අලින්ට වෙන්කළ රක්ෂිතයත් කැලෑපාළුවන්ගේ ග්‍රහණයේ | දිනමිණ

අලින්ට වෙන්කළ රක්ෂිතයත් කැලෑපාළුවන්ගේ ග්‍රහණයේ

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශය සඳහා වෙන්කර ඇති කැලය අනවසර කරුවන් මහා පරිමාණයෙන් දිනෙන් දින සිදු කරන වන සංහාරය නතර කිරීමට වග කිවයුතු රජයේ නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් නොමැති වී ඇත.

ඩෝසර් යොදා ගනිමින් අක්කර පනහ හැට කැලය කපා වගාවන් ආරම්භ කිරීමට පිරිසක් සූදානම් වන අතර තවත් පිරිස් නිවෙස් තනාගෙන අනවසරයෙන්ම මෙම කලාපය තුළ පදිංචි වීම හේතුවෙන් මෙම රක්ෂිත කැලයේ සිටින තිහ හතළිහක වන අලි රංචු දිනපතා යාබද ගම් වලට කඩා වැදී දේපළ, හා වගා හානී සිදු කිරීම කිසිසේත් නතර කිරීමට අදවන විට වනජීවී නිලධාරීන්ට පමණක් හැකියාවක් නොමැති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ජේ.ඒ.පී විජය කුමාර මහතා කීය.

නුගේගල යාය, මී ගහජඳුර,දිමුතුගම,එලල්ල, ඇතුළු ගම්මාන රාශියක යාබද පිහිටි රක්ෂිත කැලයන් මහා පරිමානයෙන් ඩෝසර යොදා කපා ගිනි තබා විනාශ කරමින් විවිධ වගාවන් සිදුකිරීම හා ඉදිරියට සිදු කිරීමට සැලසුම් සකස් කර තිබෙන අතර දිමුතුගම දැනට නිවාස තිහක පමණ ගම්මානයක් ද අනවසරයෙන් සාදා පදිංචි වී සිටින බව ඒ මහතා කීය.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රදේශයට හෙක්ටයාර් 12000 ක් වෙන්කළද තවමත් නිත්‍යානුකූලව වනජිවී දෙපාර්තුමේන්තුවට මෙය පැවරීම හෝ ගැසට් කිරීම බාලගිරි දෝශයක් බවට පත්ව ඇති හෙයින් ඉන් වාසි ලබා ගන්නා ජවාරම් කරුවන් මෙලෙස කැලය විනාශ කිරීම සිදු කරන බව වනජීවී නිලධාරීහු පවසති.

මේ ආශ්‍රිත ගම්මානවලට වන අලි කඩා වදින අවස්ථාවලදී ජනතාව වනජිවී නිලධාරීන්ට දොස් පවරමින් ව අලින් එළවා දමන ලෙසට ප්‍රධාන කාර්යාලවලට පවා දැනුම් දීම සිදුකළද අලින් එළවිමට හෝ අලින්ට වෙන්කර තිබූ ඉඩම් කොටස් අහිමිකරමින් එම කාර්ය සිදු කරන්නේ කෙසේදැයි වනජිවී නිලධාරීහු ප්‍රශ්න කරති.

මේ සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක් වු අතර මෙම ඉඩම් කොටස් මහවැලිය සතු ඉඩම් හෙයින් අනවසරකරුවන් ඇතුල්වීම සම්බන්ධව පියවර නොගන්නේ මන්දැයි කියා දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා විමසූවිට මහවැලි නිලධාරීන් කියා සිටින්නේ ඇතැම් ඉඩම් කොටස් වනසංරක්ෂන දෙපාර්තුමේන්තුවට අයිති බවයි.

කෙසේ හෝ මහවැලිය, වනසංසංරක්ෂණ,ප්‍රාදේශිය ලේකම්වරුන් සූරියවැව, ලුණුගම්වෙහෙර, හම්බන්තොට යන නිලධාරීන් එකතුව මෙම ඉඩම්වල අයිතිය සම්බන්ධ ප්‍රශ්නය මුලින්ම විසඳාගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ලුණම සමූහ සනත් ගමගේ   
 

 


නව අදහස දක්වන්න

Or log in with...