ශ්‍රී ලාංකික සම්ප්‍ර­දාය ලොවට ගෙන­ගිය සූප­වේ­දියා | දිනමිණ

ශ්‍රී ලාංකික සම්ප්‍ර­දාය ලොවට ගෙන­ගිය සූප­වේ­දියා

2017 වසරේ විශිෂ්ට සේවාව වෙනුවෙන් පිරිනැමෙන CEO ලයිට් ඇන්ඩ් වොර්ම්ත් (Light and warmth) සම්මානය ලැබාගෙන ඇත්තේ කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරන අමිල බොතේජු යි. වසර ගනනක සම්මාන උත්සව ඉතිහා‍සයේ එම සම්මානය ලැබූ එකම ශ්‍රී ලාංකික සූපවේදියා වීමේ ගෞරවය හිමිකර ගත්තේත් අමිලයි.

ලොව වේගයෙන් ජනප්‍රිය වන සංචාරක ගමනාන්තයන් අතර ‍ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයට පත්වීමට බලපෑ හේතූන් කීපයකි. ඒ අතර මූලික වන්නේ දූපතක් ලෙසින් වුව විවිධත්වයෙන් යුතු සොබාදම් පිහිටීමයි. මෙරට සත්කාරක සේවයේ ඇති සුහද බව ආචාරශීලී බව වැනි නිපුනතාවන් මෙන්ම පලපුරුදු බව සහ නිර්මාණශීලී බව ද ඒසඳහා බලපාන ලද සෙසු කාරණායි.

ඒ අර්ථයෙන් ගත් කළ හිල්ටන් යනු ‍මෙරට සත්කාරක සේවය ඉහළට එසවීම සඳහා මහඟු දායකත්වයක් දකවන සන්නාමයකි. ශ්‍රී ලාංකික බව ජාත්‍යන්තරයට ගෙන යාමටත්, සත්කාරක සේවයේ ජාත්‍යන්තර වටිනාකම් මෙරටට ගෙන ඒමටත් සමත් වූ වෙළෙඳ නාමයක් සේම, ප්‍රණීත ආහාර, අධි සුඛෝපභෝගී පහසුකම් යනු හිල්ටන් නාමය සමඟ නිරන්තරයෙන් සිහියට නැංවෙන කාරණායි. හිල්ටන් ව්‍යාපාර ජාලය මේ වන විට ලෝ පුරා රටවල් 105ක, ස්ථාන 5200ක පමණ සිය විශිෂ්ටත්වයේ අභිමානය දරා සිටියි. ලොව සුප්‍රකට සන්නාම 14ක් ඔස්සේ ජාත්‍යන්තර ප්‍රමිතිය අභිභවන සේවාවන් සැපයීම, හිල්ටන් සමූහයේ අරමුණවී තිබේ.

හිල්ටන් සමූහයේ ඉතිහාසය වසර 100කට වඩා ඈතට දිවෙයි. ඒ නිසාම සත්කාරක සේවයට එක්වී ඇති හිල්ටන් සම්ප්‍රදායන් බොහොමයකි. ඒ අතර නවතම සම්ප්‍රදාය වී ඇත්තේ, හිල්ටන් සමූහයේ සේවය කරන 3,80,000ක් පමණ සාමාජිකත්වය ඇගයීම සඳහා සිදුකරනු ලබන ඇගයීමේ ක්‍රියා පටිපාටියයි. එය සැකවින් මෙසේයි.. හිල්ටන් තුළින් සේවාව බලාපොරොත්තු වන අමුත්තන් වෙත තම සීමාවෙන් ඔබ්බට ගොස් නිර්මාණ ශීලී ලෙසත්, හෘදයාංගමවත් සේවාවක් සපයන, තම සහෝදර සේවක මඬුල්ලේ සුබසාධනය සහ ඔවුන්ගේ වෘත්තිමය භාවය ප්‍රවර්ධනය වෙනුවෙන් මෙහෙවර කරන සාමාජිකයන් තෝරා ඔවුන් ඇගයීමයි. හිල්ටන් සමූහය මේ කටයුත්තට මුලපිරුවේ 2009 වසරේ සිටයි.

