පොහොට්ටුවේ රැස්වීමත් විශ්වාස භංගයත් ‘කැන්සල්’ | දිනමිණ

පොහොට්ටුවේ රැස්වීමත් විශ්වාස භංගයත් ‘කැන්සල්’

* රටටම කුණු පෙන්නන අය ජනපති හෙළිකරයි
* ඒකාබද්ධය පියවර දෙකක් පස්සට
* පොන්සේකාත් එජාපයත් හිත් අමාරුවෙන්
* ජාතිවාදයට මුහුණදීමට ජවිපෙන් සැලසුම්

ජනාධිපතිතුමා මේ දිනවල වඩාත් කාර්යබහුලවී ඇත්තේ පළාත්පාලන මැතිවරණය නිසා නවතා තිබූ විවෘත කිරීම් හා වෙනත් රාජ්‍ය උත්සව සඳහා මෙම කාලයේ දින යොදාගෙන තිබීම නිසායි. මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් නිසා මැතිවරණයට පෙර යොදාගැනීමට තිබූ රාජ්‍ය උත්සව කල්දැමීමට සිදුව තිබුණා. එම නිසා මේ දිනවල එම කටයුතුවලට එක දිගට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබෙනවා.

එවැනි එක් උත්සවයක් වූයේ පොලොන්නරුවේ දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ නව සංඝාවාසය සඟසතු කිරීමේ උත්සවයයි. පසුගිය පොහොය දිනය ජනාධිපතිතුමා ඒ සඳහා යොදාගෙන තිබුණා. එම උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගිවීමට ලැබීම ගැන ජනාධිපතිතුමා තමන්ගේ බලවත් සතුට ප්‍රකාශ කළා.

උත්සවය අමතමින් එහි දී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විවේචන, දෝෂාරෝපණ කොතෙක් එල්ලවුවත් රටත් ජනතාවත් වෙනුවෙන් කළ යුතු වැඩ උපරිමයෙන් ඉටු කරන බවයි. දැන් මෙම ආණ්ඩුව කරගෙන යන ආකාරයේ සංවර්ධන වැඩ මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවකින් සිදුකොට නැති බව කී ජනාධිපතිතුමා එසේ වුවත් සවස රූපවාහිනී නාලිකා බලනවිට හිතෙන්නේ රටේ කිසිම සංවර්ධනයක් සිදු නොවන බව යැයි ද කීවා.

නැ‍ඟෙනහිර පළාත් ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උලෙළ පසුගියදා පැවැතියේ මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේදීයි. එයට එක් වූ ජනාධිපතිතුමා කීවේ “රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන්ට ඉදිරි මාස හය ඇතුළත රැකියා ලබාදෙන බවයි. උපාධිධාරියකු යනු රටට සම්පතක් බවත් ඔවුන්ගෙන් රටට අවශ්‍ය සේවය ලබාගත යුතු බවත් ජනාධිපතිතුමා මෙහි දී ප්‍රකාශ කළා.

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා විසින් පසුගියදා ආරම්භ කරනු ලැබුවා. එම වැඩපිළිවෙළ අරඹමින් පොලොන්නරුවේ ලක්ෂ උයන චන්දන පොකුණ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගී වුණා. රටේ ප්‍රධාන ජනමාධ්‍යවලින්, සමාජ මාධ්‍ය මගින් හා කටකතා මගින් ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී පැහැදිලි කළා. මොරගහකන්දේ ජලය පරාක්‍රම සමුද්‍රයට දී එය පිටාර යන මට්ටමට පිරෙව්වත්, මින්නේරිය, ගිරිතලේ වැව්වලට ජලය ලබා නොදෙන බවට බොරු කටකතා ප්‍රචාරයකොට ඇති බව ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නා. මොරගහකන්දේ ජලය ප්‍රදේශයේ සියලු වැව් පිරවීමට ලබාදෙන බව ජනාධිපතිතුමා ගොවි ජනතාවට සහතික කොට කියා සිටියා. රූපවාහිනිය පෙන්වන්නේ රටේ කිසි දෙයක් නොවන ගානට බවත් දේශපාලන කුණු සියල්ල සවස් වනවිට රටටම පෙන්වන බවත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නා.

