උහන ගම් රැසකට වන අලි තර්ජන | දිනමිණ

උහන ගම් රැසකට වන අලි තර්ජන

පිළියම් නැතිව ගම්වැසියෝ බියෙන්

උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සඳනදපුර, රජගම, කුමාරිගම, සියඹලාවැව, බුද්ධංගල, වීරගෝඩ, ඇතුළු ගම්මානවලට මේ දිනවල රාත්‍රි කාලයේ වන අලි ගම් වැදී වී අස්වැන්න නෙළිමට ඇති කුඹුරු විනාශ කරන බව එම ප්‍රදේශයේ ගොවීහු පැවසුහ.

මේ පිළිබඳ අදහස් දැක්වු කුමාරිගම පදිංචි බිසෝ මැණිකේ මහත්මිය -

අපේ ගොඩ ඉඩමේ අක්කර දෙකක පමණ පොල්, කෙසෙල් බඩඉරිගු සහ මිරිස් වගා කර අපි ජීවත් වෙනවා. පසුගියදා රාත්‍රියේ වන අලි 16 ක් කඩාවැදී වගාව මුලුමනින්ම විනාශ කළා. ඉදිරියේ දී අපේ ජීවිත වලටත් අනතුරු සිදු වේදැයි කියා බයෙන් තමයි ජීවත් වෙන්නේ.

මේ පිළිබඳ වන අලි තර්ජන ගම්මාන සුරැකීමේ සංවිධානයේ සභාපති හා උහන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ගංතුනේ සුචින්න හිමි -

මෙවර වීරගොඩ කොට්ඨාසයේ ගොවි ජනපදවල වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති නිසා වන අලි දිවා කාලයට කෑලෑ ප්‍රදේශවල රැ දී සිට රාත්‍රි කාලයට කුඹුරුයායට පැමිණෙනවා. වී කෑමට පුරුදු වී සිටින මෙම වන අලින් තවමත් සෘජුවම ගම්වලට නොපැමිණ සිටින්නේ අස්වැන්න නෙළමින් සිටින කුඹුරු යායවල්වලට රාත්‍රී කාලයට ගොවින් රැ දී සිටින නිසායි .

එම්. ජී. සෝමාවතී සඳනදපුර - මම මේ ගෙදර 1969 සිට පදිංචිව සිටිනවා. ඒ කාලයේ ගමට අලි ආවත් අපට කරදරයක් වුණේ නැහැ . මේ වගේ දුක් වින්දෙත් නැහැ.පසුගිය දිනක සවස 07.30 ට විතර ගේ ඇතුළේ මම හිටියා අලි දෙන්නා දෙපැත්තෙන් ඇවිත් බිත්තිය තල්ලූ කළා. ඊට පස්සේ ටෝච් එක ගහන විට අලි දෙන්නා ගියා.ලාම්පු ගේ හතරවටේ පත්තුකරලා තිබුණා. ලාම්පු එළියටත් දැන් සිටින අලි බය නැහැ . මේ අලි පන්සල් කැලේ සිට ගමට එනවා. ගේ කඩපු එක ගැන ග්‍රාම නිලධාරි මහත්මිය පැමිණ ලියාගෙන ගියා . ගිය සැරේ අලියා ගේ කඩලා රුපියල් දහදාහක් තමයි ලැබුණේ.මේ ගැන කියන්න අපට කෙනෙක් නැහැ . මේ විදිහට දුක් විද විද ඉන්නවාට වඩා මම මැරිලා යනවා නම් හොදයි.

ජී. ජී. එම්. පේ‍්‍රමදාස සඳනදපුර - පසුගියදා රත්‍රි 11.30 ට විතර වන අලි 10 ක පමණ රංචුවක් වත්තට ආවා. ඊට පස්සේ ආයෙත් අලි 06 ක් වත්තේ දෙපැත්තෙන්ම ආවා. මමයි භාර්යාවයි තමයි ගෙදර හිටියේ . වසර 10 ට වැඩි කාලයක් මේ ගේ තමයි ජීවත් වෙන්නේ . වත්තේ තිබුණ රටකජු, මඤ්ඤෝක්කා, පොල්, කෙසෙල්, බඩඉරිගු සහ ගොයම් මිටි 15 ක් අලි කාලා ගියා . වත්තේ වගා කර තිබු බඩඉරිගුවලින් එක කරලක් වත් කැඩුවේ නැහැ . මේ කරදරය වෙලා අදට දින 08යි. ග්‍රාම නිලධාරි මහත්මිය අද වනතුරුත් ආවේ නැහැ . කෘෂි කර්ම උපදේෂක සංජීව මහතා ඇවිත් ගියා.

ඩබ්ලිව්.ඩි.නිමල් කරුණාරත්න මහතා - මම මේ ඉඩමේ පදිංචි වෙලා වසර 40 ක් පමණ වෙනවා. ඒ කාලයේ අලි කරදර තිබුණේ නැහැ. දැන් 06, 07, වන විට අලි ගමට ඇවිත් වෙල් යායට බහිනවා . අපිට නිදා ගන්න විදිහක් වත් නැහැ . කුඹුරු යායේ කෙසෙල් පොල් ගස් විනාශ කරනවා. මාස් කන්නයට මගේ ගෙට අල්ලපු ඉඩම්වල කුඹුරු වැඩ කළා . පසුගිය කාලවල ගමේ සියලු දෙනා එකතු වී අලි වැට හදා ගත්තා.

ඒත් අලි ඇවිත් වැට කඩනවා. එය හැදුවත් අලි කණු පෙරළනවා.ඊටපසුව කරන්නම දෙයක් නැති

නිසා කැලේ ගස්වලට කම්බි ඇද්දා . මේ වන විට ගෙවල් 10-15 ක් කඩා දැම්මා. රාත්‍රී කාලයට මේ පාරේ ලෙඩෙක් වත් ගෙනියන්න විදිහක් නැහැ.

ලාහුගල ගයාන් චින්තක

 

නව අදහස දක්වන්න