ඇයි මෙහෙම වුණේ? | දිනමිණ

ඇයි මෙහෙම වුණේ?

යුගෝස්ලාවියාව නම් කීර්තිමත් සමූහාණ්ඩුවට සිදුවූයේ කුමක් ද? අද යුගෝස්ලාවියාවක් නැත. මේ සාර්ථක රාජ්‍යය විනාශ වූයේ; ජාතිවාදය, ආගම්වාදය හා අනන්තවාදය නිසා ය. යුගොස්ලාවියාව අහිමිවීම නැතහොත් කැබැලිකරණයට ලක්වීම තුළ නොබැඳී ජාතීන්ගේ සමුළුව ද දියාරු වී ගියේ ය. එහි හානිය හා ඛේදවාචකය විඳින්නට සිදු වී ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් ලෙස හඳුන්වනු ලබන ලෝකයේ දුප්පත් රටවලට ය. ලෝක දේශපාලනය ගැනත් ලෝක ආර්ථිකය ගැනත් හැඟීමක් හා දැනීමක් නැති අයට මේ විනාශය තේරුම් ගැනීම අපහසු ය. ශ්‍රී ලංකාවේ ද යළිත් ජාතිවාදී ගැටුම් පණගැන්වී ඇත. ඒ ගැටුම් ඇතිකිරීම පහසුය. එහෙත් ගැටුම් නිරාකරණය අපහසුය. එයින් සිදුවන අනාගත හානිය වැළැක්වීම ඊටත් වඩා අපහසුය.

මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ කලබල දැන් යම් තරමකට පාලනය වී ඇත. පොලිසිය හා හමුදාව එය පාලනය කර ඇත. එහෙත් ජාතීන් දෙකක් අතර මතු වූ තිගැස්ම හා වෛරය ලෙහෙසියෙන් හා පහසුවෙන් මකා දැමිය නො හැකිය. මේ කලබල නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ඒවා හුදෙකලා සිද්ධීන් මත ඇතිවන ඒවා නො වන බව ය. ජිනීවා මානව හිමිකම් කොමිසම මුළුගැන්වෙන මාර්තු මාසයේ කුමක් හෝ කලබලයක් රට තුළ ඇති කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබේ. එය සිදුකරන්නේ සැලැසුම් සහගතව හා සංවිධානාත්මකව බව ඉතා පැහැදිලිය. මෙහිදී වටහාගත යුතු සත්‍යය වන්නේ ජාතිවාදය හා ආගම්වාදය මූලික කරගත් දේශපාලන ව්‍යාපාර ර‍ෙට් ඇති බව ය. ඒවා හොඳින් ක්‍රියාත්මක ‍වන බව ය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ ගැන පුළුල් විග්‍රහයක් සිදුකර තිබේ. දිගන - මහනුවර ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට සම්බන්ධ කිහිපදෙනකු ගැන ද, භික්ෂූන් වහන්සේ නමක ගැන ද තොරතුරු අමාත්‍යවරයා හෙළිදරව් කර තිබේ. ඒ සියලු දෙනා එකම දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවෝ වෙති. මහ පාරේ ගැටුම් ඇතිකිරීමට, කඩ ගිනි තැබීමට හා සිද්ධස්ථාන විනාශ කිරීමට මේ අය කෙළින්ම සම්බන්ධ බව හෙළිදරව් වෙමින් පවතී. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම්; සියලුදෙනා අත්අඩංගුවට ගත යුතුය. නීතියේ ප්‍රතිපාදනවලට අනුව ඔවුනට දඬුවම් ලබාදිය යුතුය. එය නැතහොත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ ද යනු ගැටලුවෙකි. දිගන ප්‍රදේශයේ නිවසක තිබී පෙට්‍රල් බෝම්බ හමු වී ඇත. එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගෙදර ය.

මේ ගැටුම්වල හා සිද්ධිවල බරපතළ තත්ත්වය බොහෝදෙනෙක් නො දනිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ජාතිවාදී ගැටුම් සමනය කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවය. ඒ සමඟම මහනුවර - දිගන - අම්පාර සිදුවීම් බලවත් ලෙස ප්‍රතික්ෂේප කරන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ. මෙහි අර්ථය වන්නේ මානව හිමිකම් කොමිසම යළිත් ශ්‍රී ලංකාව ගැන සැක සිතින් බලන්නට පෙලඹෙන බව ය. එය හොඳ තත්ත්වයක් නොවේ. මේ අතර අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ගේ ශ්‍රී ලංකා සංචාර ගැන අනතුරු හඟවා තිබේ. මේ අනුව අපේ සංචාරක කර්මාන්තයට සිදුවන්නේ කුමක් ද? ගිය වසර සංචාරක කර්මාන්තයේ ප්‍රගතියක් සටහන් කළ වසරක් ලෙස සලකනු ලැබේ.

