ආණමඩුවේ...මදීනා හෝටලය! | දිනමිණ

ආණමඩුවේ...මදීනා හෝටලය!

 ආණමඩුවේ මදීනා හෝටලය මුළු පළාතට ම ආහාර සැපයූ ස්ථානයෙකි. නගරයට එන කවුරුත් පාහේ මදීනා හෝටලයට ගොඩවැදී සප්පායම් වන්නට අමතක නොකළහ. හෝටලයේ අයිතිකාරයා මොහොමඩ් රහීම් ය. ඔහු ගැන නොදන්නා කෙනකු ඒ පළාතේ නැත. ජාතිවාදී කලබල පැතිර ගිය ද, ආගම්වාදී හර්තාල් පැතිර ගිය ද මේ හෝටලයට අත තබන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ඇතැම්විට රහීම් නිසගයෙන්ම ගෙන ආ මනුස්සකම ද ඊට හේතුවක් වන්නට ඇත. මහනුවර - දිගන කලබල පැවැති සමයේ පවා මදීනා හෝටලයේ දොරවල් සියලු දෙනා සඳහා විවෘත විය. එහෙත් කලබල අවසන් වී දිනක් - දෙකක් ගතවූ තැන පිරිසක් කඩාවැදී මදීනා හෝටලයට පහර දුන්හ.

හෝටලයට පහර දෙන බව ආරංචි මාත්‍රයෙන් දැනගත් ආණමඩුවේ සිංහල ප්‍රජාව වහා එතැනට පැමිණ සිද්ධිය ගැන විපරම් කරන්නට වූහ. ඒ වනවිටත් ප්‍රහාරකයන් පලාගොස් තිබිණි. එතැනට රැස්වූ සිංහල ප්‍රජාව අසල්වැසි සියලු දෙනාට ආරාධනා කොට රැස්වීමක් පැවැත්වූහ. මේ රැස්වීමට දේශපාලකයකු වන රංගේ බණ්ඩාර මහතා ද පැමිණ සිටියේ ය. ඔහු පිරිසට නායකත්වය දුන්නේය. පිරිස එක හඬින් කියා සිටියේ අද රාත්‍රිය වන්නට පෙර මදීනා හෝටලය පිළිසකර කොට යළි විවෘත කළ යුතු බව ය. කඩි ගුලක් ඇවිස්සුණා සේ සියලු දෙනාම වැඩ කරන්නට පටන් ගත්හ. රාත්‍රිය වීමට පෙර වැඩ අවසන් ය. ඒ අතර ආහාර ද සකස් විය. රාත්‍රියේ සියලුදෙනා එතැනින් පිටව ගියෝ මදීනා හෝටලය යළි විවෘත කරමින් ය.

අපට හැ‍ඟෙන පරිදි මේ වනාහී ශ්‍රී ලංකාවේ ජාතිවාදීන්ට දුන් කනේ පහරකි. ආගම්වාදීන්ට දුන් කනේ පහරකි. අන්තවාදීන්ට ලබා දුන් දරුණු පා පහරකි. ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රජාව අතරින් බහුතරය ජාතිවාදී නොවෙති. ආගම්වාදී නොවෙති. අන්තවාදී ද නොවෙති. මදීනා හෝටලයට පහරදී ඇත්තේ ප්‍රදේශයට පිටින් පැමිණි හයදෙනකු බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත. පොලිසිය ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත. ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවන්නේ සංවිධානාත්මක දේශපාලන කල්ලි නිසා බව මෙයින් පැහැදිලි වෙයි. ආණමඩුවේ සියලු මුදලාලිලා මදීනා හෝටලය නැවත විවෘත කරන්නට උපකාර කර ඇත. ගැටුම් ඇතිකරන්නේ පිට පළාත්වලින් කඩාවදින සංවිධානාත්මක පිරිස් බව මෙයින් පැහැදිලි වෙයි.

