වෙලේ සුදාගේ-දරුවන්ගේ රන් භාණ්ඩ නැවත දෙන්නැයි ඉල්ලීමක් | දිනමිණ

වෙලේ සුදාගේ-දරුවන්ගේ රන් භාණ්ඩ නැවත දෙන්නැයි ඉල්ලීමක්

කුමුදු හෙට්ටිආරච්චි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා, ඔහුගේ බිරිය හා ඥාතිවරියකට එරෙහිව, උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි 17කට ආසන්න මුදල් හා දේපොළවල හිමිකාරිත්වය දැරීම සම්බන්ධව පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇති වෙළේ සුදාගේ දරුවන්ට අයත් භාවාත්මක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ නැවත විත්තියට ලබාදෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතාගෙන් ඊයේ (13) ඉල්ලීමක් කෙළේය.

නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් එම ඉල්ලීම ඉදිරිපත් කළ නීතිඥ අසේල මුතුමුදලිගේ මහතා නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට සූදානම් බව ද අධිකරණයට දන්වා සිටියේ ය.

විත්තියේ ඉල්ලීම හා නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සම්බන්ධව පැමිණිල්ලේ ස්ථාවරය දැන්වීම සඳහා නඩුව යළි කැඳවීම විනිසුරුවරයා ලබන අප්‍රියෙල් 27 වැනිදාට කල් තබන ලදී.

හෙරොයින් නඩුවක් සම්බන්ධව වරදකරුවී කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා බන්ධනාගාරය මගින් ඊයේ (13) මෙම නඩුවට ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණ ඇප මත සිටින ඔහුගේ බිරිය වූ ගයනි ප්‍රියර්ශනී හා ඥාතිවරියක වන වසන්ති වසුන්දරා නමැති විත්තිකාරියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පළමු විත්තිකාරිය වූ වෙළේ සුදා නැමැත්තාගේ බිරිය අධිකරණ අවසර මත මහජන බැංකු නුගේගොඩ ශාඛාවේ සේප්පුවල වූ රන් ආභරණ කිහිපයක් හඳුනාගත් බව පවසා සිටි නීතිඥ අසේල මුතුමුදලිගේ මහතා ඒවා විත්තිය වෙත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේ ය.

අධිකරණය භාරයේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති රන් ආභරණ සම්බන්ධව විත්තිය ඉල්ලූ සමථය මත රන් ආභරණ අඩංගු බෝතල් දෙකක් ඊයේ (13) විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒවා තුළ වූ විත්තිකරුගේ හා විත්තිකාරියගේ දරුවන්ට අයත් භාවාත්මක වටිනාකමකින් යුත් රන් ආභරණ ඊයේ (13) විත්තිය විසින් හඳුනාගැනීමෙන් පසු ඒවා නැවත භාරදෙන ලෙස ඉල්ලීමක් සිදු කෙළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකාර වෙළේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු හා විත්තිකාරියන් වෙනුවෙන් නීතිඥ අසේල මුතුමුදලිගේ මහතා පෙනී සිටියේය.


නව අදහස දක්වන්න

Or log in with...