දේශීය කර්මාන්තකරුවාට තරගකාරී වන ලෙස විදේශ ආයෝජන සිදුවීම සම්බන්ධයෙන් දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුකොට තිබුණා. ඒ පිළිබඳව කර්මාන්තකරුවන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැතියේ අදාළ සියලු පාර්ශවයන් ද සම්න්ධකර ගනිමින් මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුන් ද නීතිපතිතුමා ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ද, මහ බැංකු අධිපතිතුමා ද එයට සහභාගී වී සිටියා. එහි දී ජනාධිපතිතුමා කීවේ දේශීය කර්මාන්තවල ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණ ගන්නා බවයි.

මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමා බදාදා කැඳවා තිබුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි. විවිධ ප්‍රදේශවල නායක මට්ටමේ භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව මහනුවරට වැඩම කර සිටියා. මුස්ලිම් ආගමික නායකයන් ද සාකච්ඡාවලට සහභාගී වුණා. තම තමන්ගේ ප්‍රදේශ මූලික කරගෙන සාමකාමී තත්ත්වය පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලා සිටියා.

පසුගිය සතිය ඇරඹුණේඅම්පාරේ දී මුස්ලිම් කඩයකින් ලබාදුන් කොත්තු රොටියක වඳ පෙත්තක් තිබුණේ යැයි චෝදනාව මත අම්පාරේ ඇති වු සිංහල මුස්ලිම් සීතල අරගලයක නිමාවත් සමගයි.ලෝකය තුළ කෑම හෝ ඇදුම්වලට දමා වඳ කළ හැකි පෙත්තක් හෝ වෙනත් ක්‍රමයක් නැති බව විශේෂඥ වෛද්‍යවරු පැහැදිලිවම ප්‍රකාශ කිරීමත්තුල අම්පාරේ නොසන්සුන්තාව සමනය වුණා.වඳ පෙත්ත බවට අර්ථ දැක්වූ දේ රසපරීක්ෂක හමුවට පත් කළ අතර එය ඖෂධීය පෙත්තක් නොව ගල් වූ පිටිගුලියක් බවට දැන් පැහැදිලි වාර්තා ලැබී තිබෙනවා.

අනතුරුව තෙල්දෙනියේ දී බීමත් මුස්ලිම් තරුණයන් සිව්දෙනකු ත්‍රීවීල් රථයකින් ගමන් කරමින් සිටිය දී ලොරිරථයක් ඔවුන්ට ඉස්සර කිරීමට ඉඩ නොදුන් බව කියමින්ලොරි රියදුරාට දැඩි ලෙස පහරදීමත් දින03කට පසුව එම සිංහල තරුණයා මියයාමත් සමඟම මුස්ලිම්වරුන්ට එරෙහිව යම් මෙහෙයුමක් දියත්වුණා. පොලිස් ඇදිරි නීතිය මෙන්ම හදිසි නීතිය පවා පැනවීමට සිදුවූයේ ඒතුලයි.

"තරුණයාට පහරදීමට ක්‍රියා කළ අය අල්ලන්න ආණ්ඩුව නියෝග කළත් පොලීසියට ඒ රාජකාරී ඉක්මනින් කරන්න බැරිවුණා. මිනිස්සු කැළඹුණේ ඒකයි"නීතිය හා සාමය වගකීම්ද බාරව සිටි අගමැතිවරයාගේ ස්ථාවරය එයවුණා.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට අගමැතිගේ උපදෙස් මත පොලීසිය විශාල ලෙස යොදවා ගත්තා. එහෙත් හමුදාව එවීමට අදාළ වගකිව යුතු අංශ මදක් පමාවීම පිලිබඳවද මහනුවර ප්‍රදේශය තුළ ඇත්තේ යම් විරෝධාකල්පයක්.

