සිංහරාජය රකින කඳවුරක් | දිනමිණ

සිංහරාජය රකින කඳවුරක්

සිංහරාජය ශ්‍රී ලංකාවේ නිරිත දිග පහතරට තෙත් කළාපයේ පිහිටි නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. හෙක්ටයාර 11187 පමණ වපසරියකින් යුත් මෙම රක්ෂිතයේ වටිනාකම නිසාම ලෝක උරුම වනාන්තරයක් ලෙසද නම් කොට ඇත. අද වන විට සිංහරාජය ඇතුළු ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට විශාල වශයෙන් මනාව ක්‍රියාකාරකම් නිසා තර්ජන එල්ල වෙමින් පවතී. මේ නිසා මෙම සංවේදී පරිසර පද්ධති රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවී ඇත.මෙම පරිසර පද්ධති රැක ගැනීමේ කාර්ය සඳහා රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතු වුවද රාජ්‍ය ආයතනවලට වඩා විවිධ පරිසර සංවිධාන හා සම්බන්ධවී කටයුතු කරන අනෙකුත් ආයතන විශාල කැපවීමක් සිදු කරයි.

මෙම සංවිධාන අතරින් වැසි වනාත්තර සුරකින්නන්ගේ සංවිධානය ලෝක උරුම සිංහරාජ වනාන්තරය සහ ඒ අවට පවත්නා වනාන්තර පද්ධති රැක ගැනීමට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට හා ඒ පිළිබඳ උනන්දුව ඇති කරලීම අදිටන් කර ගනිමින් වනාන්තර පද්ධති වල ජෛව විවිධත්ව වැදගත්කම, එයට මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිළිබඳ පාසල් ළමුන් දැනුම්වත් කිරීම සඳහා තෙදින පරිසර ගවේශන හා නායකත්ව පුහුණු කඳවුරක් පසුගිය දා පැවැත්වුණි.

මේ සඳහා සිංහරාජ රක්ෂිතය අවට ඇති පනාපොල විද්‍යාලය, වැද්දාගල දකුණ විද්‍යාලය, රඹුක මහා විද්‍යාලය, ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් හි සිසුන් 50ස් දෙනකු හා 10 දෙනකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් සහභාගී වූහ. වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය හා කළවාන ජාතික පාරිසරික පදනම සමඟින් සංවිධානය කළ මෙම පුහුණු කඳවුරට Persistent Systems Lanka (Pvt) Ltd. සමාගම මූල්‍ය අනුග්‍රහය දැක්වූ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කළවාන ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහයෝගය මෙම කඳවුර සංවිධානය කිරීම සඳහා ලැබුණී.

මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ නිලධාරී තරංග ධම්මික මහතාගේ මග පෙන්වීමෙන් පැවැත් වු අතර එහිදී වනාන්තරයක් තුළ ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාවක යෙදෙන අන්දම, වන සතුන් සහ ශාක පිළිබඳ විස්තර සටහන් කරගන්නා අකාරය පිළිබඳ සිසුන් දැනුම්වත් විය. සිංහරාජයේ හමුවන වනජීවීන් පිළිබඳ ද සිසුන් දැනුම්වත් කරන ලදි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සුපුන් දේශප්‍රේම මහතා විසින් මත්ස්‍යයින් හා ජලජ ජීවීන් හඳුනාගැනීම පිළිබඳත්, ශ්‍රී ලංකාවට ආවේණික හා ආක්‍රමණික මත්ස්‍යයින් පිළිබඳ හා මත්ස්‍ය සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳවත් සහභාගි වූ පිරිස දැනුම්වත් කරන ලදි.

සිංහරාජය තුළ පක්ෂි අධ්‍යන චාරිකාවක් මෙහෙයවූ රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් පිළිබඳ දේශනයක් සිදු කළ අතර සිංහරාජ රක්ෂිතය අවට සහ ශ්‍රී ලංකාව තුළ සිදුවන්නා වූ ජෛව මංකොල්ලය පිළිබඳ ද සහභාගිවූවන් දැනුම්වත් කර මෙම ජෛවය මංකොල්ලය සඳහා මංකොල්ලකරුවන් පාසල් සිසුන් වංචනිකව යොදා ගන්නා ආකාරය සහ එවැනි දේ වලින් පාසල් සිසුන් වැළකිය හැකි ආකාරය පෙන්වා දෙන ලදී. ඊට වගකිව යුතු නිලධාරීන් දැනුම්වත් කර මෙරට ජෛව සම්පත රැක ගැනීමට පාසල් සිසුන්ට දායක විය හැකි ආකාරය පිළිබඳද මඟපෙන්වීමක් කරන ලදි.

මෙම පුහුණු කඳවුර සාර්ථකව අවසන් කළ සිසුන් ගේ සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරී පිරිසක් සහභාගී වූ අතර උත්සව සභාව ඇමතූ කළවාන ප්‍රාදේශීය ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි මහත්මිය කියා සිටියේ පරිසර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් දැනුම්වත් කිරීම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම රාජ්‍ය නිලධාරියකු වශයෙන් තමා අගය කරන බවයි. පසුගිය සමයේ සිංහරාජ වනාන්තරය අවට බෑවුම් ප්‍රදේශවල නායයෑම් ඇතුළු විපත්වලටවනාන්තර එළ පෙහෙළි කිරීම, පස් කැපීම, වැලි ගොඩදැමීම ආදී ක්‍රියා නිසා විශාල බලපෑමක් එල්ල වූඅතර එම සංවේදී ප්‍රදේශ ආරක්ෂා කළ යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම පුහුණු කඳවුර සඳහා පාසල් සිසුන් යොදා ගැනීම කාලෝචිත බවත් මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් දියත් කිරීමෙන් පරිසර සංරක්ෂණය උදෙසා දැනුම මෙන්ම ආකල්පමය වෙනසක් සිදුකළ හැකි බව කළවාන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කොස්වත්ත මහතා සභාව අමතමින් පවසා සිටියේය. වැසි වනාන්තර සුරකින්නන් ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා විසින් ඉදිරියේදී මෙවැනි පුහුණු කඳවුරු සඳහා සහභාගි වීමේ අවස්ථාව සිංහරාජය වටා පිහිටි සියලු පාසල් සිසු සිසුවියන් වෙත ලබා දීමට සූදානම් බව පවසා සිටියේය.

සිංහරාජ ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලුම වනාන්තර හා ජල මූලාශ්‍ර සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වෙමින් පවතින අතර වසරක් පාසා ඇතිවන දරුණු නි‍යං, ගංවතුර හා නාය‍යෑම් වැනි ස්වභාවික විපත්වලට ඒවා මග පාදයි.නොදැනුම්වත්කම හා තාවකාලික වාසි තකා සිදුකරන මෙවන් විනාශකාරී ක්‍රියා දිගින් දිගටම සිදුවීම වැළැක්වීමට පරිසරය පිළිබඳ දරුවන්ට ඉගැන්වීමත්, ජල පෝෂක වනාන්තර හා ජල මූලාශ්‍ර රැක ගැනීමට මතු පරම්පරාව යොමු කිරීමත් අප සියලු දෙනාගේ යුතුකමය.

පේශල පසන් කරුණාරත්න


නව අදහස දක්වන්න