දික්ඔය රෝහල් භූමියේ මේ ගඳ මොකක්ද? | දිනමිණ

දික්ඔය රෝහල් භූමියේ මේ ගඳ මොකක්ද?

රෝගීන් නිරෝගි කරන මුලික රෝහලකින් රෝග කාරක විෂබිජ සහිත ජලය හා දුර්ගන්ධය විවෘත පරිසරයට මුදාහරිමින් නිරෝගි මිනිසුන් රෝගි කරන ස්ථානයක් බවට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරති. මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල යනු මධ්‍යම පළාතේ ඇති සැලකිය යුතු පිළිගැනීමක් ඇති රෝහලකි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති දෙවන ප්‍රධානම රෝහල වන මෙය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අභිනයෙන් ඉදිකළ නව වාටටු සංකිර්ණය හා අංගසම්පුර්ණ කොටස පසුගිය වසරේ විවෘත කරන ලදි. නමුත් මේ රෝහල දැන් ක්‍රියාත්මක වන්නේ කිසිඳු සැලකිල්ලකින් නොවන බවට ජනතාව චෝදනා කරති. ඒ සඳහා සාක්ෂි රැසක් ඇති බව ද ඔවුහූ පවසති. මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහි පැමිණිමට ප්‍රථම රෝහල සම්බන්ධයෙන් තිබූ උනන්දුව හා සැලකිල්ල මේ වන විට බලධාරින් හෝ වගකිවයුත්තන්ගෙන් ඉටු නොවන බවද ඔවුහු කියති. හැටන් ,දික්ඔය,බගවන්තලාව,මස්කෙළිය,නල්ලතන්නිය හා තවත් ප්‍රධාන මෙන්ම උප නගර ද තේ වතු ආශ්‍රිතව ජිවත්වන දසදහස් ගණන් වතු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මේ රෝහලේ ගැටලු රැසක්ම පැන නැගී ඇත. ඒවායින් ප්‍රධාන ලෙසම පැවසිය හැකි කාරණාවක් වන්නේ රෝහල් පරිශ්‍රය තුළ ඇති අධික දුර්ගන්ධයයි. මේ රෝහලේ භාවිතයෙන් පසු අපවිත්‍ර වු ජලය හා වැසිකිළි අපද්‍රව්‍ය තාක්ෂණික ක්‍රමයක් මඟින් පිරිසුදු කර පෙරා ගන්නා ජලය කාසල්රී ජලාශයට මුදා හැරීමට කටයුතු යොදා ඇත්තේ රෝහල ආරම්භයේදීම සැලසුම් කළ පරිදිය. මේ අපවහන ක්‍රියාවලියේ දී මුදා හරින ජලය විවෘත පරිසරයට මුදා හරිනු ලබන්නේ ප්‍රධාන කානු පද්ධතිය ඔස්සේය.

එයින් නිකුත් වන අධික දුර්ගන්ධ දූෂිත වායුව රෝහල් භූමිය පුරා පමණක් නොව අවට නිවෙස් පිහිටි ප්‍රදේශ කරාද පැතිර යන බව ප්‍රදේශවාසීහු පැමිණිලි කරති. නේවාසික රෝගීන්ට කාර්ය මණ්ඩලයට හා රෝගීන් බැලීමට පැමිණෙන ජනතාවද මේ දුර්ගන්ධය නිසා දැඩි අපහසුතාවට පත්වන බවට මැසිවිලි නඟති.බොහෝ අවස්ථාවල විදේශිකයන් පවා දික්ඔය මුලික රෝහල හා අවට සිරි නැරඹීමට පැමිණෙන අවස්ථා තිබේ.

තවද මේ පල්දෝරු පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ද රෝහල ඉදිරියේම වීම මෙයට ප්‍රධාන හේතුවකි. නේවාසික රෝගීන් ආහාර පරිභෝජනය කිරීමේ දී මේ දුර්ගන්ධය හේතුවෙන් ඔවුන් ආහාර නොගෙන සිටින අවස්ථාද ඇති වග රෝගින්ගේ භාරකරුවෝ පවසති.එසේම මෙකී දුර්ගන්ධය ප්‍රධාන මාර්ගයටත් පැතිර යාම නිසා මගීන්ටද දැඩි අපහසුතාන්ට මුහුණ දීමට සිදු වී ඇත.

මේ දුර්ගන්ධ වායුන්ගේ පවතින රෝග කාරක විෂබීජයන් රෝගීන්ගේ ,කාර්ය මණ්ඩලයේ හා අනිකුත් ජනතාවගේ ශරීර ගතවීම තවත් රෝග ගණනාවකටම මූලාරම්භයකි.

වගකිව යුතු බලධාරින් මේ තත්ත්වය පිළිබඳ නොදන්නවා විය නොහැකිය. කීප විටක්ම ඔවුන්ට දැනුම් දී ඇතත් ඒ පිළිබඳ එම පරිපාලන නිලධාරින් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි දැයි ජනතාව ප්‍රශ්න කරති.

සුන්දර පරිසරයක නිමැවුණ රටේ ප්‍රධාන පෙළේ රෝහලක පරිසරය මෙලෙස අප්‍රසන්න වීම පිළිබඳ සලකා බලා වගකිවයුත්තන් ඉක්මන් විසඳුමක් දිය යුතු අසීරූතාවට පත් ජනතාව පවසති.

ඉහත තත්ත්වය පිළිබදව දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තිළිණ විජේතුංග මහතාගෙන් කළ විමසිමකදි මෙසේ පැවැසීය. රෝහල් භුමියේ එවන් තත්ත්වයක් පවතිනවා.අපවිත්‍ර ජලය අපවහන ක්‍රියාවලිය සිදුකරන උපාංග සවිකර තිබෙන්නේ රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටුවට යාබදව.එම හේතුව නිසා ජලය පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමේදි නිකුත්වන වායුව පරිසරයට මුදා හැරිමේදි එම ප්‍රදේශයේ දුර්ඝන්ධයක් අතිවෙනවා. මේකට විසදුමක් විදියට දැනට එම ජලය ප්‍රධාන කානු පද්ධතියට නිකුත් වන ස්ථානයට දිගුවක් එක් කරමින් නළයක් සම්බන්ධ කරමින් සීමාවෙන් ඔබ්බට මුදා හැරිමේ ක්‍රියාවලිය සිදු කිරීමටත් එම ස්ථානයේ වැලි ෆිල්ටර පද්ධතියක් සකස් කිරිමටත් සලසුම් කර තිබෙන බවත් එය කඩිනමින් සිදු කරන බවත් හෙතෙම කීය.

හැටන් සමුහ - චන්දන ජයවීර

නව අදහස දක්වන්න