Face-බුක් | දිනමිණ

Face-බුක්

ෆේස්බුක් අවහිර කිරීම තවදුරටත් පවතී. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවලදී ප්‍රධාන මත දෙකක් ඉස්මතු වන බවද පෙනෙන්නට තිබේ. පළමු මතය වන්නේ අන්තර්ජාල සන්නිවේදනය ලෝකයේ තාක්ෂණික අයිතියක් හා මානව අයිතියක් වන බැවින් එය අවහිර කිරීම වැරැදි බවය. දෙවන මතය වන්නේ සන්නිවේදනය ඉතා නිදහස් ව සිදුවීමට ඉඩදීම වල්බූරු නිදහසක් වන බැවින් සමාජ මාධ්‍ය සඳහා කිසියම් නියාමනයක් අවශ්‍ය වී ඇති බවය. බහුතරය මේ මතය සමඟ එකඟ වන බවක්ද පෙනෙන්නට තිබේ. සන්නිවේදනය හා මාධ්‍ය හැසිරවීම බරපතළ කාරණයකි. ජන මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන පිහියක් හෙවත් කිනිස්සක් බවද අර්ථගන්වා ඇත.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් ‘ඉන්ටර්නෙට්’ භාවිත කරන බව හෙළිදරව් වී ඇත. එය දිනෙන් දින ඉහළට යනු මිස පහළට යන්නේ නැත. අන්තර්ජාලයෙහි එක් විලාසයක් වන ෆේස්බුක් මාධ්‍යය සමඟ ගනු දෙනු කරන සාමාජිකයන්ගේ ගණන මිලියන දෙක ඉක්මවන බවද දැනගන්නට ලැබේ. පළමුව මේ මාධ්‍යය ඔස්සේ ලබාගන්නේ එකිනෙකාට වැදගත් තොරතුරු යැයි කියන්නට පුළුවන. දෙවනුව මේ මාධ්‍ය ඔස්සේ සිදුවන්නේ එකිනෙකා අතර අදහස් හා මතවාද හුවමාරුව යැයි කියන්නටද පුළුවන. කුමක් වුව අද වන විට සමාජයේ තීන්දු හා තීරණ ගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සමාජ මාධ්‍ය පවතී.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අවහිර කිරීමට සිදුවී ඇත්තේ කරුණු කිහිපයක් නිසාය. එකක් නම්; අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ය. තව එකක් නම්; වාර්තාගත හා ආගමික ගැටුම් ඇතිකරනසුලු ප්‍රවෘත්ති හා විවරණ ඉදිරිපත් කිරීමය. තවත් එකක් නම්; අන්තවාදය රජකරවීමට අදාළ සන්නිවේදන ක්‍රියාවලියක නිරත වෙමින් රට ගිනිබත් කිරීමට උත්තේජන ලබාදීමය. මහනුවර දිගන ප්‍රදේශයෙන් ආරම්භ වූ සිංහල-මුස්ලිම් ගැටුමට සමාජ මාධ්‍ය ඉතා හොඳින් දායක වී ඇති බව නිරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත. මෙබඳු සමාජ වෙබ් අඩවි දෙසීයක් පමණ දැන් පරීක්ෂණයට ලක්වී ඇත. එය සිදුවිය යුත්තකි. කිසියම් මාධ්‍යයක් භාවිත කළ යුත්තේ විනය හා ආචාරධර්ම කෙරෙහි දැඩි සැලැකිල්ලක් දක්වමින්ය. එහෙත් එබඳු කිසිවක් ශ්‍රී ලංකාව තුළ තවම සිදු වී නැත. ෆේස්බුක් මාධ්‍යය කෙතරම් අශීලාචාර ලෙස හසුරුවන්නේද යත්; කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිය ගිණුම හරහා මහජනයා කුලප්පු කිරීමට විවිධ පියවරගෙන තිබේ. මේ සිසුවා ඉස්ලාම් අදහන මුස්ලිම්වරයකු වන අතර සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටින්නට උත්සුක වූ බවක් ද ‍සඳහන් වී ඇත. මෙය ඛේදවාචකයකි.

විදුලි සංදේශ නියාමන කොමිසම, ජනාධිපති කාර්යාලය, ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා පිළිබඳ කතා කරන අමාත්‍යාංශය ඇතුළු තවත් සංවිධාන හා සමිති කිහිපයක් මේ කාර්යයට අතගසා තිබේ. ඔවුන්ගේ යෝජනාවලින් කියැවෙන්නේ සමාජ මාධ්‍ය කිසියම් නියාමනයකට ලක්විය යුතු බවය. එය ශ්‍රී ලංකාවේ බොහෝ පුරවැසියන් විසින් අනුමත කරනු ලැබේ. මේ වන විට සාකච්ඡා වට කිහිපයක් අවසන් වී ඇත. ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසු ඒවා පිළිබඳ සලකා බලන බවද පොරොන්දුවක් ලෙස පවතී. සාමාන්‍ය ජනතාව මෝඩ වන්නට පුළුවන. එහෙත් ඔවුන් සෑම දිනයකම; සෑම විටෙකම ‍මෝඩවන්නේ නැත. අද අපගේ ජනතාව බුද්ධිමත්ය. විශේෂයෙන් පඬියන්ගේ පුහු තර්ක ඉදිරියේ වඩාත් ශක්තිමත් ය.

