පිස්තෝලය ගත් ප්‍රභූ කාන්තාව! | දිනමිණ

පිස්තෝලය ගත් ප්‍රභූ කාන්තාව!

 

එතුමිය සැරසී සිටියේ සුදු පැහැති කමිසයකින් හා තද කළු පැහැති ‘ජින්ස්’ කලිසමකින් ය. බැලූ බැල්මට පෙනී යන්නේ අවංක - නිහතමානී - යුක්තිගරුක - වැදගත් හා සුන්දර ප්‍රභූ කාන්තාවක හැටියට ය. ඇගේ කොණ්ඩා මෝස්තරය, සිරුරේ පැහැය හා හැඩය මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරනු ඇත. එහෙත් ඇගේ දකුණතෙහි මිලිමීටර් නවයේ පිස්තෝලයකි. ගිනි අවිය අමෝරාගත් මේ වැදගත් මහත්මිය කෙට්ටු මිනිසකුගේ හිසට හා මුහුණට දිගට - හරහට පහර දෙන්නට වෙයි. ඒ නිකම්ම නොවේ. පරුස වචනත් කියමින් ය. තවත් දෙදෙනකු ගැටුමට එකතු වෙති. ඊළඟට පිරිමි දෙදෙනා කෙට්ටු මිනිසා බිම දමාගෙන අල්ලාගෙන සිටිති. ප්‍රභූ කාන්තාව සිය ප්‍රතිමල්ලවයාට පයින් ද පහර දෙන්නීය.

අපට මේ දර්ශන පෙළ නරඹන්නට ලැබුණේ රූපවාහිනිය ඔස්සේ ය. එම දර්ශන පෙළ නරඹන විට එක අතෙකින් දකුණු ඉන්දියාවේ ක්‍රියාදාම චිත්‍රපට සිහිපත් වෙයි. එම චිත්‍රපටවල මැරයෝ ද මේ අයුරින් අහිංසකයන්ට පහර දෙති. ඔවුන්ගේ බෙලි කපති. ඇතැම්විට වෙඩි තබති. එහෙත් මේ චිත්‍රපට දර්ශනයක් නොවේ. හරියට ම අන්තර්ජාතික කාන්තා දිනයට පසු දින තලංගම කොස්වත්ත බස් නැවතුමේ දී මෙය සිදුවිය. දකුණු ඉන්දීය චිත්‍රපටවල මැරයන් දුප්පතුන්ට පහර දෙන විට ඔවුන් බේරාගැනීම සඳහා වීරයෙක් කඩා පනී. එහෙත් මේ සිද්ධියේදී කෙට්ටු මිනිසා බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. පහරකෑමට ලක්වූයේ දුප්පත් බස් රථ රියැදුරෙකි. ප්‍රහාර එල්ල කළෝ දකුණු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. කසුන් මහතා හා ඔහුගේ ප්‍රිය බිරිඳ ය.

තුවාලකරුවා රෝහලේ ය. සැකකාරයෝ අත්අඩංගුවේ ය. සිද්ධියට මුල් වී ඇත්තේ කුමක් දැ’ යි සොයා බැලීම වැදගත් ය. සැකකාරයන් සුඛෝපභෝගී රථයකින් පැමිණ තිබූ අතර එම වාහනය බස් නැවතුම අවහිර වන ලෙස නවත්වා තිබී ඇත. බස් රථ රියැදුරා සුඛෝපභෝගී රථය එතැනින් ඉවත් කර ගැනීමට සංඥා කරමින් දිගටම නළාව හඬවා තිබේ. එහෙත් රථය එතැනින් ඉවත් කරගෙන නැත. පසුව බස් රථ රියැදුරා සිය වාහනයෙන් බැස සුඛෝපභෝගී රථය වෙත ගොස් එය ඉවත්කරගන්නැ’යි කියා ඇත. ඔහු ඊට ප්‍රතිචාර ලබන්නේ ගුටි බැටවලින් ය. අප දන්නා හැටියට බස් නැවතුම්පොළවල වෙනත් රථ නවතා බස් ගමනාගමනයට බාධා කරන්නේ නැත. මෙහි ඇත්තේ නීතිය කණපිට පෙරැළීමකි. ධන බලය, පිරිස් බලය, මැර බලය කොයි තරම් වැරැදි සහගත ලෙස භාවිත වන්නේ ද යන්න මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

මේ සිද්ධියත් සමඟ ජනතාව අවබෝධ කරගත යුතු දේශපාලන කරුණු කිහිපයක් තිබේ. එයින් ප්‍රධාන වන්නේ දේශපාලනයට හෙවත් මහජන සේවයට කැපවන්නේ යැයි කියන චරිතවල හැසිරීම යි. යක්ෂණියක සේ අහිංසක පිරිමියකුට පා - පහර දෙන්නේ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ ප්‍රිය බිරිඳ ය. එම පහරදීම්වලින් මන්ත්‍රී බිරියගේ මහජන සේවයත් ඇයගේ තිරිසන් හැසිරීමත් හොඳ හැටි තේරුම් ගත හැකි ය. මන්ත්‍රීවරයා එම්.කේ. කසුන් වන අතර ඔහුගේ පියා එම්.කේ. රංජිත් ය. පියා කොළඹ දී ඇතිවන ගැටුමකින් මිය යන අතර ඔහු හඳුන්වා ඇත්තේ චණ්ඩිමල්ලී යන නමින් ය. මේ ඉතිහාසය අනුව බලන විට; ප්‍රචණ්ඩත්වය ජාන හරහා ගලාඑන්නට පුළුවන. දේශපාලනය අනුව ගලා එන්නටත් පුළුවන.

