හැටන් නගරයේ කසළ කන්දෙන් ජන ජීවිතවලට බලපෑම් | දිනමිණ

හැටන් නගරයේ කසළ කන්දෙන් ජන ජීවිතවලට බලපෑම්

හැටන් නගරයේ කුණු කසළ ගොඩ ගැසීම උග්‍ර වීමත් සමඟ හැටන් නගරවාසින් මෙන්ම බස් මගිහුද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. හැටන් දික්ඔය නගර සභාව මගින් ප්‍රදේශයේ එකතු කරන කුණු කසළ හැටන් පෞද්ගලික බස් නැවතුම් පළ භුමියේ හා හැටන් තරු චතුරස්‍රයේ ගොඩ ගැසීමත් සමඟ මේ තත්ත්වය උදා වී ඇත. මේ පිළිබද ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාව මඟින් එකතු කරනු ලබන කුණු කසළ මෙසේ පෞද්ගලික බස් නැවතුම්පොළ භුමියේ හා තරු චතුරස්‍රයේ ගොඩ ගැසීමෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවය. කුණු කසළ මෙසේ ගොඩ ගැසීමත් සමඟ එම ප්‍රදේශ පුරා මැසි මදුරු උවදුරද උග්‍ර තත්ත්වයන්ට පත්ව ඇති බවත් මේ තත්ත්වයන් මත තම සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ල වීමේ අවධානමක් පවතින බවත් ඔවුහු කියති. මේ පිළිබඳ කරන ලද විමසීමක දී හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසන ලද්දේ මේ නගර සභා බල ප්‍රදේශයේ දිනකට කොම්පස්ට් සදහා උපයෝගි කරගත හැකි කසළ ටොන් දෙකක් පමණ එකතු වන බවත් නරක් වු එළවළු කිලෝ 500ක් පමණ එකතුවන බවත් එය ඉවත් කිරිම එතරම් ගැටලුවක් නොවන බවත්ය. එහෙත් මේ දෙකටම නැති කසළ දිනකට ටොන් එකක් පමණ එකතුවන බවත් එම කසළ දැමීමට නගර සභාවට නිසි ස්ථානයක් නොමැති වීමෙන් මැතක් වන තෙක් එම කසළ රිකාටන් ප්‍රදේශයට බැහැර කළ බවත් එම ස්ථානය මේ කසළ බාර ගැනිමට නොහැකි බව පැවසිමත් සමඟ මේ තත්ත්වයන් උදාවු බවත්ය. එහෙත් මේ වන විට ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සභාපති ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා කීවේ රිකාටන් ප්‍රදේශයේම නැවත කසළ දැමීම සදහා සකච්චා කර අවස්ථාව ලබාදුන් බවත් ඒ අනුව මේ කසළ ගොඩ ඉවත් කිරිමට පියවර ගන්නා බවත්ය.

හැටන් මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න