ශ්‍රී ලංකාව කඩුලු 6කින් පැරදවූ ඉන්දියාවට අවසන් සටනට වැඩි අවස්ථාවක් | දිනමිණ

ශ්‍රී ලංකාව කඩුලු 6කින් පැරදවූ ඉන්දියාවට අවසන් සටනට වැඩි අවස්ථාවක්

ප්‍රින්ස් ගුණසේකර

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් හිමි වෙයි. මේ ජයග්‍රහණයේ වාසිය සමග ඉන්දීය පිල අවසන් මහා තරගයට පිවිසීමේ වැඩි අවස්ථා හිමිකරගෙන සිටී.

ශ්‍රී ලංකා ඉනිම 11වැනි ඕවරයෙන් පසු කඩා වැටීමට පටන්ගත් අතර අකිල ධනංජයගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4ක් ඕවර් 9කදී බිද වැටුණි. එහෙත් දිනේෂ් කාර්තික් පන්දු 25කදී නොදැවී ලකුණු 39ක් හා මනීෂ් පාන්ඩේ පන්දු 31කදී නොදැවී ලකුණු 42 ලබා ඉන්දීය ජය තහවුරු කළහ.

සිහින් සිරිපොද වැස්සක් ක්‍රීඩා පිටියට පතිතවීම හේතුවෙන් තරගය පැයකුත් මිනිත්තු 15ක් පමණ ප්‍රමාදවූ අතර කාසියේ වාසිය රෝහිත් ෂර්මා හිමිකරගෙන පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. එම අපතේ ගිය කාලය හේතුවෙන් ඉනිමකදී ඕවරයක් අඩු කිරීමට විනිසුරුවෝ තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව ඕවර් 19කදී කඩුලු 9කට ලකුණු 152ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර් 17.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබා ගත්හ.

ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පන්දු 7කට මුහුණදී සිටියදී ලකුණු 11කට දවා ගැනීමට දකුණත් පිට දඟ පන්දු යැවූ අකිල ධනංජය සමත්වූ අතර කුසල් මෙන්ඩිස් මිඩ් විකට්හී සිට ෂර්මාගේ වේගයෙන් පැමිණි උඩ පන්දුව රැක ගත්තේය. ඉන්දීය ඉනිම ලකුණු 22ක් වෙද්දී අකිල ධනංජය තම දෙවැනි ඕවරයේ පළමු පන්දුවෙන් ෂිකර් ධවාන්ගේ කඩුල් බිද හෙලීමට සමත්වීම තරගයේ කැපී පෙණෙන අවස්ථාවක් විය. ලකුණු 8ක් ලබා සිටි ධවාන් ඩ්‍රයිව් පහරක් එල්ල කරද්දී මිඩ් ඕන් හී සිටි තිසර පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඉන්දීය දෙවැනි කඩුල්ල බිද වැටුණි.

ලකුණු 27ක් ලබාසිටි සුරේෂ් රයිනාගේ කඩුල්ල නුවන් ප්‍රදීප් ලබා ගැනීම හා ලකුණු 18ක් ලබා සිටි කේ. එල්. රාහුල්, ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවකට අනපේක්ෂිත පරිදි ‘හිට් විකට්‘ වීම ඉන්දීය ජයග්‍රහණය පමා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යොවුන් තරුවක් බවට පත්ව සිටින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉන්දියාවට එරෙහිව පන්දු 38කදී අලංකාර හයේ පහර හා හතරේ පහර 3බැගින් එල්ල කොට ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය. ඔහු නිදහසේ පහර එල්ල කරමින් විජේ සන්කර්ගේ ඕවරයකදී පිට පිට හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වූ අතර අර්ධ ශතකය පන්දු 31කදී වාර්තා කළේය. කුසල් මෙම තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අතර අවසන් විස්සයි 20 ඉනිම පහකදී රැස්කළ සිවුවැනි අර්ධ ශතකය මෙය විය.

ශ්‍රී ලංකාවට ඉතා හොද ආරම්භයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 8කදී හයේ පහරක් සමග ලකුණු 17ක් ලබා සිටියදී දැවී ගිය අතර එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 25ක් විය. තාකූර්ගේ පන්දුවකට ධනුෂ්ක එල්ල කළ එම වේගවත් පහර මිඩ්විකට් හී සිටි සුරේෂ් රයිනා විශිෂ්ට ලෙස රැක ගැනීම අලංකාර අවස්ථාවක් විය. මෙම තරගාවලියේ පිට පිට අර්ධ ශතක දෙකක් ලබාගත් කුසල් ජනිත් පෙරේරාට ඊයේ එතරම් සුබදායක නොවූ අතර ලකුණු 3ක් ලබා සිටියදී පිට දඟ පන්දු යවන වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවකට රිවර්ස් ස්විප් පහරක් එල්ල කරද්දී අත් ආවරණවල වැදී කෙලින්ම කඩුල්ලේ පන්දුව වැදී කුසල් ජනිත් දැවී ගියේය.

තෙවැනි කඩුල්ලට කුසල් පෙරේරා සමග එක්වූ උපුල් තරංග ලකුණු 62ක අගනා සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී තරංග ලකුණු 22කට ෂන්කර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේය. නායක තිසර පෙරේරා ෂන්කර් එවූ ඉතිරි පන්දු දෙකට පිට පිට හයේ පහර 2ක් එල්ල කොට ජීවයක් ලබාදී සිටියදී ලකුණු 15කට දැවී ගියේය. තිසර පන්දු 6කදී හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් විය. 

නව අදහස දක්වන්න