ෆේස්බුක් තහනම නොව; අවහිර කිරීම පිළිබඳ ගැටලුවේදී ජනතාවට සිදුවන බරපතළ හානි රැසක් ගැන ද සඳහන් ය. ඉන් එකක් වන්නේ “ෆේස්බුක්” මාධ්‍යය ඔස්සේ සිදුවන වෙළෙඳ හා ආර්ථික ගනුදෙනු දැන් නැවතී ඇති බව ය. තව එකක් වන්නේ දේශපාලකයන් හා අන්තවාදීන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශවලට පිළිතුරු සැපයීමට අවස්ථාවක් නොමැතිකම ය. ඒ පමණක් නොව; ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඉහත කී අලුත් තත්ත්වය බලපා ඇත්තේ ඉතා නරක ලෙස යැයි කියන්නට පුළුවනි.

ෆේස්බුක් හා වෙනත් සමාජ මාධ්‍ය හරහා කළයුත්තේ සමාජයට හා අනාගතයට වැදගත් දේවල්ය. ඊට අදාළ තීන්දු හා තීරණ තවම පවතී. කොළඹ - මහනුවර මහාමාර්ගයේ එක් සන්ධිස්ථානයක සිදුවූ යමකින් රටේ දේශපාලනය හා ආර්ථිකය වෙනස් විය යුතු ද? එහි වරද දකිමින්ම අලුත් පරිවර්තනයක් කරා යෑමට හැකියාව අප කාටත් තිබිය යුතුය.

‍ෆේස්බුක් අවහිර කිරීම ගැන සඳහන් කරන තවත් ඇතමකුගේ අදහස වන්නේ මෙය අවහිර කිරීම හෝ තහනම් කිරීම හෝ අදට නොගැළපෙන බවය. අද කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාලා කිසියම් ස්ථානයකින් නියාමනයකට ලක් කිරීම යැයි ඔව්හු පෙන්වා දෙති. එය පිළිගත හැකි කාරණයකි. මාධ්‍ය අවහිර කිරීම ද සංකීර්ණ ක්‍රියාවලියකි. හොඳම තීන්දුව ලෙස ගත හැක්කේ සමාජ මාධ්‍ය නියාමනයකොට එහි ඇති ප්‍රයෝජන සමාජය වෙත මුදාහැරීම ය. “ෆේස්බුක්” සමඟ සම්බන්ධ වන සාමාන්‍ය පිරිස බිලියන දෙකකට වැඩි බව ද හෙළිදරව් වී ඇත. එහි අර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම සාමාජික සහභාගිත්වයක් ඇති සමාජ මාධ්‍ය ‍ ‘ෆේස්බුක්’ බවය.

සමාජ මාධ්‍ය හසුරවන අයට මෙන්ම ඒවා භාවිතා කරන අයට ද සදාචාරයක්, විනයක් හා විෂය මූලික දැනීමක් ද තිබිය යුතුය. එසේ නොවන විට අසත්‍ය තොරතුරු ඔස්සේ මහජනයා කැලඹීමට පත්වේ. ජාතිය හා ආගම පාදක කොට සමාජ මාධ්‍ය භාවිතයේදී යම් ශික්ෂණයක් හා පරමාදර්ශී හැඟීමක් ඇතිකර ගැනීම වැදගත් ය. ඒ වැදගත්කම දැන් - දැන් බොහෝ දෙනකුට දැනෙන්නට පටන්ගෙන තිබේ. කොයි අතින් බැලුව ද සමාජ මාධ්‍ය සඳහා නියාමනයක් තිබීම වැදගත් ය.

 

අදහස් 1ක් ඇත

අපේ රටේ madya නිදහසේ prathipala දෙස බැලීමේදී ජනතාවගේ අයහපත ta කාලයක් තිස්සේ ගුවන් විදුලිය brupavahiniya පුවත්පත් path සඟරා kasat vidio pata වගේම නව තාක්ෂණය ඔස්සේ banthar ජාලයේ බලපෑමඳ බලපෑම් ලැබී atha දැනටමත් නව පරපුර ගිලගෙන ඇති සියලුම madya සඳහා pramithiyak අපේ රටට ගැලපෙන සංස්කෘතියට හානියක් නොවන ලෙසට රට පාලනය කරන රජයේ සහ සිංහල boudya සහ අපගේ රටේ අනාදිමත් කාලයක සිට පැවතෙන සිරිත් විරිත් ඇවතුම් පැවතුම් ආරක්ෂා කරදීමට කටයුතු කළ යුතුයි .

නව අදහස දක්වන්න