බ්‍රහස්පතින්දා උදේ අගමැති වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට පැමිණෙන විට රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැමිණ සිටියා. "නීතිය හා සාමය ඇමතිකමට මම රංජිත්ව යෝජනා කළා. තව ටික වේලාවකින් ඔහු ඒ ඇමතිකමේ දිවුරුම්දෙනවා, අගමැති තුමා කීවා." එහි සිටි ඇමතිවරු නව ඇමතිවරායට සුබ පැතුවේ ඉන් අනතුරුවයි.

"මහනුවර සිද්ධිය ඒ පලාතේ ජනතාවට වඩා සංවිධානාත්මකව පිටින් ගෙනාපු අයයි කරල තියෙන්නේ. විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක දේශපාලකයන් හිතවතුන් හා ඒ පක්ෂයට සමීප හාමුදුරුවරුත් ඒ මෙහෙයුමේ හිටපු බව බුද්ධි අංශ හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම රංජිත්ගෙ මුල්ම වගකීමයි" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවා. "අම්පාරේ සිද්ධිය ටිකක් දිගට ඇදුනේ පොලීසිය වැරදි "බී" වාර්තාවක් දුන් නිසා ප්‍රදේශය ගිනි තියපු අයට ඇප ලැබීම නිසා බව ප්‍රදේශයේ පවතින මතයයි" කිරිඇල්ල මහතා කිව්වා. "අම්පාර ගිනි තියන්න විපක්ෂ මන්ත්‍රී කෙනෙකුත් හවුල්ලු. ගිනි තියලා ජිනීවා යාම එයාගෙ ජොබ් එකලු. ගුවන් හමුදා බස්එකට ගහන්න කට්ටිය මෙහෙයවලත් තිබෙනවාලු" එජාප නීතිනිළධාරියෙක් කීවා.

"නීතිය හා සාමය පොන්සේකාට නොදුන්නාට ඔහු වගේම එජාපයත් හිතේ අමාරුවෙන් ඉන්නේ. ජාත්‍යන්තර බලවේග මේ සඳහා විපක්ෂ කණ්ඩායම් මෙහෙයවීම පොලීසියේ හා පූජ්‍යපක්ෂයේ ඇතැම් අයත් මේ වැඩේ පොන්සේකාට බාර දෙනවාට විරුද්ධව මෙහෙයවලා තියෙනවා. ශ්‍රීලනිපයත් පොන්සේකාට විරුද්ධ වුණා. ඒක කණගාටුදායක තත්ත්වයක්" ලක්ෂ්මන්කිරිඇල්ල මහතා කිව්වා.

"මහනුවර පලාතෙ පොහොට්ටුවේ අයට විරුද්ධව පොලීසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියල යි ජනතාව කියන්නේ. පොලිස්පතිගෙ උනන්දුව පහලට ගලා ගියේ නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"පොලිස් කොමිසම සිද්ධියක් වුණාම වාර්තා ඉල්ලනවා විතරයි. රාජාංගනේ සිද්ධිය නිදසුනක්. ස්ථානාධිපති මාරුවීම් පවා ඉවක් බවක් නැතුව කරන වෙලාවල් තියෙනවා. මේ අවුල් නිවැරදි කරන්න ඕනෑ" වජිර අබේවර්ධනකීවා.

"බිබිලෙ හාමුදුරු කෙනෙක් උද්ඝෝෂනයක් පටන් අරන්ලු. මම නීතිය හා සාමය බාරගන්න එක ආරංචිවෙලා තිබුණු කළුකොඩි දෙකත් ගලවලාලු" රංජිත් මද්දුමබණ්ඩාර කීවේ සිනා මැදයි.

"නුවරට බස්වලින් සෙනග ඇදලා කලබල කරවල තියෙන්නෙ. සිවුරක් දැක්කම පොලීසිය ගරු කරනවා. ඒත් සිවුරුදාගෙන ඉන්නෙ ඇත්ත හාමුදුරුවොද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා" පීහැරිසන්කියා හිටියා.