මේ ඇගයීමේ ක්‍ර‍මවේදයට අනුව 2017 වසරේ විශිෂ්ට සේවාව වෙනුවෙන් පිරිනැමෙන CEO ලයිට් ඇන්ඩ් වොර්ම්ත් (Light and warmth) සම්මානය ලැබාගෙන ඇත්තේ කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරන අමිල බොතේජු යි. වසර 9ක සම්මාන උත්සව ඉතිහා‍සයේ එම සම්මානය ලැබූ එකම ශ්‍රී ලාංකික සූපවේදියා ද වීමේ ගෞරවය හිමිකර ගත්තේත් අමිලයි.

අමිල දැනට කොළඹ හිල්ටන් හෝටලයේ ශ්‍රී ලාංකීය ආහාර අංශයේ සූපවේදියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව හිල්ටන් හෝටලයේ ‘කරි ලීෆ් අවන්හලෙහි’ ප්‍රධාන සූපවේදියා වන්නේත් ඔහුයි.

හිල්ටන් හෝටල් ජාලයට අයත් ලොව පුරා සේවා ස්ථානවල සේවය කරන කණ්ඩායම් සමාජිකයන් අතුරින් ඉදිරිපත් වූ දහසකට අධික නාමයෝජනා අතුරින් සම්මානය ලැබීමට සමත් වූ 12 දෙනාගෙන් කෙනකු බවට පත් වූ මේ ශ්‍රී ලාංකික තරුණයා තම වෘත්තීය ජීවිතයේ ආරම්භය පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

‘මම පාසලෙන් ඉවත් වෙලා මුලින්ම රස්සාවට ආවේ කොළඹ හිල්ටන් හෝටලයට. ඒ දැනට අවුරුදු 21කට කලින්. මම මුලින්ම හිල්ටන් සේවයට බැඳුනේ ‘කිචන් හෙල්පර්’ (මුළුතැන්ගේ සහායකයකු) කෙනෙක් විදිහට. හෝටලයේ දෙපාර්තමේන්තු ගණනාවක සේවය කරලා තියනවා. දැන් කොළඹ හිල්ටන් හෝටලයේ ශ්‍රී ලාංකික ආහාර අංශයේ ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන්නේ මම.’

‘අපි හැමෝම මෙතැන වැඩ කරන්නේ අපේ තැනක වැඩ කරනවා කියන හැඟීමෙන්. කණ්ඩායමේ හැම දෙනාම අතරේ තියෙන්නේ ලොකු සහයෝගයක්. එකිනෙකාට වැඩ කටයුතුවල දී සහායවීමට අපි පුරුදු වෙලා තියනවා. අපේ වටිනාම අරමුණ තමා අපේ අමුත්තන්ව සතුටට පත් කිරීම. කණ්ඩායම් සාමාජිකයන්ගේ තියෙන්නේ බොහොම ධනාත්මක ආකල්ප. හැමෝම අමුත්තන්ගේ සතුට සහ ආයතනයේ දියුණුව ගැන හිතනවා.

ඒ ආකල්පයට හේතුව වෙන්නෙත් අපේ ආයතනය අපට දක්වන විශේෂ සැලකිල්ල. ඒ ඔස්සේ තමා අපේ ආකල්ප වර්ධනය වෙලා තියෙන්නේ’ අමිල එලෙස පැවැසූවද හිල්ටන් සමූහයෙන් තරගයට ඉදිරිපත් වූ දහසකට අධික නාමයෝජනා අතුරින් අමිල බොතේජු 2017 CEO ‘ලයිට් ඇන්ඩ් වොර්ම්ත්’ සම්මානය දිනා ගැනීමට බලපෑ විශේෂිත හේතු ගණනාවක්ම වෙයි. ලෝකය පුරා සියලු කණ්ඩායම් සාමාජිකයන්ගෙන් 12 දෙනකු පමණක් එම සම්මානය ලැබීමට සුදුසුකම් ලැබුවේ නම් ඒ සියලුම දෙනා තුළ යම් විශේෂත්වයක් පැවැතිය යුතුමය. අමිල බොතේජු තුළ පැවැති එම විශේෂත්වය නම් අනෙකා වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැප කිරීමයි. එමෙන්ම අනෙකාට සේවය කිරීමයි.

