2013 දී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා පිලේ පෙරළිකාරයා කුසල් | දිනමිණ

2013 දී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා පිලේ පෙරළිකාරයා කුසල්

ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

දශක 4ක ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ඉතිහාසයේ සාඩම්බර බිහිකිරීමක් බවට පත්වී සිටින කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වර්ණවත් කරමින් දැන් පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දස්කම් පෙන්වමින් සිටී. ‍ඔහු පෙරේදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රැස් කළේ පිට පිට දෙවැනි අර්ධ ශතකයයි. මේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූවත් සිය පෞද්ගලික වාර්තාපොත අලුත් කළ 23 හැවිරිදි මේ ප්‍රබල දකුණත් පිතිකරුවා අනාගතයේදී ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළට ඔසවා තබන විශිෂ්ටතම පිතිකරු වනු ඇතැයි දැනටමත් විචාරකයන් අනාවැකි පිට අනාවැකි පළ කර සිටිති.

වසර 2013 දී ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මෙන්ඩිස් මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ බිහිවූ විශිස්ටතම පිතිකරුවාය. හෙතෙම සිය අවසන් විස්සයි20 තරග 5න් 4කදීම අර්ධ ශතක රැස් කිරීමට සමත්විය.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි වේල්ස් කුමර ක්‍රිකට් තරුව බවට පත්වූ කුසල් මෙන්ඩිස් ඒ ගෞරවනීය මතක සටහනට හිමිකම් කීවේ 2002 දී සහන් විජේරත්න එම සම්මානයට පාත්‍රවීමෙන් පසුවය.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා මාස කිහිපයකින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්වූ අතර වසර දෙකක් ගතවීමටත් පෙර ජාතික කණ්ඩායමට සේන්දු විය. ඔහු 2015දී ආර්.ප්‍රේමදාස පිටියේදීම සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය.

තරග 24ක සිය ටෙස්ට් තරග දිවියේ දී වසර 2016 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සිය මංගල ටෙස්ට් ශතකය ලකුණු 176කින් වර්ණවත් කළ හෙතෙම පසුගිය වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු 194ක් ලබා වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. අනතුරු ඊට මාස 10කට පසුව මේ වසරේ ජනවාරියේ චිතගොං නුවරදී නැවතත් එය අලුත් කළේ ලකුණු 196ක් රැස් කරමිනි. එදා ඔහුට මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අහිමිවූයේ ලකුණු 4කිනි. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 24කදී ලකුණු 1712ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් සමගිනි.

2016 වසරේදීම අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින් නුවරදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ කුසල් එහිදී මංගල අර්ධ ශතකය රැස් කළ අතර මේ දක්වා එක්දින තරග 44කදී ලකුණු 1239ක් රැස් කිරීමට සමත්වී සිටි. ඊට ශතකයක් සහ අර්ධ ශතක 11ක් ඇතුළත්ය.

මෑත කාලයේ විස්සයි20 තරග බිමේ පෙරළිකාරයා බවට පත්වී සිටින කුසල් තරග 13කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 320කි. ඊට අර්ධ ශතක 4ක් ඇතුළත්ය.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ලැබූ දිරිය ඔහුගේ ක්‍රිකට් ජීවිතය ආලෝකමත් කිරීමට සමත්වී ඇති අතර ඉන් ලැබූ උත්තේජනය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවධානයට පත් පිතිකරුවකු බවට පත්වීමට ඔහුට කදිම අඩිතාලමක් දමා තිබේ.

සිය ක්‍රිකට් දිවියේ ආරම්භයට තම පියාගෙන් ලැබූ දිරිගැන්වීම සහ මගපෙන්වීම නිරතුරුවම සිහිපත් කරන කුසල් තමා අද අත්කරගෙන සිටින කීර්තියේ කොටස්කරුවා පියා බව ගෞරවයෙන් යුතුව පවසයි.

‘තාත්තා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. ඔහුත් පාසලේ අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු නිතරම මාව දිරිගන්වනවා. ඔහු මාව ජයලත් අපෝන්සු සර්ගේ ක්‍රිකට් ඇකඩමියට යොමු කළා. එතැනින් තමයි මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන්මග ඇරැඹෙන්නේ. මම අද සිටින තත්ත්වය ගැන ඔහු තරම් ආඩම්බර වන කවුරුවත් නෑ.‘ කුසල් එසේ කියයි.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩාලෝලීන් අතර ඉහළම ජනප්‍රියත්වයට පාත්‍රවී සිටින කුසල් මෙන්ඩිස් මෙන්ම තවත් පාසල් ක්‍රීඩකයකු මෙවර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලෙන් බිහිවනු ඇත.

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් සම්මාන උළෙල බවට පත්වී ඇති මේ සම්මාන උළෙලේ දී සිය ජනප්‍රියතම ක්‍රීඩකයා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට පාඨකයන්ටත් කදිම අවස්ථාවක් ලැබී තිබේ. ඒ සඳහා අවශ්‍ය කූපන් දැන් ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, දිනමිණ සහ තිනකරන් පුවත්පත්වල පළවෙයි.


නව අදහස දක්වන්න