48 වැනි උදා ගම්මානය වන නිවාස 22 කින් සමන්විත මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, කිතුල්කොටේ ඉදිවුණු “හෙළසිහගම” සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් ජනතා අයිතියට පත් කරන ලද්දේ බ්‍රහස්පතින්දා පස්වරුවේ දී ය. මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා සහ ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ව්‍යාපෘතියට අදාළ කටයුතු සම්බන්ධීකරණය කරමින් සජිත්ට බොහෝ උපකාර කළා. 1815 උඩරට ගිවිසුමට විරෝධය පළ කරමින් ඌව-වෙල්ලස්ස මහ කැරැල්ල දියත් වූයේ 1817 – 18 කාලයේදීය. “ඌව-වෙල්ලස්ස මහ කැරැල්ලට වසර 200ක් පිරීම නිමිත්තෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළ නව උදා ගම්මාන 11ක් ඉදිකිරීමට මම කටයුතු කරනවා” සජිත්, ආනන්ද කුමාරසිරි වෙත දන්වා සිටියා. “බොහොම ස්තුතියි ඇමැතිතුමා, ඔබතුමා අපේ පළා‍තේ ජනතාව මුහුණ පා සිටින නිවාස ප්‍රශ්නය විසඳීමට ගන්න උත්සාහය අපට ලොකු ශක්තියක්” ආනන්ද කීවා. සජිත් ඊළඟට ඇසුවේ “දැන් ගොවිතැන් කටයුතු එහෙම කොහොමද?”කියාය. “පොහොර ප්‍රශ්නය තමයි” ලැබුණු පිළිතුර වුණා. සජිත් කීවේ “පොහොර සහනාධාර කලින් විදිහටම ගොවීන්ට ලබා දෙන්න ඕනෑ. මං ඒ අහිංසක ගොවීන් වෙනුවෙන් පහුගිය අවුරුදු තුනේම ලොකු සටනක් කළා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට කලින් දීපු ආකාරයටම ඒ පොහොර සහනාධාරය නැවත ගොවීන්ට ලබා දීමට ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් අනුමැතිය ඇතිව කැබිනට් මණ්ඩලය මේ වනවිට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊළඟ යල කන්නයේ ඉඳල නැවතත් පොහොර සහනාධාරය ගොවීන්ට ලැබෙනවා” කියාය‍. ආනන්ද කීවේ “මේක නම් ගොවීන් ලබපු ලොකුම ජයග්‍රහණයක්. අපි දන්නවා ඒ සහනය නැවත ලබා දෙන්න සටන් කළේ ඔබතුමා විතරයි” කියායි.

පසුගිය දා සිදු කරන ලද කැබිනට් සංශෝධනයෙන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා සිකුරාදා උදෑසන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය රාජකාරී කටයුතු භාර ගත්තා. ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී ක්‍රියාකළ අලවතුවල මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ගැන තමන් දැඩි සතුටට පත්වන බව වඡිර ඇමතිතුමා එහි දී කීවා. ජනතා අභිලාශයන් ඉටු කිරීමේ දී ඒ මහතාගේ අත්දැකීම් ඉතා වැදගත් වනු ඇතැයි ද වජිර අමාත්‍යවරයා පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල ආසන බල මණ්ඩල රැස්වීම පසුගිය ඉරිදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ උළුවිටිකේ පිහිටි නිවසේ දී පැවැත්වුණා.

එහි දී ගාල්ල මහ නගර සභාව වසර 16ට පසු ජයග්‍රහණය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඇමතිවරයා සියලුම පාක්ෂිකයන්ට ස්තූති කළා. ඒ සඳහා වෙහෙස වී වැඩ කළ ගම්මට්ටමේ ක්‍රියාකාරිකයන්ට ද අපේක්ෂක අපේක්ෂිකාවන්ට ද ස්තූති කිරීමට ඇමතිවරයා අමතක කළේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා සමීපව කටයුතු කරන වජිර අබේවර්ධන අමාත්‍යවරයා රටේ දැන් පවතින ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි එහි පැමිණ සිටි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියේ ඉදිරියේ තම පක්ෂයට කුමක් වනු ඇත්දැයි දැනගැනීමේ අපේක්ෂාවෙන්.