ජාතිවාදී ගැටුම් බොහොමයකට වස්තු බීජය වී ඇත්තේ මිථ්‍යා මත සමූහයකි. මේ මිථ්‍යා මත ලැව්ගිනි සේ රටපුරා ප්‍රචාරය වන්නේ සමාජ වෙබ් අඩවි හරහා ය. එය යම් පමණකින් පාලනය කිරීම ගැන රජයට කෘතඥතාව පළ කළ යුතුය. එසේ නොවුණේ නම් මේ ගැටුම රට පුරාම ව්‍යාප්ත වනු ඇත. මෙබඳු එක් මිථ්‍යා මතයක් වන්නේ සිංහල ජාතියේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වඳ පෙත්තක් භාවිත කරන්නේය යන්නය. එබඳු වඳ පෙත්තක් ලෝකයේ කිසිදු තැනෙක නිෂ්පාදනය නොවන බව ද එවැන්නක් කළ නො හැකි බව ද වෛද්‍ය මතය වී තිබේ. මෑතකාලීන සිංහල ජනයාගේ ජනගහන ව්‍යාප්තිය බැලුවද එබඳු සාධකයක් දැකගන්නට නැත. එහෙත් මේ මිථ්‍යාව පසුපස බොහෝදෙනා අත්වැල් බැඳගෙන සිටිති. මෙය කෙතරම් විහිළුවක් ද යනු වඳභාවයට අදාළ යට ඇඳුමක් ගැන ද ප්‍රචාරයක් තිබේ.

මිථ්‍යා මත ප්‍රචාරය කිරීමෙන් ද අන්තවාදය ඔස්සේ ජනතාව ප්‍රකෝප කිරීමෙන් ද ගැටුම් ඇතිකළ හැකිය. 1983 කළු ජූලිය ඇතිවූයේ ද එබඳු පසුබිමක් මත ය. එහි අවසන් ප්‍රතිඵලය අපි හොඳාකාරව දන්නෙමු. තිස් අවුරුදු වාර්ගික යුද්ධය නිදහසින් පසු අප මුහුණ දුන් බලවත් ම දේශපාලන හා ආර්ථික ගැටලුව වන්නේය. එම ගැටුම නොවන්නට ශ්‍රී ලංකාව අද දියුණු රාජ්‍යයෙකි. වෙනත් රටවල් වාර්ගික විවිධත්වය හා ආගමික විවිධත්වය සලකනු ලබන්නේ දියුණුවට ඇති මාර්ගයක් හැටියටය. විවිධ ජාතීන්ගේ විසම නිපුණතා ඒකරාශී කරගත් විට රටක් ඉතා ශීඝ්‍රයෙන් දියුණුවට පත්වේ. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මීට හොඳ ම නිදසුන් ලෙස දැක්විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාව තවම වාර්ගික විවිධත්වයේ වටිනාකම වටහාගෙන නැත.

අප නැවතත් මහනුවර - දිගන ප්‍රදේශයට අවධානය යොමු කළහොත්; එම පළාතේ ජනතාව හා සමාජ නායකයන් ඒකරාශී වී සංහිඳියාවට අවශ්‍ය පසුබිම සකස් කර ගත යුතු ය. පිටස්තර බලපෑම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුය. මේ පළාත සිංහල හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වූ ආදර්ශවත් කලාපයකි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඉස්ලාම් භක්තිකයෝ ද ගෞරව කරති. ඔවුන්ගේ අදහසට අනුව කන්ද උඩරට මහනුවර දළදා මාලිගාව මේ කලාපයේ ප්‍රධාන සංකේතය ලෙස පවතී. බෞද්ධ - ඉස්ලාම් ගැටුමක් එහි නැත. ගැටුම් ඇතිකරන්නෝ පිටස්තර පුද්ගලයෝ ය. පළමුව මේ බලපෑම් නැවැත්විය යුතුය.

සර්ව ආගමික සමුළුවක් කැඳවිය යුතු යැයි සමහරු කියති. සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු යැයි තව සමහරු කියති. ජාතිවාදය ඇතිකරන කණ්ඩායම් සොයා දැඩි දඬුවම් ලබාදිය යුතු බව තවත් සමහරු කියති. මේ එකක්වත් නරක නැත. එහෙත් ඊට පළමුව රටේ ජනතාවට ඥානය ලබා දිය යුතුය. ලෝකයේ කිසිදු ජාතියක්, කිසිදු ආගමක් පහත් නැත. විශිෂ්ට ද නැත. ජාතියට හා ආගමට තිබිය යුත්තේ සමාන අයිතිවාසිකම් ය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද එය තහවුරු කරයි.

 

අදහස් 1ක් ඇත

Feeling sensible with heart , society build with on actions so as destruction itself.

නව අදහස දක්වන්න