මාතර සිත්තරාවිය දිනූ | දිනමිණ

මාතර සිත්තරාවිය දිනූ

ඇය කුඩා කල සිටම සිතුවම් නිර්මාණය කිරීමෙන් තම හැකියා ඔප් නංවා ගත්තා ය. මේ වන විට දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක වී සිටින ඇය, ජනප්‍රිය පුද්ගලයන් හා වෙනත් විවිධ දේ සිතුවමට නගමින් , වෘතියක් ලෙස සිතුවම් නිර්මාණකරණයේ යෙදී සිටින්නීය. නමින් එම්. පී. ඉරේෂා දිනූ නදිරංගනී වන ඇයගේ ගම් ප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ යටියන, තැන්නහේනවත්තයි.

ඇය සිය නිර්මාණකරණයේ ආරම්භය පිළිබඳ , සිය මතකය අවදි කළේ මෙසේ ය.

" මම කුඩා අවධියේ ඉඳන් ම චිත්‍ර ඇන්දා. මගේ තාත්තත් චිත්‍ර ඇඳලා තියෙනවා. තාත්තාගේ අභාසය මට ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ගස් වැල්, ගල්, මල්, සතුන් ඇඳීම තමයි මගේ මුල්ම පියවර වුණේ. ඊට හේතුව, පාරිසරික දේට තිබූ දැඩි ආශාව කියලයි මම හිතන්නේ.

දහම් පාසල් මාණ්ඩලික තරගවලින්, චිත්‍ර අංශයෙන් මම ජය ලබලා තියෙනවා. ඒ නිසා ම මං, සාමාන්‍ය පෙළ විභාගයටත් චිත්‍ර විෂය තෝරා ගත්තා.

මම විදේශගතව සිටිද්දි අමෙරිකන් ජාතික කැතරින් පීටර්සන් මහත්මිය යටතේ වසර කිහිපයක් සේවය කළා. මෙහෙම සේවය කරන කාලය අතරතුර, විනෝදය සඳහා මම කළේ චිත්‍ර අඳින එකයි. මගේ චිත්‍ර දුටු කැතරින් මහත්මිය," මම ඔයාට උදවු කරන්නම්" කියලා චිත්‍ර අඳින්න සඳහා අවශ්‍ය වන ඉතා වටිනා චිත්‍ර පොත්, පැන්සල් ආදී දේ මට ගෙනත් දුන්නා. එහෙදි, මම චිත්‍ර විෂය පිළිබඳ බොහෝ දේ අන්තර්ජාලය හරහා ඉගෙන ගත්තා. කැතරින් මහත්මිය මවක් ව‍ගේ ආදරයෙන් මා දිරිමත් කළ නිසාම, මම තව තවත් චිත්‍ර ඇන්දා. එහිදී මගේ හැකියාව ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා.

මම ශ්‍රී ලංකාවට පැමිණියාට පස්සේ රැකියාවක් ලබා ගැනීම සඳහා රජයේ විභාගවලට පෙනී සිටියා. එහෙත් ඒ ගමන සාර්ථක වුණේ නෑ. මම චිත්‍රවලට ආශා කළ නිසාම, සිතුවම් ඇඳීම නතර කළෙත් නෑ. මගේ සිතුවම් ,Dinu’s Portraits / Dinu Nadirangani / Dinu Nadirangani II Facebook පිටු හරහා පළ කළා. මාගේ සිතුවම් දුටු ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල අය, එම නිර්මාණ අගය කරන්න පටන් ගත්තාම , මට බොහෝ සතුටක් දැනුණා. චිත්‍රවලට කැමැති, ඇතැම් අය මා ලවා ඒ අයගේ සිතුවම් අන්ඳවා ගත්තා පමණක් නෙමෙයි, එයට මුදලින් වටිනාකමක් ද දුන්නා. මෙතැනින් තමයි මම චිත්‍ර ඇඳීම වෘත්තියක් විදිහට තෝරා ගත්තේ. එහෙත් ඇතැම් අය මා ලවා චිත්‍ර අන්ඳවාගෙන, එයට වටිනාකමක් නොදුන් අවස්ථාත් තිබෙනවා.

මේවන විට නොයෙක් දෙනාගේ ඉල්ලීම මත කෙටි කාලයක් තුළ පුද්ගල මුහුණු සිතුවම් 100 කට අධික ප්‍රමාණයක් ඇඳීමට මට අවස්ථාව උදා වුණා. දැනට මම පදිංචි වෙලා ඉන්නෙ කැලණිය ප්‍රදේශයේ. ගෙදර ඉඳගෙනම තමයි මම චිත්‍ර අඳින්නෙ. උපන්දින තෑගි සඳහා, නොයෙක් විශේෂ අවස්ථා සඳහා මම පුද්ගල මුහුණු ආදී ජායාරූප සාධාරණ මිලකට ඇඳලා දෙනවා.

ඒ අතර ජනප්‍රිය නළු නිළියන්ගේ වගේම, ජනප්‍රිය ගායක ගායිකාවන් හා සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ සිතූවම් නිර්මාණය කිරිමට හැකියාව ලැබුණා. මගේ ඉදිරි අරමුණ, චිත්‍ර කලාවෙන් ම ඉදිරියට යෑමයි . මම අධිතාත්වික සිතුවම් අඳින්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මගේ තාත්තා, අම්මා, මුහුණු පොතේ මාගේ චිත්‍ර දැක මා දිරි ගැන්වූ සියලූ ශ්‍රී ලාංකේය සහ විදේශීය මිතුරන්, මා ලවා සිතුවම් ඇඳගත් අය, මාගේ ගමනට ශක්තියක් වූ හැම දෙනාට ම මම අවංක ස්තුතිය පුද කරනවා." ඇය පවසන්නී ය.

"මේ කලාව මඟින් මට මගේ ජීවිතය සාර්ථක කර ගන්න හැකි වුණා. ඒ වගේ, තමන් දන්න දේ මඟින්, තම හැකියාව හඳුනාගෙන, තම ජීවිතය එළි කර ගන්නට කාන්තාවන් සිතට ගත යුතුයි. මට දිගු ගමනක් එන්න හැකි වුණේ, හිතේ ශක්තිය, ධෛර්යවන්තකම සහ නොසැළෙන අධිෂ්ඨානය නිසයි. දිරිමත්ව, හිතට අරගෙන ඉදිරියට යන්න හිතුවොත්, ඔබටත් ජීවිතය ජය ගන්න පුළුවන්."දිරිමත් සිතින් යුතුව ඇය පවසන්නීය.

සටහන හා ජායාරූප
රෝහණ ආරියරත්න
හම්බන්තොට විශේෂ

අදහස් 1ක් ඇත

මා පිළිබඳව දිනමිණ පත්තරයේ ලිපියක් පළ කරදුන් රෝහණ ආරියරත්න මහතාට සහ කාර්යමණ්ඩලයට අවංක ස්තුතිය පුද කරමි.

නව අදහස දක්වන්න