මුළු ආණ්ඩුවටම විශ්වාස භංගයක් ගේන්න පුළුවන් අගමැති අරමුණු කරගෙන ගේන්න බැහැ. විශ්වාසභංගයක් ආණ්ඩුවට විරුද්ධව ගේනවානම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙනවා.

''අපි 2020 වෙනකන් නෙවෙයි 2025 වෙනකන්ම මේ පාලනය ගෙනියනවා. මැතිවරණයෙන් පස්සේ අපේ ආණ්ඩුව ගැනත් විවිධ අදහස් ප්‍රකාශ වුණා. ඒකත් සම්පුර්ණයෙන් නීති විරෝධීයි. ඒ කතාවෙන් සම්පුර්ණ වැරදි අදහසක් සමාජය ග්‍රහණය කර ගෙන තියෙනවා. දැන් අපි 2015 ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණය කළා. ඊළගට 2015 අගෝස්තු 17 වෙනි දා අපි ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය කළයි කියල කලින් අයගේ බලය තවම අවලංගු වුණේ නෑ. තාමත් ඒ මහ ඇමැති තමයි දකුණේ මහ ඇමැති ශාන් විජයලාල්. අපි දින්නා කියලා අපිට කියන්න බලයක් නෑ මහ ඇමතිට අයින් වෙන්න කියල. එහෙම කියන්න බෑ. ඒ වෙලාවේ අපි බලයට එන විට මේ නගර සභාවල ප්‍රාදේශීය සභාවල සභාපතිලා හිටියා. එතකොට අපිට බලයක් නෑ කියන්න අපි ජයග්‍රහණය කළා කියලා මේ නගර සභාවල ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ට අයින් වෙන්න කියලා. එහෙම එකක් නෑ. හැබැයි සමාජය එතනටත් තල්ලු කරනවා. දැන් ඊළගට බැලුවා ආණ්ඩුව අස්ථාවර කරන්න තවත් ක්‍රම තියෙනවද කියල. ඒ අය ඊට පස්සේ කිවුවා දැන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ක්‍රමයක් අලුත් ආණ්ඩු ක්‍රම විව්‍යස්ථාවේ නෑ. දැන් තියෙන්නේ පරණ ආණ්ඩුක්‍රම විව්‍යස්ථාව නෙවෙයි.

අඟහරුවාදා උදෑසන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැතිය ද එහි දී වැඩිම අවධානයක් යොමුවූයේ මහනුවර දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන්. පසුගිය දා ගිංතොට ඇතිවූ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන ගිංතොට ප්‍රදේශයට ගොස් ආගමික නායකයන් කැඳවමින් සාකච්ඡා කළ ආකාරය පිළිබඳව ද එහි දී අවධානය යොමු වුණා. එදින රාත්‍රී ආරක්ෂක කමිටු රැස්වීමක් ද පැවැත්වුණා. මහනුවර දිසාපතිවරයා හරහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධකරගත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒවා ජනාධිතිතුමාටත් අගමැතිතුමාටත් ලබාදුන් අතර කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිසාපතිවරයාට ද ලබා දුන්නා.

මහනුවර, තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇතිවූ සිදුවීමත් සමඟ පසුගිය 05වෙනිදා පස්වරුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. මේ සිදුවීමත් සමඟ රට පුරා සියලූ දෙනාගේ අවධානය මහනුවරට යොමු වෙමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ද හදිසි හමුවක් සූදානම් කළා. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී අවධානය යොමු වී තිබුණා. ”නැවත වරක් ජාතිවාදී කොලාහලයක් ඇතිවෙන ප්‍රවනතාවයන් වර්ධනය වෙමින් තියෙනවා. මේ රට අවුරුදු 30ක යුද්ධයකින් බැට කාලත් ඒ අත්දැකීම ඇතැම් පිරිස් විසින් තේරුම් අරගෙන නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදය වපුරන එක කරන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියා. ”පහුගිය මැතිවරණය කාලෙ පුරාම පරාජිත කණ්ඩායම ජාතිවාදය වැපිරුවා. ව්‍යවස්ථාව පදනම් කරගෙන ජාතිවාදී මතයක් ගොඩ නැගුවා. ඒ විතරක් නෙවෙයි දියතලාවේ බෝම්බය පදනම් කරගෙන රාජපක්ෂ කණ්ඩායමේ පිරිස් කොටි නැගිටිනවා... කොටි නැගිටිනවා.. කියමින් නැවත ජාතිවාදී ප්‍රවනතාවයක් ඇතිකරන්න කටයුතු කළා. මොකද ඒ කණ්ඩායමට තියෙන එකම අවිය බවට පත්වෙලා තියෙන්නේ ජාතිවාදය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගනවා කියලාවත්, ආර්ථිකය හදනවා කියලාවත්, හොඳ විදේශ ප්‍රතිපත්තියක් හදනවා කියලා වත් ජනතාව එකතු කරගන්න ඒ කණ්ඩායමට බැහැ. මේක රටට මහ ව්‍යසනයක්. අපි මේ ජාතිවාදී ප්‍රවනතාවයට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියා.

