කාන්තා දිනයට සුබ පැතුම්වලට වඩා ලොව පුරා උද්ඝෝෂණ | දිනමිණ

කාන්තා දිනයට සුබ පැතුම්වලට වඩා ලොව පුරා උද්ඝෝෂණ

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම්, පණිවිඩවලට වඩා මෙවර ලොව පුරා දක්නට ලැබුණේ විවිධ උද්ඝෝෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිංගික හිංසන, කාන්තා අතවරවලට එරෙහිව කාන්තාවන් මෙසේ පාරට බැස ඇති බවයි ඔවුන් පවසන්නේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නවතන ලෙසත්, සේවා ස්ථාන තුළ සමානත්වය ලබාදෙන ලෙසත් ලොව පුරා කාන්තාවෝ ඉල්ලා සිටිති. වසරකට වරක් දිනයක් වෙන් කර දේශපාලනඥයන්ගේ සුබ පැතුම් සහ පණිවිඩවලට පමණක් ඒවා සීමා නොකරන ලෙස ඉල්ලා සිටින කාන්තා සංවිධාන සෑම දිනකම බියෙන් සැකෙන් තොරව තම කටයුතු කර ගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන ලෙස දේශපාලනඥයන්ට බල කර සිටියි. විශේෂයෙන් දෛනික කටයුතුවල දී පවා කාන්තාවක් වීම අවාසියක් වී තිබෙන තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වන ලෙස ද කාන්තාවන් වශයෙන් සිදු වන ඕනෑම අසාධාරණයක දී නැගී සිටීමට කාන්තාවන් සවි බල ගැන්වීම ද අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.

නිවසේ දී මෙන්ම සේවා ස්ථානයේ දී ද මුහුණ දෙන හිංසනයන්ට නීතිමය සහාය ලබා ගැනීම පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමටත් එවන් හිංසනයන්ගෙන් පීඩාවට පත් වූ මානසික ආතතියට පත් කාන්තාවන් උපදේශනයන්ට හෝ වෛද්‍යමය ප්‍රතිකාරවලට යොමු වීම පිළිබඳව දැනුවත් කිරීමත් කටයුතු කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

මේ කරුණු පෙරදැරිව ලොව පුරා පැවැති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට මැදිහත් වීමට සිදු වූ බව ද නිව්යෝර්ක්හි පැවැති ද ඩේ විත් අවුට් වුමන් උද්ඝෝෂණයේ දී තරුණියක අත්අඩංගුවට ද පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නව අදහස දක්වන්න

Or log in with...