ඒ පිළිබඳ අමිල දක්වා තිබුණේ මෙවන් අදහසක්.

‘කොළඹ හිල්ටන්’ කණ්ඩායමේ සාමාජිකයකු විදිහට හෝටලයට පැමිණෙන අමුත්තන් සතුටට පත් කිරීම තමා මගෙත් ඉහළම අභිප්‍රාය. ඒ වෙනුවෙන් අපි ‘ගෙස්ට් කමිටි’ (අමුත්තන්ගෙ කමිටුව) පිහිටුවා තියෙනවා. ඒ හරහා අපි අමුත්තන් වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සංස්කෘතික උත්සව, විවිධ වූ ආහාර මූලික කර ගත් උත්සව, අමුත්තන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂිත වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව මම මූලික වෙලා ‘යන්ග් කලිනරි මයින්ඩ්’ (young culinary mind) කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. සූපවේදියකු ලෙස මගේ රාජකාරිවලට අමතරව මම දෙපාර්තමේන්තු පුහුණුකරුවකු විදිහටත් වැඩ කරනවා’

අමුත්තන්ගේ සුව පහසුව සහ සතුට ගැන පමණක් නොවේ, සහෝදර හිල්ටන් සාමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ද අමිල කැපවීමෙන් යුතුව කටයුතු කරන්නේ එලෙසයි.

‘අපේ තිබෙනවා ‘බ්ලූ එනර්ජි කමිටි’ (Blue energy commitee) කියලා කමිටුවක්. ඒ හරහා කණ්ඩායම් සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරනවා. දැනට මම ඒ කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. සාමාජිකයන්ගේ විතරක් නෙමේ, සාමාජිකයන්ගේ දරු දැරියන් සතුටු කිරීමට විවිධ වූ වැඩසටහන් අපි සංවිධානය කරනවා. ඒ වගේම ස්වභාවික ආපදා අවස්ථාවල දී ඒවායින් හානියට පත් අපේ සාමාජිකයන්ගේ නිවෙස් පිළිසකර කරන්න, නැවත යථා තත්ත්වයට පත්වෙන්න අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙන්නත් මම පෞද්ගලිකවම මැදිහත් වෙලා කටයුතු කළා. ඒ වගේම අපි ආයතනික සමාජ වගකීමක් (Corporate social responsibility) විදිහට රත්මලානේ පිහිටි දෘශ්‍යාබාධිත දරුවන්ගේ පාසලේ වැඩසටහන් ක්‍රියාත්මක කළා.’

මෙපමණක් නොවේ අමිල බොතේජු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින් 2017 වසරේ දී ශ්‍රී ලාංකීය ආහාර වර්ග ප්‍රවර්ධනය සඳහා පෝලන්තයේදීත්, 2018 වසරේ තුර්කියේදීත්, ආහාර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. මේ කටයුතු සඳහා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ කොළඹ හිල්ටන් හෝටලයයි.

2017 වසරේ හිල්ටන් CEO ලයිට් ඇන්ඩ් වොර්ම්ත් සම්මානය සමඟ ඒ සඳහා හිමි වන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 10,000කි. මේ සම්මානය මෙන්ම ත්‍යාග මුදල් අමිල බොතේජු වැනි නිර්මාණශීලී තරුණයකුට සිය සේවාවන් වඩාත් ජවසම්පන්නව සිදුකිරීම සඳහා වන දිරිගැන්වීමක් වනු නොඅනුමානය.


නව අදහස දක්වන්න