ඇමැතිතුමනි! | දිනමිණ

ඇමැතිතුමනි!

නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍යතුමනි, ඔබ ඉදිරියෙහි බරපතළ අභියෝග රැසක් තිබේ. එම අභියෝග ඔබට පමණක් නො ව: මේ රජයට ද, රටටද අභියෝග බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, යුරෝපා සංගමය හා බලවත් රටවල් ද එම අභියෝගය නැවත - නැවත මතුකරන කොටස්කාරයන් බවට පත් ව තිබේ. ඒ හැරෙන්නට බලවත් රටවල් ද අපට අභියෝගයක් එල්ල කර තිබේ. එම අභියෝග පසුපස ඇති එක ම කාරණය මානව හිමිකම් ය. නැතහොත් මානව අයිතිවාසිකම් ය. අමෙරිකාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඒ ගැන කෙළින්ම අදහස් දක්වා තිබේ.

ඇමැතිතුමනි, අප ඉදිරියෙහි ඇති යථාර්ථවාදී චිත්‍රය බොරුවක් නොවේ. එලෙසම එය සරල එකක් ද නොවේ. සත්‍යය ප්‍රකාශයට පත් කළහොත් වාර්ගික හා ආගමික ගැටුම් පවත්නා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව කුප්‍රකට වී ඇත. නිදහස ලබා වසර හැත්තෑවක් ගත වී ඇතත් ‍රටේ වාර්ගික වෛරය, ආගමික වෛරය හා ප්‍රචණ්ඩකාරීත්වය නැවැත්වීමට තව ම අප සමත් වී නැත. තිස් අවුරුදු භයානක යුද්ධයක් මතුවූයේ ද ජාතිය හා ආගම පදනම් කරගෙන ය. එයින් අදහස් වන කරුණු දෙකක් තිබේ. එක; නීතිය හා සාමය හරිහැටි ක්‍රියාත්මක වී නැති බව ය. දෙක; ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට අවශ්‍ය අවබෝධාත්මක පරිසරය සැකසී නැති බව ය.

ජාතීන් අතර ද, ආගම් අතර ද අවබෝධාත්මක ගනුදෙනුවක් ඇතිවීමට පෙර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව අපගේ විශ්වාසය වන්නේය. නීතියේ ආධිපත්‍යය නැති කිසිදු රාජ්‍යයක් ගැටුම් කළමනාකරණය කළ දියුණු රාජ්‍යයක් බවට පත් වී ඇත්තේ ද නැත. එහි අදහස වන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම පළමුව සිදුවිය යුතු බවය. පුළුල් හා ස්වාධීන නිරීක්ෂණයක නියුතු වුවහොත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. වත්මන් සිද්ධි පිළිබඳ නිදසුන් කිහිපයක් ගතහොත් මහනුවර කලාපයට ඇඳිරි නීතිය හා හදිසි නීතිය බලපවත්වන කාලය තුළ ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වී ඇත. ඇතැම් ජනමාධ්‍ය මේවා ප්‍රකාශයට පත්කර ඇත. එවැනි දේවල් සිදු නොවිය යුතුය.

මේ සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක යෙදෙන විට යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන ද කතා කළ යුතුය. යහපාලනය යනු සියල්ල ඉවසා සිටීම නොවේ. රාජ්‍ය බලය හා පොලිස් බලය පාවිච්චි නොකර සිටීම ද නොවේ. යහපාලනය යන්න වරදවා වටහාගැනීම මේ කාලය තුළ සිදු වූ බලවත් වැරැද්දකි. නිදසුනක් ‍සඳහන් කළ හැකිය. යහපාලන ආණ්ඩුව යටතේ ගෙවී ගිය වසර ‍තුනක කාලය තුළ වැඩවර්ජන හා මහජන උද්ඝෝෂණ තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇත. මේ සෑම උද්ඝෝෂණයක් ම අවසන් වී ඇත්තේ බලවත් විනාශයක් සිදුකරමින් ය. උද්ඝෝෂණ තිබිය යුත්තේ ඉල්ලීම් දිනාගැනීමට මිස රටට හා ආර්ථිකයට හානි සිදු කිරීමට නොවේ. මේ හානිය වළක්වා ගැනීමට යහපාලන ආණ්ඩුවේ පොලිසිය හා ආරක්ෂක අංශ සමත් වූයේ නැත. එය මහජනයාගේ විඥානයට යන්නේ අරාජික තත්ත්වයක් හැටියට ය.

