ඔලිම්පික් කමිටුවේ මතභේදාත්මක ගෙවීම් සෙවීමට කමිටුවක් | දිනමිණ

ඔලිම්පික් කමිටුවේ මතභේදාත්මක ගෙවීම් සෙවීමට කමිටුවක්

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය කාලයේ සුදුකරන ලද මතභේදාත්මක ගෙවීම් සෙවීමට ත්‍රී පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරයි. ඔලිම්පික් නව පරිපාලනයේ මංගල විධායක කමිටු රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇති අතර ගෙවීම් සම්බන්ධ කරුනු සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් මැයි 31වැනි දිනට පෙර ඔලිම්පික් විධායක කමිටුවට භාර දෙන ලෙස ත්‍රී පුද්ගල කමිටුවට දැනුම් දී ඇත.

ගෙවී ගිය වසර 4ක කාලය තුල ජාතික ඔලිම්පික් කමිටුව කරන ලද ඇතැම් ගෙවීම් සම්බන්ධව විගණන වාර්තා වලින් හෙලිවූ මතභේදයට තුඩු දෙන කරුණු රාශියක් සම්බන්ධ සොයා බැලීම එම කමිටුවේ කාර්ය භාරය වේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ විගණකාධිපති මතයවූ ඇත්තේ එය ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පෙන්නුම් කළද, මතභේදාත්මක ගෙවීම් සම්බන්ධ පැහැදිලිකිරීම් කරගත යුතු බවය.

මෙම ත්‍රී පුද්ගල කමිටුවේ සභාපති ලෙස ලලිත් විතාන, සාමාජිකයන් ලෙස අසංග සෙනවිරත්න හා සේනක රණසිංහ යන මහත්වරු නම් කොට තිබේ.

වසර 2013දී ජාතික ඔලිම්පික් කමිටු 75වැනි සංවත්සරයට සමගාමීව රුපියල් 5200000ක් මුදලකට සමරු පොත් 200ක් මුද්‍රණය කර සැපයීමේ කාර්යය සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පුද්ගලික ආයතනයක් තෝරාගෙන තිබූ බවත්, එම කාර්යය සිදු කිරීමේදී පාර්ශව දෙකක් අතර ගිවිසුමක් නොතිබූ බවත් විගණකාධිපත්වරයා විසින් පෙන්වා දී තිබුණි. එලෙස ගිවිසුමකට එළැඹීමකින් තොරව කොන්ත්‍රාත්තුව පිරිනමා තිබීම වරදක් බව විගණකාධිපති මතය විය.

එම කාර්යය වෙනුවෙන් කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 50ක මුදලක් ගෙවා තිබුණ ද සමරු පොත් 200ක් මුද්‍රණය කර ගැනීමේ කාර්යය ඉටුකර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව සමත්වී නැත.‍ ජාතික ඔලිම්පික් කමිටු අරමුදලින් ගෙවන ලද රුපියල් 5200000ක අත්තිකාරම් මුදල නැවැත ලැබී නොමැතිවීමද ගැටලුකාරී මතභේදාත්මක ගණුදෙනුවක් බව විගණන වාර්තාවේ දැක්වේ.

ජාතික ඔලිම්පික් කමිටු උප සභාපතිවරයෙකුගේ පෞද්ගලික මෝටර් රථයට 2014 සිට 2016 දක්වා ඉන්ධන ගාස්තු ගෙවීම ද තවත් මතභේදාත්මක ගෙවීමක් බව විගණකාධිපති වාර්තාවේ පෙන්වා දී ඇත. එම උප සභාපතිවරයාගේ පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන ගාස්තු වෙනුවෙන් රුපියල් 367801ක මුදලක් වැයකිරීම හා ඉන්ධන ලබාදීම උදෙසා අදාල කමිටු සභාපතිවරයාගේ අනුමැතිය සාක්ෂි සදහා ඉදිරිපත් කොට නොමැතිවීම මතභේදාත්මක බව පෙන්වා දී තිබේ.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ මෙතෙක් පැවැති අනු කමිටු හතර වෙනුවට තවත් කමිටු 12ක් පමණ එක් කිරීමට නව පරිපාලනයේ පළමු විධායක කමිටුවේදී තීරණයවී ඇත. මෙතෙක් පැවැති ක්‍රමය අනුව ජාතික ඔලිම්පික් කමිටුව තුල මුදල් කමිටුව, ආචාර ධර්ම පිළිබඳ කමිටුව, අධ්‍යාපන කමිටුව, වෛද්‍ය හා තහනම් උත්තේජක යන කමිටු ක්‍රියාත්මක කෙරුණි. එයට වඩා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් පිළිබද නව පරිපාලනය අවධානය යොමුකර ඇති හෙයින් කමිටු වැඩි කිරීමට පියවර ගෙන තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...