වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරය | දිනමිණ

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරය

කටුපොත විශේෂ බී. ඒ. එන්. ශාන්ත කුමාර

වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපත සිදුවු වාරියපොල ගම්මානයේ උන්වහන්සේගේ සංඝ පරපුරට අයිති විහාරස්ථානයකි වාරියපොල ශෛලතලාරාම පුරාණ රජමහා විහාරය. මෙම විහාරය වර්තමානයේ හැඳින්වෙන්නේ වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරය වශයෙනි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයට වඩා පැරැණි ඉතිහාසය ඇති මෙම වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරයට වාරියපොළ නගරයේ සිට හලාවත මාර්ගයේ කිලෝමීටර් භාගයක් පමණ ගියවිට ළඟා වීය හැකිය.

දර්ශනීය ගල්තලාවක් මත ඉදිකර ඇති වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් භූමියට ඇතුළුවන අවස්ථාවේදී දක්නට ඇත්තේ වාහල්කඩයි. එහි නිර්මාණය කර ඇත්තේ 1815 මාර්තු 02 වැනිදා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් කරන ලද වීරෝධාර ක්‍රියාවයි. එතනින් ටික දුරක් යනවිට හමුවන්නේ සක්මන් බුදු පිළිමයයි . එය මෑත යුගයේ ඉදිකරන ලද්දකී.

මේ විහාරස්ථානයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයට පෙර සිට භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. කාලයක් එම භික්ෂු පරම්පරාව නැතිවී යාමෙන් පසු අරාජිකව පැවතුණ අවස්ථාවේදි ගොඩයායේ නමින් භික්ෂු පරම්පරාවක් මේ විහාරස්ථානයේ වැඩ සිටියහ.

මේ භික්ෂු පරම්පරාව දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව වීශේෂඥභාවයක් ඇති භික්ෂූන් වහන්සේලාගෙන් යුක්තවීය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ බිසවගේ පාදයේ මාපට ඇඟිල්ලක ඇතිවූ ගෙඩියක් සුවකිරීම නිසා එවකට වාරියපොල විහාරයේ වැඩ සිටි අධිපති හිමිනමට කිසියම් වරයක් ඉල්ලන ලෙස දැනුම් දී ඇත. සිවුරු හැර පැමිණිය හොත් ගම්වරයක් දිය හැකි බවත් රජතුමා ඒ හිමියන්ට දැනුම් දුන් බවත් කියැවේ. සිවුරු හැර ගොස් ගම්වරයක් ලැබ ගිහි ජිවිතයක් ගත කිරීම එක්වරම ප්‍රතික්ෂේප කළ ස්වාමීන් වහන්සේ ඒ වෙනුවට ඉල්ලා ඇත්තේ ඒ වනවිට කිසියම් හේතුවක් උඩ ඒ ප්‍රදේශයෙන් රැගෙන ගොස් රජතුමා බාරයේ තබා ඇති රන් පිළිම වහන්සේ ආපසු තමන් වහන්සේ වෙත පවරා දෙන ලෙසයි. මේ ඉල්ලීම ඉටුකිරීමට සතුට පළකළ රජතුමා ඒ වනවිට රාජ්‍ය භාරයේ තබා තිබුණු රන් පිළිම වහන්සේ වාරියපොල රජමහා විහාරයේ වැඩ සිටි ගොඩයායේ භික්ෂු පරම්පරාවේ ස්වාමීන් වහන්සේ වෙත භාරදී ඇත.

රජතුමාගේ අනුග්‍රහයෙන් රන් පිළිම වහන්සේ ලැබිමෙන් පසු විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්ම කර ඇත. එපමණක් නොව දැනට පරණ විහාරය ලෙස හඳුන්වන කැටයම් සහිත කලුවර ලී වලින් අලංකාර කරන ලද විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරවන ලද්දක් බවට පිළිගැනීමක් තිබේ. මේ විහාර මන්දිරයේ කැටයම් කුණ්ඩසාලේ විහාරයේ කැටයම්වලට සමානය.

ගොඩයායේ භික්ෂු පරම්පරාවෙන් පසු විහාරය ජරාවාසවීමට පටන් ගත් හෙයින් වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ගිහි ඥාති් පරපුරේ ඥාතීන් මහනුවර අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ හමුවී විහාරස්ථානයට හිමිනමක් ඉල්ලා සිටියහ. ඥාතීන්ගේ ඉල්ලීමට සැලකිලිමත් වූ වාරියපොල නාහිමියන් එවකට තමන් වහන්සේ විසින් පැවිදි කරවාගෙන අස්ගිරි මහා විහාරයේ වැඩ සිටින තමන්ගේ නැගණියගේ පුතා (තමන් වහන්සේගේ බෑණා) ශිෂ්‍යවරයා වු වාරියපොල දිපංකර හිමියන්ට මේ ඥාතීන් සමඟ ගොස් විහාරය දියුණු කර අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත. එදා දිපංකර ස්වාමීන් වහන්සේ විසින් වාරියපොළ රජමහා විහාරයේ ආරම්භ කළ සංඝ පරම්පරාව අදත් නොනැසී පවතී. පසුකාලයේදි වාරියපොළ දිපංකර ස්වාමීන් වහන්සේ සත්කෝරළයේ පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්ව ඇත. දැනට මෙම විහාරස්ථානය අංග සම්පුර්ණ විහාරයක් බවට පත්වී ඇති අතර විහාරස්ථානයට අමතරව ගිහි පැවිදි විශාල පිරිසක් ඉගෙනුම ලබන පිරිවෙනක් බවට වයඹ පළාතේ ප්‍රසිද්ධියක් උසුලයි.

දැනට මෙම විහාරස්ථානයේ අස්ගිරි පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහෝපාධ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමියෝ වැඩ වසති.

 


නව අදහස දක්වන්න

Or log in with...