ජාතිවාදය පරාජය කළ හැක්කේ ප්‍රබුද්ධ ජනතාව ඒකරාශී වීමෙන් ය. ආගම්වාදය පරාජය කළ හැක්කේ බුද්ධිමතුන් ඒකරාශී වීමෙන් ය. මේ ඒකරාශී වීම හා එකට සහයෝගයෙන් කටයුතු කිරීම දිගට ම පැවතුණහොත් අන්තවාදය ඉබේම පරාද වනු ඇත. එහෙත් 1948 නිදහස ලබාගත් දා පටන්ම ඒ සඳහා වූ ප්‍රයත්නයන් මද බව පෙනී යයි. නිදහසෙන් පසු වසර හැත්තෑවක් ගෙවී ඇතත් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් අවසන් කිරීමට අප අසමත් වී ඇත. 2017 ශ්‍රී ලංකාවේ තත්ත්වය විග්‍රහ කරමින් ද “ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල්” ආයතනය ශ්‍රී ලංකාව විවේචනය කර තිබේ. මෑතකාලීන ගැටුම් පාදකකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ලෝකයේ පවත්නා මානව හිමිකම් සංවිධාන, නීති සංවිධාන, නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ සංවිධාන පමණක් නොව; එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ජාතිවාදී දේශපාලන කණ්ඩායම්වල විවේචනයට ලක්වනු දැකිය හැකිය. ඔවුන්ගේ තර්කය වන්නේ මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ බවය. නැතහොත් ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමක් බව ය. මේ චෝදනා දියුණු රටවල සැලැකිල්ලට ලක්වන්නේ නැත. ඔවුන්ගේ අදහසට අනුව ඒවා විහිළු ලෙස බැහැර කළ යුතුය. එහෙත් අන්තර්ජාතික සහයෝගයකින් තොරව ශ්‍රී ලංකාව වැනි රටවලට අනාගතයක් නැත. මේ බව ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන නොදන්නවා යැයි කිව නොහැකි ය. ඔවුන්ගේ කල්පනාව යොමුවන්නේ පවත්නා තත්ත්වයන් යටතේ බලය උදුරා ගැනීමය. රට හා ජාතිය විනාශ මුඛයට ගිය ද බලය ඔවුනට වැදගත් වේ.

ආණමඩුවේ මදීනා හෝටලයට සම්බන්ධ සිද්ධියට සමාන සිද්ධි තවත් බොහෝ තැන්වල සිදු වී ඇත. මහනුවර, උඩතලවින්න ගම හා ඒ අවට ප්‍රදේශ හර්තාලයෙන් මිදුණේ ද මෙබඳු එකමුතුවක් නිසා ය. එම ගම්මානයේ විහාරාධිපති හිමියන් සේම පල්ලියේ මව්ලවිතුමන් ද එක පැත්තක සිට ගම බේරා ගැනීමට සංවිධාන වූහ. සිංහල ප්‍රජාව මෙන්ම මුස්ලිම් ප්‍රජාව ද එක මතයක සිට අන්තවාදයට විරුද්ධ වූහ. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ ඒ ‍මොහොතේ ගමට එන බාහිර බලවේග නැවැත්වීමය. සංවිධානයට එය කළ හැකි විය. සිංහල ගම්මාන රකින්නට මුස්ලිම් අය ගියහ. මුස්ලිම් ගම්මාන රකින්නට සිංහල අය ගියහ. කිසිදු පහරදීමකට ඉඩක් ලැබුණේ නැත. සංවිධානාත්මක කල්ලි උඩතලවින්න අතහැර ගියහ.

මේ වනාහී ඉතා හොඳ ආදර්ශයකි. මේ ආදර්ශයට අනුව සියලු පළාත්වල වැඩ කටයුතු සිද්ධවන්නේ නම් ජාතිවාදය පැතිරවීමට ඉඩක් නොලැබෙනු ඇත.ආගම්වාදය පැතිරවීමට ද ඉඩක් නොලැබෙනු ඇත. අම්පාරේ ගැටුමට හේතු-සාධක වූ වඳ පෙත්ත නිකම්ම පිටි ගුළියක් බව දැන් හෙළිදරව් වී ඇත. වඳ පෙත්ත යනු මිථ්‍යාවකි. වඳභාවයට අදාළ යට ඇඳුම් යනු ඊටත් වඩා මිථ්‍යාවකි. මෙබඳු මිථ්‍යා මත සමාජය පුරා ඉගිල යන්නේ සමාජ මාධ්‍ය ජාලා නිසා යැයි කිව හැකි ය. එබඳු සමාජ මාධ්‍ය ජාලා දෙසීයක් පමණ ක්‍රියාත්මක වන බව නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත. මේවාට බුරුලක් දිය යුතු නැත.

1815 සිට මේ දක්වා සිදුවී ඇති සිංහල - මුස්ලිම් ගැටුම් රටට ඇති කර ඇති හානිය සුළුපටු නැත. මේ මගින් දේශපාලනය අස්ථාවර වෙයි. ආර්ථීකය බංකොලොත් වෙයි. දින කිහිපයකට පෙර මහනුවර - දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් නිසා ද රටට ඇතිවූ හානිය බලවත් ය. මේවා තක්සේරුකොට අපරාධකරුවන්ගෙන් එම පාඩුව අයකරගත හැකි නම්; එය වඩාත් හොඳ ආදර්ශයක් වන්නේ ය.


නව අදහස දක්වන්න