිවාස ණය වැඩසටහන මඟින් නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් ඇති නමුත් නිවසක් නැති සහ නිවස අර්ධ වශයෙන් ඉදිකරගෙන ඇති අඩු ආදායම් ලාභී පවුල් 101,852 ක ගේ නිවාස ගැටළු විසඳා ඇත. නිවාස කැපකරු කිරීමේ වැඩසටහන මඟින් නිවස ඉදිකරගෙන ඇති නමුත් කපලාරුව නිම කර නිවසේ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරය සකස් කර ගැනීමට නොහැකි වු අඩු ආදායම්ලාභී සහ දිළිඳු පවුල් 108, 367 ක ගේ නිවාස ප්‍රමාණවත් මට්ටමින් සංවර්ධනය වී ඇත.

වැලිඔය නිවාස ව්‍යාපෘතිය මඟින් යුද්දයෙන් පීඩාවට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1084 ක නිවාස ගැටළුව විසදීමට පියවර ගෙන ඇත. උතුරු පළාත් නිවාස වැඩසටහන යුද්ධයෙන් පීඩාවට පත් වු සහ නිවාස අහිමි වු උතුරු පළාතේ පවුල් 2553 ක ගේ නිවාස ගැටළුව මෙන් ම ඉන් තුඩු දෙන සමාජ අර්ථික ගැටළු සමනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. මඩකලපුව දිස්ත්‍රික් නිවාස ආධාර ව්‍යාපෘතිය යුද්දයෙන් පීඩාවට පත් වු සහ නිවාස අහිමි වු මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 1000 කගේ නිවාස ගැටළුව මෙන් ම ඉන් තුඩු දෙන සමාජ ආර්ධික ගැටළු සමනය කිරීම සඳහා මෙම නිවාස ආධාර ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත. වකුගඩු රෝගීන් සඳහා වු නිවාස වැඩසටහන කාලීන වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වු රෝගී පවුල් 2455 ක ගේ නිවාස ගැටළුව විසඳමින් වකුගඩු රෝගීන්ගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන සෞඛ්‍ය සම්පන්න පරිසර නිර්මාණය කර දීම සඳහා දායක වී ඇත. බෝගස්වැව නිවාස ව්‍යාපෘතිය යුද්දයෙන් පීඩාවට පත් වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව ප්‍රදේශ‍යේ අන්ත දිළිදු පවුල් 1740 ක නිවාස ගැටළුව විසඳීම දායක වී ඇත. විරු සුමිතුරු නිවාස වැඩසටහන ක්‍රියාන්විතයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්ත්වයට පත් වු රණවිරු පවුල් අතරින් නිවාස ගැටළුවලට මුහුණ දී සිටින පවුල් 3650 ක නිවාස අවශ්‍යතා සපුරා ලීමට නිර්මාණය කර ඇත.

මීට අමතරව පැරණි නිවාස ක්‍රම නවීකරණය ( නගමු පුරවර ) , දුප්පත්කම දුරලීමේ ග්‍රාමශක්ති තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන සහ අඩු පහසුකම් සහිතව ජීවත්වන නාගරික ප්‍රජාව සඳහා නිවාස ව්‍යාපෘතිය ( USDA විසින් ) ක්‍රියාත්මක වේ. පුද්ගලික ආයෝජකයින්ගේ මුල්‍ය දායකත්වයෙන් මධ්‍යම පාන්තික නිවාස වැඩසටහනක් ද ක්‍රියාත්මක ය.

එපමණක් නොව මහනගර හා බස්නාහිර සංවර්ධන ආමාත්‍යංශය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මඟින් කොළඔ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලිම සඳහා පසුගිය දෙවසර තුළ ව්‍යාපෘති 07 ක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් නිවාස 5,069 ක් ඉදිකර ඇත.2020 වන විට තවත් නිවාස 20,000 ක් ඉදි කිරීමට අපේක්ෂිත ය.

නව අදහස දක්වන්න