මේ අයගේ දේශපාලනය තුළ ඇත්තේ තමන් ලොක්කා ය යන හැඟීම ය. ඒ අනුව සාමාන්‍ය ජනතාව හැමවිට ම ඔවුනට යටත් විය යුතු ය. නීතිය ඔවුන් ඉදිරියේ නම්‍යශීලී විය යුතු ය. මහත්මා ගාන්ධිතුමාට දකුණු අප්‍රිකාවේ දී කෝච්චියෙන් බිමට ඇද පහර දුන්හ. එහෙත් එතුමාගේ දේශපාලනයේ මූලික ධර්මතාව වූයේ අවිහිංසාව හා මහජන සේවය යි. ගාන්ධිතුමා තමාට පහර දුන් කෙනකුට හෝ විපතක් කරන්නට ගියේ නැත. කොස්වත්ත සිද්ධියේ වරද සිදු කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරයා ගේ පිරිස මිස බස් රථ රියැදුරා නො වන බව ඕනෑම කෙනකුට පැහැදිලි වනු ඇත. එහෙත් අවසානයේ සිදුවූයේ වරද පෙන්වාදීමට ගිය අයට ගුටිකෑමට ය. හරි නම්;සිදුවිය යුතුව තිබුණේ ඉහත පිරිස බස් රථ රියැදුරාගෙන් සමාව ගෙන රථය වෙනත් තැනක නතර කිරීම ය. එහෙත් ඔවුන්ගේ අධිමානය ඊට ඉඩදී නැත.

රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය තව ම අවසන් වී නැත. එහෙත් ඔහු ඝාතනය කළේ කවුද යන වග පිළිබඳ නිගමනයක් සාමාන්‍ය ජනතාව තුළ ඇත. රටේ ප්‍රභූ පන්තිය නියෝජනය කරන ඉහළ ම තැනැත්තකුගේ පුත්‍රයාට වඩා හොඳින් තාජුඩීන් ක්‍රීඩා කළේ ය. එලෙස ම ප්‍රභූ පුත්‍රයා හා ඔහු අතර පෙම්වතියකට අදාළ ගැටුමක් තිබූ බවද කියති. මෙහි ප්‍රතිඵලය වූයේ තාජුඩීන් නම් ක්‍රීඩකයාට මරණයෙන් වන්දි ගෙවීමට සිදුවීම ය. මහජන මතය ඇත්තේ ඒ අයුරින් ය. ප්‍රභූ පන්තියේ එක් සිරිතක් වන්නේ තම පාර්ශ්වයට අභියෝගයක් වන පුද්ගලයන් ක්‍රීඩා භූමියෙන් ඉවත් කිරීම ය. මේ ක්‍රමවේදය පසුගිය කාලය තුළ ඉතා හොඳින් පැවැතිණි. ජනවාරි වෙනසින් පසු එයට තිත තැබූයේ යැයි කියූව ද මුළුමනින් ම එවැන්නක් සිදු වී නැති බව කොස්වත්ත සිද්ධියෙන් පැහැදිලි වෙයි.

මෙබඳු ප්‍රචණ්ඩකාරී දේශපාලන හැසිරීම් නිසා ඉතා වැදගත් මහත්වරු දේශපාලන භූමියෙන් ඉවත් වී කරබාගෙන සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ මහජන සහයෝගය ඉහළින් ම ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පසුකාලීනව දේශපාලනයෙන් ඉවත් විය. ප්‍රති විරුද්ධ දේශපාලකයෝ ඔහුගේ ජාතිය හා ආගම කේන්ද්‍ර කොට නිරන්තරයෙන් ම ගැටුම් ඇති කළ හ. වරක් ඔහුගේ පුත්‍රයාට පහර දුන්හ. එහෙත් ඔහු ප්‍රති - ප්‍රහාර එල්ල කිරීමට ගියේ නැත. යුක්ති ධර්මය හා දෙවියන් සියල්ල බලාගනු ඇතැ’යි ඔහු කියා සිටියේ ය. පසුව ඔහු දේශපාලනයෙන් ඉවත් වූයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැඩි කලකිරීමකින් යුතුව ය. මෙබඳු දේශපාලන මහත්වරු ගණනාවක් ම පසුගිය කාලය තුළ දේශපාලනයෙන් ඉවත් වූ‍හ. එහි පාඩුව ඇත්තේ ජනතාවට ය. වාසිය ඇත්තේ මැර දේශපාලකයන්ට ය.

ඉතා පැහැදිලිව කිවහොත් අද ප්‍රචණ්ඩත්වය සියතට ගෙන ඇත්තේ පරාජිත දේශපාලන ප්‍රවාහයැයි කියන්නට පුළුවන. මහනුවර - දිගන සිද්ධි පසුපස ද, අම්පාර සිද්ධි පසුපස ද දේශපාලන බලපෑම් ඇති බව පෙනී ගොස් තිබේ. මේ දේශපාලන ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ ජාතිය, ආගම පමණක් නො ව; තම පන්තිය හා තම පිල නියෝජනය කරමින් සාහසික ක්‍රියා ඇති කිරීම ය. තම පිල නියෝජනය නොකරන සියල්ලන්ම විනාශ කිරීම ඔවුන්ගේ එක අභිලාසයක් වී ඇති බව පෙනෙයි. බලය නැති කොට; මහ පාරේ යක්ෂයන් ලෙස හැසිරෙන අය බලය ලැබුණහොත් කෙබඳු හැසිරීමක් ප්‍රකට කරනු ඇති ද? එවැන්නක් උපකල්පනය කිරීම ද ඇඟ හිරිවට්ටන දෙයකි. 

 


නව අදහස දක්වන්න