”මේ වගේ ජාතිවාදී ගැටුම් ඇතිවෙන එක ආණ්ඩුවටත් වාසියක්. දැන් හැමෝම කතා කරන්නේ අම්පාරේ වඳ පෙත්ත ගැන. තෙල්දෙණියේ සිදුවීම ගැන. රනිල්ගේ විශ්වාසභංගය, රටේ ආර්ථික කඩාවැටීම, ආණ්ඩුවේ බැරි බැරියාව මේ එකක්වත් අද පත්තරවල ප්‍රවෘත්ති නෙවෙයි. ඒ නිසාම ආණ්ඩුව මේ වගේ ගැටුම් මර්දනය කරන්න කඩිනම් පියවර ගන්නේ නැහැ. ඇල් මැරුණු ස්වභාවයක් තමයි ආණ්ඩුවෙන් පේන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

”මේ ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගන්නවා වගේ ලේසි නැහැ බෝතලය ඇතුලට දාන එක. ඒ නිසා මේ ගැටුම් ඇතිවෙන සැණින් නවත්වන්න ඕනෑ. අපි මේ ගැන කතා කරනකොට අපිට ගහන්න බලාගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. නමුත් අපිට කොතරම් අවාසි වුණත් මේ ජාතිවාදී ප්‍රවණතාවයට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. මේකෙදි අපිට විතරක් නෙවෙයි මාධ්‍ය ආයතනවලට අත්හරිය නොහැකි වගකීමක් තියෙනවා. සිවිල් සංවිධාන, ආගමික නායකයින් සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනෑ.” අනුර දිසානායක කිවා. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වා ඇතිවී තිබෙන තත්ත්වයේ අනතුර පිළිබඳව පැහැදිලි කිරීමටත් එමෙන්ම ‘ජාතික සමගිය වනසන ජාතිවාදී ගැටුම් එපා’ යනුවෙන් සහ ‘පාලකයිනි, ජාතිවාදී ගැටුම් වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කරනු!’ යනුවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත් පියවර ගත්තා. ඊට අමතරව සිකුරාදා දිනයේ දී කොළඹ දී සත්‍යග්‍රහයක්ද සංවිධානය කිරීමටද තීරණය වුණා.

මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සහ එම ප්‍රදේශයේ ජනතාව හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය හත්වෙනිදා එම ප්‍රදේශයට ගියා. මුලින්ම මල්වතු නාහිමියන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයා කටයුතු කළා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයා මල්වතු නාහිමියන් සමඟ සාකච්ඡාවක නිතර වුණා. ”පහුගිය කාලේ යම් යම් අය විසින් ඇති කරපු නරක දේවල්වල ප්‍රතිඵල තමයි අද මේ විදියට අපිට දකින්න සිදුවෙලා තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයෙන් ගලවා ගන්න ඕනෑ. රටේ පාලකයිනුත් මේ තත්ත්වය තේරුම් අරගෙන නිසි ක්‍රියාමාර්ග නිසි කලට ගන්න ඕනෑ. අපිට ඔබතුමාලා ගැන විශ්වාශයක් තියෙනවා. ඔබතුමාලා මේ වගේ ගැටුම් ඇතිවීමට විරුද්ධව වැඩ කරනවා කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. ඔබතුමාලාගේ වගකීම තමයි ජනතාවට මේ ඇත්ත තත්ත්වය පහදලා දීලා ජනතාව අතර සමගිය ගොඩනගන එක.” මල්වතු නාහිමියෝ කියා සිටියා.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එයට සම්බන්ධ පක්ෂ හා කණ්ඩායම් අතර මතභේද ගණනාවක් මතුවී තිබෙනවා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක අදහස වී තිබෙන්නේ මෙය අවස්ථාව කරගෙන ආණ්ඩුව පෙරළීම සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යා යුතු බවයි. ඒ සඳහා ආරම්භක පියවර ලෙස හත්වෙනිදා නුගේගොඩදී රැස්වීමක් පැවැත්වීමටද සූදානම්කොට තිබුණා. කෙසේ වෙතත් එම සැලසුම් සියල්ල කල් දමන්නට දැන් සිදුවී තිබෙනවා. එයට හේතුව පිරිසක් වෙනත් අදහසක් දැරීමයි.

මැතිවරණයෙන් පොහොට්ටුව ආයතන 232 ක් ජයගෙන ඇති බව මතුපිටින් පෙනුණත් එයින් එකසිය පනහක පමණ තුළ එම පක්ෂයට බහුතර බලය ලැබී නෑ. එම තැන්වල එජාපය, ශ්‍රීලනිප හා වෙනත් පක්ෂවල හවුල් පාලනයක් බිහිවන බව පෙනෙන්නට තිබෙනවා. මෙම ජයග්‍රහණය පිටුපස සිටින මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබෙන්නේ පළාත් පාලන ආයතන වැඩි ගණනක කෙසේ හෝ බලය පිහිටුවීමත්, ඒවා ක්‍රියාකාරී ආයතන බවට පත්කරගැනීමත් සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බවයි. මේවාට පත්වී සිටින බොහෝදෙනාට පාලනය ගැන අවබෝධයක් නොවීමද ගැටලුවක් වී තිබෙනවා.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ උත්සාහය තුළද ඒකාබද්ධ විපක්ෂ‍ෙය් ගැටුම් ඇතිවුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ද විශ්වාසභංගයට අත්සන් කර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවද ඒ වනවිට එබඳු ලියැවිල්ලක් සකස් කොට තිබුණේද නැහැ. පසුව කරුණු දහහතරකින් යුතු යෝජනාවක් සකස් කළද එජාපයේ හෝ ශ්‍රීලනිපයේ කිසිවකු එයට අත්සන් කරන්නට ඉදිරිපත් වූයේ නැහැ. විමල් වීරවංශ උදය ගම්මන්පිල කණ්ඩායම විසින් සකස් කළ ලියැවිල්ලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක්ද අත්සන් කළේ නැහැ. ඔවුන් කීවේ එජාප හා ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ අත්සන් නැතිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ තේරුමක් නැති බවයි. ඡන්දය දෙන මොහොතේ එම පක්ෂවල උදවිය සහය දෙනු ඇතැයි ගම්මන්පිල ඇතුළු පිරිස තර්ක කළද එයට බහුතරයේ පිළිගැනීම හිමිවූයේ නැහැ.

අඟහරුවාදා වනවිට විශ්වාසභංග භාරදීමට මුලින් තීරණය කොට තිබුණද එය නවතා එදින පාර්ලිමේන්තුවේදී රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට මෙම ප්‍රශ්නය යොමුකරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවති එම රැස්වීමේදී තීරණය වූයේ විශ්වාසභංගය ගැන අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවයි. පොදු එකඟතාවක් ඇතිකරගන්නා තෙක් විශ්වාසභංග යෝජනාව කල්දැමීමට එහිදී තීරණය වුණා. එමෙන්ම බදාදා නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමද කල්දමන්නට තීරණය කළා.

ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ එතෙක් පැවැති ජයග්‍රාහි මුහුණුවර එක්තරා ප්‍රමාණයක පරාජිත තත්ත්වයකට පත්වුණා.

නව අදහස දක්වන්න