එකම පවුලේ ධීවර තිදෙනා ආපසු ඇවිත් නෑ | දිනමිණ

එකම පවුලේ ධීවර තිදෙනා ආපසු ඇවිත් නෑ

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

මේ වන විට බලපවත්නා අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මසුන් මැරීම පිණිස මුහුදු යාමෙන් වළකින ලෙසට කර ඇති දැනුම් දීම නොතකා පෙරේදා (12) මුහුදු ගිය යාත්‍රාවක් සමඟ එහි ගිය ධීවරයන් තිදෙනකු අතුරුදන්ව ඇති බව මුලතිව් පොලිසිය කියයි.

අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙණිය කරුකුපොනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන මල්රාජ් මිරැන්ඩා (30) එම්මානුවෙල් මිරැන්ඩා (49) සහ රයන් මිරැන්ඩා (24) නමැති එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකි.

මේ දිනවල මුලතිව් නායාරූ මුහුදු ප්‍රදේශයේ සාර්ථක ලෙසින් මසුන් අල්ලා ගත හැකිව ඇති නිසා හලාවත ප්‍රදේශයේ ධීවරයන් මසුන් මැරීම පිණිස එම ප්‍රදේශය කරා කණ්ඩායම් සමඟ දැල් බෝට්ටු රැගෙන ගොස් මුහුදු යාම ආරම්භ කර ඇත. ඒ අනුව මේ තිදෙනා ද නායාරෑ වෙරළ තීරයට ගොස් තාවකාලික වාඩි ගසා ගෙන මසුන් මැරීමට ගොස් තිබේ. පෙරේදා (12) පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මුහුදු යාමෙන් වළකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ සියලු ධිවරයන් වෙත දැනුම් දී තිබුණි. එම තහනම නොතකා මේ ධීවරයන් එක් දින යාත්‍රාවකින් මුහුදු ගියත් පෙරළා ගොඩකරයට නොපැමිණි බවට පැමිණිල්ලක් ලද බවත් මුලතිව් පොලිසිය කියයි.

අතුරුදන් යාත්‍රාව හා ධීවරයන් සොයා නාවික හමුදාව පරීක්ෂණ ආරම්භ කර ඇත.

නව අදහස දක්වන්න