විශි­ෂ්ටතා ජාතික සම්මාන අප­න­යන කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට | දිනමිණ

විශි­ෂ්ටතා ජාතික සම්මාන අප­න­යන කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණවල විශිෂ්ටතාවය උදෙසා පවත්වනු ලබන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේ වැවිලි අංශයේ දෙවන ( 02 ) ස්ථානය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ජේ . එම්. සෙනෙවිරත්න මහතා විසින් පසුගියදා දිනා ගන්නා ලදී. දේශීය ප්‍රභේද සමඟ දෙමුහුන් කරන ලද නව ගම්මිරිස් වර්ග තුනක් කෘෂිකාර්මික අංශයට දායාද කිරීම වෙනුවෙන් මෙම සම්මානය ඔහුට හිමි විය. බූටෑවේ රාළ , කොහුකුඹුරේ රාළ හා ඩිංගි රාළ යන දේශීය විරුවන්ගේ නමින් මෙම නව ගම්මිරිස් ප්‍රභේද නම් කර තිබේ. ජාත්‍යන්තර වෙළදපළේ දී ඉහළ ගුණාත්මයෙන් යුතු දේශීය ගම්මිරිස් ප්‍රභේදවල අවශ්‍යතාවය සපුරාලිය හැකිවීම මෙන්ම ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට වඩා හොදින් ගැලපීම මෙම නව ගම්මිරිස් ප්‍රභේදවල තිබෙන විශේෂතා වේ.

මෙම කෘෂිකාර්මික පර්යේෂණවල විශිෂ්ටතා වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ ජාතික උළෙල වසර දෙකකට වරක් පවත්වනු ලබන අතර මෙවර එය සිවිවෙනි වතාවට පවත්වා තිබේ. වැවිලි අංශය, වැවිලි නොවන අංශය, පශු සම්පත් හා ධීවර යන අංශ තුන යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කරනු ලබයි. මෙම සම්මාන උළෙලේ වැවිලි අංශයේ ප්‍රථමස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයටය. කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ සිදු කරන පර්යේෂකයන් දිරිමත් කිරිමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වනු ලබන බව කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව පවසයි. මෙම සම්මාන ප්‍රදානය පසුගිය දා කොළඔ ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රෙය් දී පැවැත්විණ.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් බී . විජේරත්න, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමආරච්චි, කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩි. වි. බන්ධුලසේන, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පි. හීන්කෙන්ද මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වුහ.

නව අදහස දක්වන්න