සෞඛ්‍ය සේවාව නැංවීමට බිලියන 365ක විදේශ ආයෝජන | දිනමිණ

සෞඛ්‍ය සේවාව නැංවීමට බිලියන 365ක විදේශ ආයෝජන

සන්ධ්‍යා කරුණාරත්න

මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 365ක විදේශ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ  අරමුණින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞඛ්‍ය සමුළුව අමතමින් ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය. යුරෝපා රටවල්, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රියාව, වැනි සංවර්ධිත රටවලින් මෙම විදේශ ආයෝජන ව්‍යාපෘති ලැබී තිබේ.

පස් වසරක ව්‍යාපෘතීන් ලෙස 2015-2020 වසරවලදි මේ මුදල් යොදා ගනිමින් සංවර්ධන කටයුතු සිදු කරන බව බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

මෙම විදේශ ආයෝජන යටතේ කොළඹ ද සොයිසා කාන්තා රෝහල සංවර්ධනය කිරීම, මාතලේ රෝහල සංවර්ධනය කිරීම, දඹුල්ල, දෙනියාය සහ බියගම සඳහා නව රෝහල් ඉදිකිරීම, කිලිනොච්චිය, වවුනියාව, පේදුරුතුඩුව, මාන්කුලම්, යාපනය සහ මඩකලපුව රෝහල් සංවර්ධනය කිරීම, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ඉදිකිරීම, ගිලන් රථ ව්‍යාපෘතිය, පොළොන්නරුව වකුගඩු රෝහල, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිකිරීම, සූර්ය බලයෙන් විදුලි සැපයුම් ක්‍රියාවලිය, ආපදා හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ලබාගැනීමේ ව්‍යාපෘතිය, වෛද්‍ය නිල නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පානදුර රෝහල සංවර්ධනය කිරීම, කළුතර ගල්අස්ස මාතෘ හා ළමා රෝහල ඉදිකිරිම, චීන රජයේ ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීම, රෝහල්වල රෙදි සේදීමේ ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත් වේ.

මෙම විදේශ ආයෝජන සහනදායි ණය කොන්දේසි මත සහ ආධාර මත ලැබී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න