දිගන, තෙල්දෙණිය මහනුවර කලාපයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලට අදාළව එකසිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. තවද මේ වාර්ගික ගැටුම්වලට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධාන කළ කුමන්ත්‍රණකරුවෝ දසදෙනෙක් ද අත්අඩංගුවට ගෙන සිටිති. මෙය හොඳ තත්ත්වයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පෙන්වා දෙන්නේ වාර්ගික ගැටුම් ඇතිකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු යන්නය. කුමන්ත්‍රණයේ මහ මොළකරු අත්අඩංගුවට ගත් බවක් ද කියති. ඔහුගේ නම පවා පුවත්පත්වල සඳහන් විය. එහෙත් මේ සැබෑ නායකයා ද යනු ප්‍රශ්නයකි. මීට ඉහළින් ක්‍රියාත්මක වන ශක්තිමත් පුද්ගලයෝ රැසක් කුමන්ත්‍රණය පසුපස සිටිති. එය හෙළිදරව් කළ යුත්තේ රටේ ආරක්ෂක අංශ බව අපගේ පිළිගැනීමය. මේ සිද්ධි - කුමන්ත්‍රණ හා යථාර්ථය දන්නේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ බව අමුතුවෙන් කිවයුතු නැත.

ඇමැතිතුමනි, ‍බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිවැරැදි ලෙස ද කාර්යක්ෂම ලෙස ද ක්‍රියාත්මක වූයේ නම්; මහනුවර ගැටුම ඔය තරමකට උත්සන්න වන්නේ නැති බව බොහෝ දෙනාගේ හැඟීම වී ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ඇත්නම්; එය ක්‍රියාත්මක නො කර සිටින්නේ කාට බියෙන් ද යන්න ඇසිය යුතුව තිබේ. මහනුවර කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අය දසදෙනෙකු ඇති බව ද ඉන් අට දෙනකු පිටස්තරයන් බව ද හෙළිදරව් වී ඇත. මෙය සංවිධානාත්මක ක්‍රියාවලියක් බව හඳුනාගැනීමට එම තොරතුරු වුව ප්‍රමාණවත් ය. මේ අය රැඳී සිටිය ස්ථාන, ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසූ පුද්ගලයන් පමණක් නො ව; කුමන්ත්‍රණයට සහයෝගය දැක්වූ අය ද අත්අඩංගුවට ගත යුතුය. ඔවුන් උදෙසා නීතිය නිවැරැදි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.

ඇමැතිතුමනි, රට දෙස බලන්න, එක අතෙකින් ජාතිවාදී කණ්ඩායම් නැඟී සිටිති. තව අතෙකින් ආගමික අන්තවාදී සංවිධාන නැඟී සිටිති. තවත් අතෙකින් පාතාල කණ්ඩායම් පොලිසිය ද යටපත් කරගෙන මැර ක්‍රියාවල යෙදෙති. ආර්ථිකය හා සම්බන්ධ මාෆියා සංවිධාන වෙන ම ක්‍රියාත්මක වෙති. මේවා මර්දනය නොකොට සාධාරණ සමාජයක් ගොඩනැඟීම කිසිසේත්ම කළ නො හැකිය. ශීලාචාර සමාජයක් ගැන කතා කරන්නට පෙර සාධාරණ හා යුක්තිසහගත සමාජයක් ඇතිකළ යුතු ය. යක්ෂයන්ගේ නම්වලින් පවා හඳුන්වන ආගම්වාදී හා ජාතිවාදී සංවිධාන රටේ පවතී. ඒව‍ායෙහි නායකත්වය දරන ප්‍රබල පුද්ගලයන්ට පොලිස් නිලධාරීහු පවා බිය වෙති. මෙය වෙනස් කළ යුතු ය.

විවිධ නම්වලින් පෙනී සිටින හා ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන හා එහි නායකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට මැළිවන ඇමැති කෙනකු පිළිගන්නට අපේ සමස්ත පුරවැසියා කැමැති නොවනු ඇත. එබඳු තත්ත්වයකට සහාය වන රජයකට සහයෝගය දක්වන්නට ද මහජනයා අකැමැති වනු ඇත. සාමාන්‍ය ජනතාව ජාතිවාදී හෝ ආගම්වාදී හෝ ගැටුම් ඇවිලවීමට මූලිකත්වය ගන්නේ නැත. මේ ගැටුම් පසුපස ඇත්තේ සංවිධානාත්මක කල්ලි බව කිව යුතුය. යුක්තියේ නාමයෙන් රටේ ආරක්ෂක අංශ එම කල්ලි මර්දනය කළ යුතුය. එසේ නොවුණහොත් ආරක්ෂක අංශවලට නායකත්වය සපයන පුද්ගලයා ගැනද විවේචන එල්ල වනු ඇත.

 


නව අදහස දක්වන්න

Or log in with...